කතන්දර දෙකක්

1500

ශ‍්‍රී ලංකාවේ පොලිස් සේවා කටයුතු භාර අමාත්‍යාංශය වැනිම පොලිස් අමාත්‍යාංශයක් මැඩගස්කරය නමැති රටේ ද තිබේ. ලංකාවේ සරත් වීරසේකර වැනිම පොලිස් ඇමැති කෙනෙක් එම අමාත්‍යාංශයේ වෙයි. ඔහුගේ නම සර්ජ් ජෙල් ය. මීට දින දෙකකට පෙර 57 හැවිරිදි මේ ඇමැතිතුමා තවත් 64 දෙනකු සමග හෙලිකොප්ටරයක නැගී මුහුද උඩින් යමින් සිටියේය. හදිසියේම හෙලිකොප්ටරයේ එංජිම කැඞී එය අයාලේ යන්නට පටන් ගත් බැවින් ඇමැතිතුමා මහා සාගරයට පැන්නේය. එතැන් සිට ඔහු පැය 12 ක් එක දිගට පිහිනා මැඩගස්කර් වෙරළට ළඟා විය. මහ මුහුදේ පිහිනන විට විවේක ගැනීමට ඉඳගෙන සිටීම හෝ නිදාගෙන සිටීම කළ හැකි නොවේ. එසේම කිසියම් පුද්ගලයෙක් පැය 12 ක් වැනි දීර්ඝ කාලයක් ලූණු වතුරෙහි බැස සිටින විට ඔහුගේ රෝම කූප අතුරින් ජල අංශු ශරීරයට ඇතුළු වී නරක තත්ත්වයක් හට ගනී. මේ නිසා දිගු දුර පිහිනන පිහිනුම් ශූරයන් මුහුදට බැසීමට පෙර ශරීරයේ ගෙල දක්වාම ග‍්‍රීස් හෝ ඊට සමාන පෙට්‍රෝලියම් ජෙල් වර්ගයක් ආලේප කරගනී. මැඩගස්කරයේ පොලිස් ඇමැතිතුමා පැය 12 ක් එක දිගට පිහිනන්නේ කිසිදු ජෙල් එකක් නැතිව ඇඳ සිටින ඇඳුම පිටිනි. ලංකාවේ ඇමැතිවරයෙක් මේ ආකාරයෙන් වතුරට ඇද වැටුණොත් ලොකු ප‍්‍රශ්නයක් හටගනී. පළවෙනි ප‍්‍රශ්නය ලක්ෂරි යාත‍්‍රාවක ගමන් කරනවා මිස මුහුදේ පිහිනීමේ පුරුද්දක් ඔවුන්ට නැත. දෙවැනි ප‍්‍රශ්නය නම් ලැට් එකට යතත් ආරක්ෂකයන් සමග මිස තනියෙන් යෑමේ පුරුද්දක් ඔවුන්ට නොතිබීමය. ඔවුන් පිහිනනවා නම් ඇමැති ආරක්ෂක අංශයේ රාළහාමිලා සහ සාජන්ලා කිහිපදෙනෙක් ද ඔහු පසුපසින් පිහිනිය යුතුය. මේ නිසා අප ලෝකය පාලනය කරන සියලූම අදෘශ්‍යමාන බලවේගවලින් ඉල්ලන්නේ මේ රටේ පොලිස් ඇමැති වූ සරත් වීරසේකර හෝ වෙන කිසිදු ඇමැතිවරයෙක් මුහුදට නොදමන ලෙසය. එසේ මුහුදට වට්ටනවා නම් එම ඇමැති සමග සන්නද්ධ ආරක්ෂකයන් ද ලක්ෂරි බෝට්ටු ද මුහුදට දැමීම ලෝකය පාලනය කරන අදෘශ්‍යමාන සියලූ බලවේගවල දේශපාලන වගකීමය.

………………………….

කුඩා දරුවන්ට සිදුකෙරෙන අපරාධ ඉතා වේගයෙන් ඉහළ යමින් පවතී. මේ සියලූ දුෂ්ටකම් කරන්නේ මළ මූසල කාලකන්නි වැඩිහිටියන් විසිනි. පියා සහ බාප්පා වෙතින් පහරකෑම නිසා මියගිය නව යොවුන් දැරියක ගැන මීට දෙදිනකට පෙර අපට දැනගන්නට ලැබිණ. මේ පියා සහ බාප්පා අත්අඩංගුවට ගෙන පොලිස් ක‍්‍රමයට අනුව සාධාරණ සංග‍්‍රහයක් කිරීම රාළහාමිලාගේ යුතුකමය. මානව අයිතිවාසිකම්කාරයන් කුද ගහ ගත්තා වේ. දරුවන්ට හිරිහැර කරන, ඔවුන් මරණ සහ දූෂණය කරන මූසල වැඩිහිටියන්, වං ගෙඩියෙහි ලා කෙටීම පොලිසියේ රාජකාරිය නොවූවද එය විශේෂ විධිවිධානයක් ලෙස පැනවිය යුතු බව අපි යෝජනා කරමු. රිෂාඞ් බදියුදීන්ගේ ගෙදර, ජනේලයක්වත් නැති අඳුරු කාමරයක රඳවාගෙන සිටි අසරණ මෙහෙකාර දැරිය පිලිස්සී මැරුණු හැටි ඔබට මතකද? සමහරවිට මේ පිළිබඳ නඩු විභාගයේදී පිලිස්සී මැරුණු හැටි යන කොටස වෙනුවට පුළුස්සා මරණ හැටි යන කොටස ඔප්පු වීමට ඉඩ තිබේ. මෙහෙකාර සේවයෙහි යෙදෙන ළමා ශ‍්‍රමිකයන් දහස් ගණනක් අදටත් මේ රටේ ලොකු ගෙවල් අස්සේ සිටිති. එම ගෙවල්වලින් නියෝජනය වන්නේ ගරාවැටුණු වැඩවසම් වලව් සංස්කෘතියේ නූතන ස්වරූපයයි. ගෙදර සිටින බේබි සමග සෙල්ලම් කරනු පිණිස, ඉස්කෝලේ යවන පොරොන්දුව මත කොළඹට ගෙනෙන පිටිසරබද ළමයි අදටත් මේ රටේ ඇතැම් ගෙවල්වල සිටින්නාහ. මේ ළමයි කරන සෙල්ලමකුත් නැත. ඔවුන් යන ඉස්කෝලයකුත් නැත. ඔවුන් කරන්නේ හාමුගේ වළං හේදීමත් බේබිගේ බැල මෙහෙවර කිරීමත් පමණි. ශ‍්‍රමය යනු වාණිජ සංකල්පයකි. ප‍්‍රධාන නිෂ්පාදන සාධක හතරෙන් එකක් වන ශ‍්‍රමයට මිලක් ඇත. එහෙත් ලොකුම අවාසනාව වන්නේ අවුරුදු 2500 අවුරුදු 7500 යනාදී වශයෙන් පැරණි වූ නොඑසේ නම් එම්බාම් කරන ලද සංස්කෘතීන් ඇති ශ‍්‍රී ලංකාව, ඉන්දියාව සහ පාකිස්තානය යන රටවල වැඩිහිටි ශ‍්‍රමයට මිලක් තිබුණත් ළමා ශ‍්‍රමයට මිලක් නොතිබීමය. රිෂාඞ් බදියුදීන්ගේ ගෙදරදී පිළිස්සුම් තුවාල ලැබ මියගිය දමිළ දැරියට කිසියම් වැටුපක් ගෙවන ලද බවත් එම වැටුප දැරිය කොළඹට රැගෙන ආ බ්‍රෝකර් විසින් ගසාකන ලද බවත් දැනගන්නට තිබිණ. ගෘහස්ථ ශ‍්‍රමස්ථරය තුළ සිටින ළමා ශ‍්‍රමය යනු අංක එකේ නීති විරෝධී ශ‍්‍රමයකි. ඔබේ ගෙදරට අල්ලපු ගෙදර වැඩකාර ළමයෙක් සිටී නම් ළමා හා කාන්තා කාර්යාංශයට ඒ පිළිබඳ ඔත්තුව දීම ඔබගේ වගකීමය. එවැනි ළමයෙක් ඔබේ ගෙදර සිටී නම් අල්ලපු ගෙදර වගකීම වන්නේ ඒ ඔත්තුව පෙර කී රාජ්‍ය ආයතනයට ලබා දීමය.

කුරුණෑගල පළාතේ තරුණ මවකට නව දරුවෙක් උපන. මේ දරුවාගේ මා පියෝ ඉතාම අවාසනාවන්ත කුඞ්ඩෝය. දරුවා උපන් සැණින් ඇය විකුණා රුපියල් ලක්ෂ හතක් ලබාගත් මේ අම්මා සහ තාත්තා එයින් රුපියල් 30,000 ක් වැය කර කුඩු ගසා ඉතිරි මුදල බැංකුවේ තැන්පත් කළහ. මුන් මොන ජාතියේ දෙමාපියන් දැයි අපට නොතේරේ. මේ කතාව ඇත්ත නම්, ස්වභාවධර්මය විසින් මුන්ට ප‍්‍රජනන ශක්තිය දුන්නේ කවර මඟුලකට දැයි අපට නොතේරේ. විකුණන්නටම දරුවන් බිහිකරන මව්වරු යුරෝපයේ ඇතැම් රටවල වෙසෙති. ඒ රටවල දෙමාපිය දූ දරු සබඳකමට එතරම් තැනක් නැත. කුඩා දැරියකට පහර දී මරා දැමූ තාත්තා සහ බාප්පාත් රිෂාඞ් බදියුදීන්ගේ ගෙදර දැරියට ගිනි තැබූ කුණු ගඳ ගහන පාපියාත් ලක්ෂ හතකට දරුවා විකුණු මා පිය දෙපළත් හෙලිකොප්ටරයකින් ගෙන ගොස් මුහුදට හෙළිය යුතු බව කිසිවෙක් යෝජනා කරත්ද, අප එයට එරෙහි වන්නේ නැත. ලොකුම කරුමය වන්නේ කව්රුත් එවැනි දෙයක් යෝජනා නොකිරීමත් එවැනි දෙයක් යෝජනා කිරීමට තරම් නෛතික පසුබිමක් මේ රටේ නොතිබීමත්ය.

advertistmentadvertistment
advertistmentadvertistment