කුඩුවලට ඇබ්බැහිවූ මාදිවෙල පුද්ගලයා දියවන්නා ඔයට පැන දිවි නසා ගනී

284

මත්කුඩුවලට තදින්ම ඇබ්බැහිවී සිටි පුද්ගලයකු මාදිවෙල කිඹුලාවල හන්දියේ දියවන්නා ඔයට පැන සියදිවි නසාගෙන ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි.

මෙම මියගිය පුද්ගලයාගේ සිරුර පෙරේදා (02 දා) දියවන්නා ඔයේ පාවෙමින් තිබියදී නාවික හමුදා කිමිදුම්කරුවන්ගේ ආධාරයෙන් ගොඩට ගත් අතර, පසුව එම සිරුර ඔහුගේ බිරිඳ ඇතුළු ඥාතීන් විසින් හඳුනාගන්නා ලදී.

මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ මාදිවෙල, රාහුලපුර පදිංචිව සිටි 38 හැවිරිදි එක්දරු පියෙකි.

මියගිය අය පසුගිය 31 වැනිදා නිවසින් නික්ම ගොස් තිබේ. පසුව ඔහු බිරිඳට දියවන්නා ඔයට පැන මැරෙන බවත්, පාංශුකූලය දී තමාගේ අවසන් කටයුතු කරන ලෙසත් දැනුම්දී තිබේ.

ඒ අනුව බිරිඳ තම සැමියා අතුරුදන් බවට පසුගිය 31 වැනිදා පැමිණිල්ලක් මිරිහාන මූලස්ථාන පොලිසියට කර තිබිණි.

මෙම පුද්ගලයා මත්කුඩු නොමැතිකම හේතුවෙන් දියවන්නා ඔයට පැන දිවිනසා ගන්නට ඇතැයි හෙළිවූ බව පොලිසිය කියයි.

මේ පිළිබඳව මිරිහාන මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මංජුල තුෂාර මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ යූ. කේ. අබේරත්න

advertistmentadvertistment
advertistmentadvertistment