කෝටි 380ක මත්ද්‍රව්‍ය ගැන ප්‍රශ්න කරන්න ධීවරයන් ඇතුළු 10 දෙනා දින 7ක් රඳවා ගන්න නියෝග

45

ශ්‍රී ලංකා නාවික හමුදව හා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී ඉකුත් 12 දා අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයට සම්බන්ධ සැකකාර ධීවරයින් 6 දෙනා ඇතුළු සැකකරුවන් 10 දෙනකු දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අවසර ලබා දුන්නේය.

මෙම සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 83 ට අධික ප්‍රමාණයක් හා අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 179 ට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවද එම කාර්යාංශය අධිකරණයට දැන්වීය.

ශ්‍රී ලංකාවට දකුණු දෙසින්වූ දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 133 ක් පමණ දුරින් ගැඹුරු මුහුදේ යාත්‍රා කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සමග ධීවරයන් 6 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. එම ධීවරයන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලට අනුව මත්ද්‍රව්‍ය තොගය රැගෙන යෑමට පැමිණි තවත් ධීවර යාත්‍රාවක සිටි සැකකරුවන් 4 දෙනකු අත්අඩංගුවට ගත් බවද පොලිසිය අධිකරණයට දැන්වීය.

ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ද සමග එක්ව සිදුකළ සෝදිසියකදී එම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇති බවත් එම මත්ද්‍රව්‍ය යාත්‍රාවේ උර 7 ක සූක්ෂමව සඟවා තිබී ඇති බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.

වැලිගම, ඉමදූව, ගාල්ල ඇතුළු ප්‍රදේශ කීපයක පදිංචි සැකකරුවන් පිරිසක් එසේ අත්අඩංගුවට ගෙන ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු හෙළිකර කර ගැනීම සඳහා ඔවුන් දින 7 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදෙන ලෙසට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව එම අවසරය හිමිවිය.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment