බිරිඳට බෙහෙත් ගන්න සල්ලි නැතිව සූරියවැව යුවළක් වස බීලා

473

අසාධ්‍යව සිටි දෙදෙනා රෝහල්ගත කරයි

බිරිඳගේ අසනීප තත්වයකට විශාල මුදලක් වියදම් කිරීමට සිදුවීමත් ඒ සඳහා ප්‍රමාණවත් ආර්ථික තත්වයක් තමන්ට නොමැති වීමත් නිසා බිරිඳට ද වස පොවා සැමියා ද වස පානය කර සියදිවි නසා ගැනීමට උත්සාහ කළ පුවතක් සූරියවැව පොලිස් වසමේ වෙනිවැල් ආර ප්‍රදේශයෙන් පෙරේදා (04) සවස වාර්තා විය.

මෙලෙස වස පානය කර සිය දිවි නසා ගැනීමට උත්සාහ කර ඇත්තේ සූරියවැව වෙනිවැල්ආර පදිංචි 58 හැවිරිදි හා 54 හැවිරිදි අඹුසැමි යුවළකි.

54 හැවිරිදි බිරිඳ දීර්ඝ කාලයක සිට කශේරුකාවේ තිබූ ආබාධිත තත්වයක් හේතුවෙන් එක්තැන්ව සිට ඇති අතර ඇයගේ අසනීප තත්වය සඳහා ප්‍රතිකාර කිරීමට විශාල මුදලක්ද වියදම් කිරීමට සැමියාට සිදුව තිබේ. සිය බිරිඳගේ අසනීප තත්වය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට රැගෙන යාම හා ප්‍රතිකාර ලබාදීම ඇතුළු කටයුතු කිරීමට හා ජීවත් වීමට තරම් ප්‍රමාණවත් ආර්ථික තත්වයක් නොමැති වීමත් නිසා නිදහස් දිනය දා සවස 4.30ට පමණ සැමියා විසින් එක්තැන්ව සිටින බිරිඳට වස පොවා සැමියාද වස පානය කර සියදිවි නසා ගැනීමට උත්සාහ කර තිබේ. වස පානය කිරීමෙන් අසාධ්‍යව නිවසේ සිටි අඹුසැමි යුවළ අසල්වැසියන් විසින් ප්‍රතිකාර සඳහා සූරියවැව රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා තිබේ.

ප්‍රදේශවාසීන්ද පැවසුවේ මෙම කාන්තාව දීර්ඝ කාලයක සිට අසනීප තත්වයකින් පසු වූ බවත්, ඒ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට තරම් ආර්ථික තත්වයක් දෙදෙනාට නොමැති වීමත් නිසා අඹුසැමි යුවළ කලක සිට දැඩි කළකිරීමකින් පවු බවයි. සිද්ධිය පිළිබඳ සූරියවැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර සුසන්ත මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන පැවැත්වෙයි.

මත්තල දිලිප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment