තව කෝටි 3300ක් සොයන්න විදුලි ගාස්තු යළි වැඩි කරන්න ලංවිම යෝජනා කරලා

135

පනතට පිටින් ගාස්තු වැඩි කළොත් නීතිය හමුවට යනවා – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික

තවත් රුපියල් කෝටි තුන්දහස් තුන්සියයකින් ආදායම වැඩි වන ලෙස විදුලි ගාස්තු වහාම ඉහළ දමන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යෝජනා කර ඇතැයි විදුලිය පාවිච්චිකරන්නන්ගේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (4දා) පැවසීය.

ලංවිම සමාන්‍යාධිකාරි ජී.ඒ. ඩී.ආර්. පී. සෙනවිරත්න මහතා විසින් අත්සන් කරන ලද මෙම යෝජනාව ශ්‍රී ලංකා මහජන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබෙන බවත් මුදල් අමාත්‍යංශයේ ලේකම්, විදුලිබල අමාත්‍යංශයේ ලේකම් මෙන්ම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සියලුම සමාජිකයින්ට පිටපත් සහිතව යවා තිබෙන බවත් සංජීව ධම්මික මහතා කීවේය. කොළඹ දී ඊයේ (4දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව කීවේය. එහිදී සංජීව ධම්මික මහතා මෙසේ ද පැවසීය. මෙම යෝජනාව මගින් විදුලි ගාස්තු වැඩි කර රුපියල් කෝටි 3300කින් සිය ආදායම් වැඩිකර ගැනීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතියත් ඉල්ලා තියනවා. පසුගිය වසරේ මැදදීත් මේ වසරේ මුලදීත් අවස්ථා දෙකකදී විදුලිගාස්තු වැඩි කළා. ඒ අවස්ථාවලදී විදුලිබල අමාත්‍යවරයාත්, විදුලි බල ලේකම්වරයාත් ලංවිම සාමාන්‍යාධිකාරිවරයාත් අවධාරණය කර සිටියේ නැවත විදුලි ගාස්තු වැඩි නොවන බවයි. සාධාරණ විදුලි ගාස්තු අඩුකිරීමක් වෙනුවට ලංවිම පසුගිය මාසයේදී යෝජනා කර තිබුණේ සියයට 3ක ගාස්තු අඩුකිරීමක් පමණයි. එහෙත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඒ වෙනුවට සියයට 15ක ගාස්තු අඩුකිරීමක් කළා. මෙම සාධාරණ ගාස්තු අඩුකිරීම නැවත කණපිට හැරවීම සඳහායි දැන් ලංවිම පිඹුරු පත් සකස් කරමින් ඉන්නේ. ලංවිම වුවමනාව වී ඇත්තේ රුපියල් කෝටි 3300ක් අලාභයක් ඇති බවට පෙන්වා දී හදිසි ගාස්තු වැඩිකිරීමක් ක්‍රියාවට නැගීමටයි. ඒ පිටුපස සැඟවුණ රහස නම් හදිසි විදුලිය මිලදී ගැනීම සඳහා අමතර මුදලක් සොයා ගැනීම බව ලංවිම යෝජනාව අධ්‍යයනය කිරීමෙන් පැහැදිලි වෙනවා. ජුලි සිට දෙසැම්බර් දක්වා කාලයේ දී ගිගා වොට් පැය 500ක විදුලිය , හදිසි පදනම මත මිලදී ගැනීමට ලංවිම යෝජනා කර තිබෙනවා. ඒ සඳහා අමතර වියදමක් වශයෙන් රුපියල් කෝටි 2000ක මුදලක් වැය වන බවට ලංවිම ඇස්තමේන්තු කර තියෙනවා. ගාස්තු වැඩිකිරීම මගින් මෙම අමතර වියදම විදුලි පාරිභෝගිකයින්ගෙන් අයකර ගැනීමට ලංවිම සැරසෙන්නේ. විදුලි බල පනත හා ප්‍රතිපත්ති අනුව වසරක් තුළ විදුලි ගාස්තු සංශෝධනය කළ හැක්කේ දෙවරක් පමණයි. මෙම වසරේ විදුලි ගාස්තු සංශෝධන දෙකම ක්‍රියාවට නගා තියනවා. ඒ අනුව නැවත වරක් විදුලි ගාස්තු සංශෝධනයක් කළ හොත් එය නීති විරෝධියි. හදිසි විදුලිය මිලදී ගැනීමේ ජාවාරම සඳහා හදිසියේ විදුලි ගාස්තු ඉහල දැමීමට ලංවිම කර ඇති යෝජනාව ප්‍රතික්ෂේප කරන ලෙස අපි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටිනවා. යම් හෙයකින් මේ නීති විරෝධි ගාස්තු ඉහළ දැමීමට අනුමැතිය ලබා දුන්නොත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට විරුද්ධව නීති මගින් ක්‍රියාකිරීමට අපි පසුබට වෙන්නේ නෑ.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment