රෝහල්වල බෙහෙත් වර්ග 150 ක හිඟයක්

139

රෝහල් පද්ධතියේ අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු ඖෂධ වර්ග එකසිය පනහක හිඟයක් පවතින බවත් හෘද රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ රැසක් නොමැති බවත් සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති රවීන්ද්‍ර කහදආරච්චි මහතා ‘දිවයින’ට ඊයේ (10 දා) පැවැසීය.

හෘද, දියවැඩියාව, වකුගඩු, පිළිකා, ළමා ශ්වසන, කාලීන රුධිර රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ හිඟය බරපතළ ලෙස උග්‍රවී තිබෙන බව ද හෙතෙම පැවැසීය. රෝහල් සඳහා ඇතුළත් කෙරෙන රෝගීන්ට ඖෂධ සහ අත්‍යවශ්‍ය උපකරණ පිටතින් ලබා ගැනීමට සිදුවී තිබෙන බව ද ඔහු කීවේය.

දිවයින පුරාම රෝහල් පද්ධතියේ වකුගඩු රෝගීන්, හෘද රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධවල දැඩි හිඟයක් පවතින බවත් හෘද රෝගීන් සඳහා ඖෂධ බොහෝ රෝහල්වල නොමැති බවත් හෙතෙම පැවැසීය. හෘද රෝග පරීක්ෂණ සඳහා (එන්.ජී.ඕ. ග්‍රෑම්) යොදා ගන්නා ඩයි වර්ගයේ හිගයක් ද පවතී.

අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, මොනරාගල දිස්ත්‍රික්කවල රෝහල් පද්ධතියේ ඊ.සී.ජී. පටිවල හිඟයක් ද පවතියි. ඩෙංගු වැනි රෝගීන්ගේ රෝග විනිශ්චය සඳහා යොදා ගන්නා ප්‍රතික්‍රීයක හිඟය ද උග්‍රවී ඇත. එවැනි රෝග ලක්ෂණ ඇතිව පැමිණෙන රෝගීන් රෝහල් ගතවීමට පෙර සිදු කෙරෙන පරීක්ෂණ සඳහා අවශ්‍ය ප්‍රතික්‍රීයක හිඟයෙන් උග්‍රවී තිබෙන බව ද පැවැසීය. එවැනි රෝගීන් රෝහලට ඇතුළත් කර රෝග විනිශ්චය කිරීමට සිදුවීමෙන් රෝහල් වාට්ටු පද්ධතියට දරාගත නොහැකි ලෙස රෝගීන්ගේ ධාරිතාව ඉහළ ගොස් තිබෙන බව පැවැසීය.

බරපතළ තත්ත්වයේ පසුවන රෝගීන් සඳහා අවශ්‍ය මුත්‍රා බට (අයි.වී.) උග්‍ර හිඟයක් පවතියි. ශ්වසන ඇදුම රෝගීන් සඳහා ලබා දෙන ‘ඉන්හේලර්’ හිඟය රටපුරාම තිබෙන බවත් කාලීන රුධිර රෝගීන්, පිළිකා රෝගීන්, ළමා රෝගීන් දියවැඩියාව රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ රැසක හිඟයක් තිබෙන බවත් රවීන්දු කහදආරච්චි මහතා පැවැසීය. ඉලස්ටර් ප්ලාස්ටර් මුත්‍රා බට, සේලයින් හිඟය ද උග්‍රවෙමින් පවතී.

රටපුරා රෝහල් පද්ධතියේ ඖෂධ හිඟය ඇතිවූයේ දූෂණය, වංචාව, අවිධිමත් සැලසුමක් නැති වැරදි කළමනාකරණය හේතුවෙන් බවත් ආර්ථිකය කඩා වැටීමම පමණක් එයට හේතුව නොවන බවත් සභාපතිවරයා පැවැසීය.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment