ලිට්‍රෝ ගෑස් සියලූ නිෂ්පාදන ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූලයි – ලිට්‍රෝ ගෑස් වෙළෙඳ හා අලෙවි අධ්‍යක්ෂ

332

සිය සමාගම විසින් වෙළඳපොළට නිකුත් කරන ගෑස් සිලින්ඩර අනාරක්ෂිත බවට සමාජ ජාල ඔස්සේ පළවන ප‍්‍රචාර මුළුමුනින්ම පදනම් විරහිත, සාවද්‍ය ප‍්‍රකාශ බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ වෙළෙඳ හා අලෙවි අධ්‍යක්ෂ ජනක පතිරත්න මහතා ඊයේ (25 වැනිදා) ‘දිවයින’ට පැවසීය. එහෙයින් ගෑස් පාරිභෝගිකයන් ඒ පිළිබඳව අනියත බියක් තබා ගත යුතු නැති බව ද හෙතෙම සඳහන් කළේය.

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වසර එකසිය පනහකට ආසන්න කාලයක් ජනතාව විශ්වාසය දිනාගෙන කටයුතු කරන ආයතනයක් බවත් එහි සියලූම නිෂ්පාදන ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව වෙළෙඳපොළට නිකුත් කරන බවත් හෙතෙම කීවේය.

ගෑස් සිලින්ඩර අනාරක්ෂිත බවට පැතිරෙන ප‍්‍රචාර, ජනතාව බිය ගැන්වීමට හා රජය සහ ලිට්‍රෝ සමාගම අපහසුතාවට පත් කිරීමට දරන උත්සාහයක් බවත්, මෙරට ගෘහස්ථ සිලින්ඩර මිලියන හයකට ආසන්න ප‍්‍රමාණයක් ජනතාව අතර තිබෙන අතර ඒ සියලූම සිලින්ඩර සහ ගෑස් නියමිත ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූලව වෙළෙඳපොළට නිකුත් කරන බවත් හෙතෙම කීවේය.

නැවකින් රටට ගෑස් ලබා ගනිද්දී එහි තත්ත්ව වාර්තා ලබා ගන්නා බව ද, එම තත්ත්ව වාර්තාවන් නියමිත ප‍්‍රමිතියට අනුකූල ද යන්න නිරන්තරයෙන් පරීක්ෂා කරන බව ද හෙතෙම පැවසීය. කොළඹ ප‍්‍රධාන අවන්හලකදී මෑතකදී සිදු වූ ගෑස් සිලින්ඩර පිපිරීම හා සම්බන්ධව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ කිසිදු සම්බන්ධයක් නැති බවත් එම අවන්හලට සිය ආයතනයෙන් එල්. පී. ගෑස් සැපයුමක් හෝ එම නළ පද්ධතිය සකස් කිරීමක් සිදු කර නැති බවත් හෙතෙම කීවේය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment