වන සතුන් පන්නන්න තුවක්කු 3700ක් දීලා

141

වන සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා උන් පලවා හැරීමට ගොවීන්ට පතොරොම් තුවක්කු 3700ක් පමණ නිකුත් කර ඇතැයි වාර්තා වේ.

මෙම තුවක්කු නිකුත් කර ඇත්තේ කුමන ප්‍රදේශවල ගොවීන්ට දැයි සොයා බැලීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් වාර්තාවක් ඉල්ලා ඇත.

ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම ගිනි අවි නිකුත් කර ඇති බැවින් මෙම ගිනි අවි නිකුත් කර ඇති ගොවීන් සම්බන්ධව නිවැරදි සංගණනයක් සිදුකළ හැක්කේ එම වාර්තා පදනම් කර ගෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

ඇතැම් පුද්ගලයින් මෙම ගිනි අවි භාවිත කර වනසතුන් මරා මස්කර විකුණන බවට තොරතුරු ලැබී ඇති බැවින් අත්‍යවශ්‍ය පුද්ගලයින් වෙත මෙම තුවක්කු ලබාදී ඇත්දැයි සොයා බැලිය යුතු බවද ඇමැතිවරයා පවසයි.

වගා හානි සිදුකරන සතුන් අතර රිළව්, වඳුරන්, ඉත්තෑවන්, වල්ඌරන් සහ දඬු ලේනන් අරක්‍ෂිත සත්ත්ව ලැයිස්තුවෙන් ඉවත් කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව 2022 වසරේ දී පියවරගෙන ඇත.

වගාහානි සිදුකරන සතුන් අතරින් ආරක්‍ෂිත ලැයිස්තුවේ සිටින්නේ අලියා පමණි.

කෙසේවෙතත් ආරක්‍ෂක ලැයිස්තුවෙන් ඉවත් කළ වන සතුන් ප්‍රවාහනය හෝ විකිණීම තහනම් කර තිබේ.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment