නිවැරදිව සඳු අපලයට පිළියම් කරන්න

783

සිතුවිලිවලට අධිපති ග්‍රහයා වන සඳු, ග්‍රහ ලොව මව ලෙස විරුදාවලිය ලද ග්‍රහයාය. සඳු ග්‍රහයා සිතුවිලිවලට පමණක් නොවන ආවේගශීලී හැඟීම්, ලිංගික හැඟීම් මෙන්ම ඥානයට ද අධිපති ග්‍රහයා ලෙස සැලකේ. සඳු ග්‍රහයා ගත් කල පුර සඳු හා අව සඳු ලෙස දෙයාකාරයකි. පුර සඳු බලවත් වන අතර අව සඳු දුබලය. ජන්මපත්‍රයේ සඳු ග්‍රහයා දුර්වල නම් එම ජන්මියා අස්ථිර වූ සිතුවිලිවලින් යුත් බොහෝ චපල ගති ඇති අයෙකි. එමෙන්ම ආදරයේදී බොහෝ දුක්විඳීමට සිදුවන අතර කෙලවරක් නැති පසුතැවිලිවීම්වලින් යුක්ත වේ. විවාහ වූ විට විවාහය ද ඉතා පීඩාකාරී එකක් වනු ඇත.

සඳු ග්‍රහයා භංග නොවන නීචයක, සතුරු ආකාරව හෝ තදබල අශුභ දෘෂ්ටි ලැබසිටීම එමෙන්ම භංග නොවන කේමද්‍රැම යෝගය, සකට යෝගය වැනි අශුභ යෝගයක් පිහිටීම තුළින් ජන්මියාට සඳු මහ දශාව හෝ අතුරු දශාව හෝ විදශාව ලබන කාලවලදී තදබල පීඩාකාරී තත්ත්වයක් උදාකරයි. ඊට අමතරව ජන්මපත්‍රයේ සඳු සිටින රාශියට පසු රාශියේ ශනි ගමන් කිරීමෙන් පුද්ගලයාට ජන්ම ඒරාෂ්ඨකය උදාවන අතර සඳු සිටින ස්ථානයෙන් 8 වැන්නේ ශනි ගෝචරය වීමෙන් ජන්ම අෂ්ඨම ඒරාෂ්ඨකය උදා වේ. මෙවැනි අවස්ථාවලදී ජන්මියාට නොයෙකුත් කරදර, පීඩා, සතුරු උවදුරු මෙන්ම මාරක තත්ත්ව උදා වේ. ජන්මියාගේ භාව කේන්දරයේ සඳු ග්‍රහයා 22 වන දෙර්කානාධිපතියා, 64 නවාංශකාධිපතියා, චර නවාංශකාධිපතියා, නිදනාම්ශ ග්‍රහයා, අෂ්ඨමාංශ ග්‍රහයා හෝ ජිද්‍ර ග්‍රහයා වූ විට ජන්මියා මියයෑමට වුව ද පුළුවන.

නමුත් පුරාණ සෘෂිවරු පෙන්වාදී ඇති පරිදි ග්‍රහයන්ගෙන් එල්ල වන අශුභ විපාක දුරුකර ගැනීමටත්, ශුභ ඵල වර්ධනය කර ගැනීමටත් ක්‍රමවේද වේ. ඒ සඳහා අපල කරන ග්‍රහයාට අනුව ශාන්ති කර්ම සිදු කළ යුතුයි. ඒ සඳහා බෝධි පූජාවක් පැවැත්වීම, සෙත් කවි ගායනය, ග්‍රහයාට අදාළ වස්තු දන් දීම, යන්ත්‍ර පැළඳීම, මැණික් පැළඳීම අදී බොහෝ දේ කරනු ලබයි.

අපල ලෙස අපට භුක්තිවිඳීමට ලැබෙනුයේ අප පෙර භවයන් හී කළ අකුසල කර්මවල විපාකයන්ය. එම අකුසල කර්ම නැති කිරීමට නොහැකි වුවත් බොහෝ දුරට අඩු කිරීමට පුළුවන. ඒ අප කුසල කර්ම රැස් කිරීම තුළිනි.

සඳු ග්‍රහයා අශුභව පිහිටා සඳු තුළින් අපලයක් නිර්මාණය වී ජන්මියාට අපල කරයි නම් පුර පාර්ශ්වයේ සඳුදා දවසක දිය නා ගතින් මෙන්ම සිතින් ද පිරිසිදු වී විහාරස්ථානයට ගොස් බෝධි පූජාවක් ආරම්භ කළ යුතුයි. බෝධි පූජාව ආරම්භයට කලින් විහාරස්ථානයට ගොස් බෝධි පූජාවක් තැබීමට උචිත වන සේ බෝමළුව ඇමද, මල් ආසනය සෝදා පිරිසිදු කර ගත යුතුයි. ඉන්පසු සුවඳ දුම් අල්ලා බෝමළුව සුවඳවත් කර ගත යුතුයි. සුවඳ හමන සුදු පැහැති මල් වට්ටි 7ක්, දෑසමන් මල්වට්ටියක් සර්වඥධාතු තැන්පත් වෙහෙරකට පූජා කරන්න. සුදු නෙළුම් මල් දැමූ කළ 3 ක් බෝධීන් වහන්සේට, චෛත්‍ය රාජයාණන් වහන්සේට හා බුදුමැඳුරට පූජා කරන්න. ගිතෙල් හා අබ තෙල් පහන් 7 බැගින් දල්වා බුදුන්ට පූජා කරන්න. සුදු පැහැති මල් මාලා යොදාගනිමින් බෝධීන් වහන්සේ සරසන්න. පැන් කළ 7කින් බෝධිය නාවන්න. මෙම සියලුම පිංකම් අපලය ඇති ජන්මියාගේ සහභාගිත්වයෙන් කළ යුතුයි. සඳුගේ අපලය නැති වීමට සෙත් කවියක් ගායනා කරන්න. මෙම බෝධි පූජාව සඳුදා දින 7 ක් තුළ හෝ එක දිගට දින 7 ක් තැබිය යුතුයි. දිවුල්පැළයක් තම නිවසේ හෝ විහාරස්ථානයේ සඳුදා දිනක, සඳු හෝරාවෙන් (සඳුගේ පළමු පංචමය විෂ බැවින් එම පංචමය අතහැර) එනම් විනාඩි 12 ක් පසු වූ පසු සිටවා එම දිවුල්පැළයට සාත්තු සප්පායම් කරන්න.

සඳුගේ අපල හිමි ජන්මියා සුදු පැහැති වස්ත්‍ර ඇඳීම නොකළ යුතු වුව ද සුදු පැහැති රෙදි හැකි පමණ මිලදී ගෙන නැතිබැරි දුප්පත් අයට බෙදා දිය යුතුයි. උඳු මිශ්‍ර කිරිබතක් පිරිසිදුව පිළියෙල කර මුල් කොටස බුදුන්ට පුදා ඉතිරිය යාචකයන්ට බෙදා දීම, ආර්ථික ශක්තිය ඇති නම් පමණක් මුතු, රිදී ආදියෙන් කළ භාණ්ඩ පූජා කිරීම, කිරි අම්මාවරු 7 දෙනෙක් සඳහා දානය දීම (මෙහිදී ළඟඳී දරුවන් ලැබී කිරි දෙන චරිතවත්, පතිවත රකින අම්මාවරු 7 දෙනෙක් විය යුතුයි) බන්ධනගත පක්ෂින් හා මරණයට කැපවුණු සතුන් නිදහස් කිරීම, බේරා ගැනීම.

බෝධි පූජාවෙන් හා දාන වස්තුන් දන් දීමෙන් ලැබුණු සියලුම පිං සුමන සමන් දෙවියන්ට, පත්තිනි දේවියට හා දුර්ගා මෑණියන්ට අනුමෝදන් කරන්න. එසේ අනුමෝදන් කර තමාට ඇති අපල, කරදර, ලෙඩ දුක් දුරු වී සෙතක් ශාන්තියක් ලැබේවායි! ප්‍රාර්ථනා කරන්න. අපල දුරු වී සහනය ලැබුණු පසු අදාළ දෙවිවරුන්ගේ දේවාල වෙත ගොස් හොඳින් ඉදුනු පලතුරු ගෙඩි සහිත පූජා වට්ටිය බැගින් පුදා දෙවියන්ට ස්තුති කරන්න.

සඳු ග්‍රහයාගේ අපලය ඇතිවිට, එයින් මිදීම සඳහා මුතු පැළඳීම කිසිවිට නොකරන්න. මුතු, සඳුට අයිති මැණික වුව ද සඳු අපල කරන විට පැළඳීම නොකළ යුතුයි. ජන්මපත්‍රයේ සඳු බලවත් නම්, එනම් ගජකේෂරී, චන්ද්‍රාදියෝගය වැනි ප්‍රබල යෝග බලවත්ව යෙදී ඇත්නම් නැතහොත් සඳු උච්ච, ස්වක්ෂේත්‍ර, නීච භංග රාජයෝගයක හෝ ඇත්නම් ලැබෙන්නා වූ ශුභඵල තීව්‍ර කර ගැනීමට මුතු පැළඳීම ඉතා යෝග්‍ය වේ. නමුත් සඳුගේ අපලය ඇති විට මුතු පැළඳීමෙන් විශ්වයේ ඇති අශුභ කිරන එම මුතුව හරහා ශරීරගත වීම තුළින් පීඩාකාරි අපල තත්ත්වය තවත් වැඩි වනු ඇත. අපල කරන ග්‍රහයාට අදාළ මැණික පැළඳීම යනු කෝපයෙන් සිටින අයෙකුට ආයුධයක් අතට දීම වැනිය. සඳු අපලය සඳහා ජන්මපත්‍රයේ සඳුට ප්‍රතිවිරුද්ධ ග්‍රහයා බලවත් කළ යුතුයි.

ඒ සඳහා එම ග්‍රහයාට අදාළ මැණික පැළඳිය යුතුයි. එහිදී එම ග්‍රහයාගේ ශුභ කිරණ එම මැණික හරහා ශරීරයට පැමිණීමේදී සඳුගෙන් එල්ල වන අපල යටපත් වී යනු ඇත.

ප්‍රතිවිරුද්ධ ග්‍රහයා බලවත් කිරීමේදී එම ග්‍රහයා අදාළ ජන්මියාට 22 දෙර්කානාධිපති, 64 නවාංශකාධිපති, චර නවාශංකාධිපති, බාධක ග්‍රහයා හෝ වක්‍ර ග්‍රහයා ද නොවිය යුතුයි. එමෙන්ම එම ග්‍රහයා අෂ්ඨමාංශ ගත වී හෝ නිදනාම්ශ ගත වී නොසිටිය යුතුයි.

ගෝචරයේදී දින 2 1/2 ක් වැනි සුළු කාලයකින් තම රාශිය මාරුකරන සඳු ග්‍රහයා විම්ශෝත්තරී දශාව අනුව අවුරුදු 10 ක්ද, අෂ්ටෝත්තරී දශාව අනුව සඳුට වර්ෂ 15 ක් ද, යෝගිනී දශාව අනුව සඳු හෙවත් මංගලාට අවුරුදු 1 ක් ද, ෂොඬශෝත්තරී දශාව අනුව සඳුට වර්ෂ 16 ක් ද, ද්වාදශෝත්තරී දශාව අනුව අවුරුදු 21 ක් ද. පංචෝත්තරී දශාව අනුව අවුරුදු 17 ක් ද, ශාතාබ්ධික දශාව අනුව අවුරුදු 5 ක් ද, චාතුරාෂ්ඨ දශාව අනුව අවුරුදු 12 ක් ද, ද්වීසප්තනී දශාව අනුව අවුරුදු 9 ක් ද, ශස්තිභායනී දශාව අනුව අවුරුදු 6 ක් ද, ශත්‍රිසංසති දශාව අනුව සඳුට වර්ෂ 1 ක් ලෙස පවතී. කුමන දශා ක්‍රමයක් අනුව බැලුව ද ජීවිතේ මුළු ආයු කාලයෙන් වර්ෂ ගණනක් සඳුගේ පාලනයට යටත් වේ.

සඳුගේ දශා කාලය පීඩාකාරී නම් හෝ සඳු ග්‍රහයා ජන්මපත්‍රයේ අශුභ ලෙස පිහිටා ඇත්නම් ඉහත සඳහන් වත්පිළිවෙත් පිරිසිදු එකඟ වූ සිතින් සිදු කර ජීවිතයට සහනය උදාකර ගන්න.

නිවැරදිව සඳු අපලයට පිළියම් කරන්න

ජ්‍යොතිෂවේදිනී,
දේශබන්ධු, ආචාර්ය මංජුලා පුෂ්පරාංගනී පල්ලෙබැද්ද,
පානදුර.
දු. අංකය 0779-282653

advertistmentadvertistment
advertistmentadvertistment