තාරුණ්‍ය සිනමාවට සම්බන්ධ කරන්න වගේ සංකල්පයක් තවදුරටත් නැහැ

අනෝමා රාජකරුණා ගැන හඳුන්වාදිය හැක්කේ කෙලෙසදැයි මම තවමත් කල්පනා කරමි. සිනමා කලාව වෙනුවෙන් කළ මෙහෙවර අගයමින් ඇයට ගෞරව සම්මාන ඇගයුම් කොතරම් ලැබී තිබුණද ඇය සිනමාවේදිනියක ලෙස පමණක් හැඳින්වීම ම තරමක අසාධාරණයක් ලෙස හඟිමි. ලාංකේය කෙටි චිත්‍රපට විෂයෙහි ද සමස්ත සිනමා ක්ෂේත්‍රයෙහිද වැඩි කාර්යභාරයක් ඉටු කරමින් සිටින අනෝමා රාජකරුණා ඡායාරූප ශිල්පිනියක්, පුවත්පත් කලාවේදිනියක් සහ සමාජ ක්‍රියාකාරිනියක් ලෙසද කටයුතු කරන්නීය. මේ ඇය සමග කළ කතා බහක සංක්ෂිප්තයයි.
තාරුණ්‍ය අතේ තමයි සිනමාව තිබෙන්නේ - අනෝමා රාජකරුණා
  • ඔබ මීට දශක කිහිපයකට පෙර මේ ක්ෂේත්‍රයට පිවිසි කෙනෙක්. එදා ඔබ දුටු සිනමාව සහ අද ඔබ දකින සිනමාව මොන වගේද?

මම සිනමාවට ආවේ අවුරුදු දාහතේදී මගේ පළවෙනි කෙටි චිත්‍රපටය නිර්මාණය කරමින්. දැන් මම අවුරුදු හතළිහක් මේ ක්ෂේත්‍රයේ ඉන්නවා. ඒ කාලය තුළ කෙටි චිත්‍රපටකරුවෙක් විදියටත්, ඒකාංගික ටෙලි නාට්‍ය කිහිපයක්, වාර්තා චිත්‍රපට රාශියක් නිර්මාණය කරලා තිබෙනවා. මම අභිරක්ෂක කෙනෙක් විදියට කටයුතු කරනවා. මේ වන විට ලංකාවේ පැවැත්වෙන සිනමා උළෙලවල් දෙකක මම අධ්‍යක්ෂක විදියට කටයුතු කරනවා. ඊට අමතරව ලංකාවේ තරුණ පිරිස් එක්ක කෙටි චිත්‍රපට නිර්මාණය කරනවා සහ පුහුණු කරනවා. අපි සිනමාවට ආවේ ඇනලොග් සිනමාවෙන්. දැන් සිනමාව ඩිජිටල්කරණය වෙලා. චිත්‍රපට ප්‍රදර්ශනය සහ බෙදාහැරීමත් අද වන විට ඩිජිටල්කරණය වෙලා. එදා සහ අද සිනමාවේ මූලිකම වෙනස්කමක් විධියට මම දකින්නේ සිනමාව ඩිජිටල්කරණය වීම. දෙවැනි කාරණය තමයි මම දකින විදියට එදා මම සිනමාවට එන විට තිබුණේ සංවෘත ආර්ථික ක්‍රමයක්. එක්දාස් නවසිය හැත්ත හතේ විවෘත ආර්ථිකය එක්ක ආව ආර්ථිකමය සංශෝධනය එක්තරා විදියකින් සිනමාවට බලපානවා. මොකද සිනමාව කියන්නෙත් එක්තරා විදියක නිෂ්පාදනයක්. නිෂ්පාදන ක්‍රියාවලිය, බෙදාහැරීම සහ වෙළඳපළ වගේ දේවල් වලට මේ කියන කාරණාව බලපානවා. සිනමාව ගැන කතා කරනකොට සිනමාවේ කලාව ගැන කතා කරාට කර්මාන්තයක් විදියට මේ සිනමාව ගැන කතා කරන්නේ නැහැ. ඇත්තටම මේ වෙළඳපළ ආර්ථිකයත් එක්ක බැඳුණු කාරණා රාශියක් එදාට වඩා අද වෙනස් වෙලා තිබෙනවා. ඉස්සර පැය එකහමාරක දෙකක සිනමා කෘතියක් අරන් යනවා කියන්නේ ඒක ලොකු බරක්. මිලිමීටර් තිස්පහේ රීල් ගණනාවක් විදියට සිනමා කෘති ප්‍රවාහනය කරන්න අධික වියදමක් වගේම විශාල ඉඩක් වෙන් කරන්න අවශ්‍ය වෙනවා. නමුත් අද වන විට ඩිජිටල්කරණය හරහා අපි කතා කරන්නේ DCP කියන එක. DCP කියලා කියන්නේ ඩිජිටල් සිනමා පැකේජ් කියන එක. අද වනවිට චිත්‍රපටයක් අප්ලෝඩ් කරලා ඩවුන්ලෝඩ් කරන්න දෙන්න පුළුවන්කම තිබෙනවා. සන්නිවේදන ක්ෂේත්‍රයේ ඇති වූ තාක්ෂණික දියුණුව සිනමාවට ප්‍රබලවම බලපෑවා. ඒ ලොකුම වෙනස. ඒ කාලේ අපි තරුණයෝ විදියට විශේෂයෙන් ම ගෑනු දරුවෙක් විදියට බොහෝම අසීරුවෙන් කෙටි චිත්‍රපට නිර්මාණය කළේ. හැබැයි අද වනවිට ක්ෂේත්‍රයට එන තරුණ දරුවෙක්ට තමන්ගේ අතේ තිබෙන ජංගම දුරකථනයෙන් පවා කෙටි චිත්‍රපටයක් කිරීමේ හැකියාව තිබෙනවා. ඒක තමයි ලොකුම වෙනස.

  • නිර්මාණකරුවා කියන පුද්ගලයාට එදා සහ අද සමාජය තුළ පවතින පිළිගැනීම කොහොමද? විශේෂයෙන්ම කාන්තා නිර්මාණකරුවෙකුට තිබෙන පිළිගැනීම කොහොමද?

විශේෂයෙන්ම කලාව කියන එක ගැන යම්කිසි විදියකින් සමාජයේ තිබුණා. අපේ රටේ එක කාලයක් ප්‍රබුද්ධ පීචං වාදය විදියටත් තිබුණා. ඒ කියන්නේ කලාව ඇතුළෙත් පිළිගන්නා කලා මාධ්‍ය හා ඒ සඳහා ගොඩනැගුණු විචාර ඇසුරින් යම්කිසි කෘති වර්ගීකරණයක් වගේ දෙයක් තිබුණා. ඒකාලේ සිනමාව වගේ කලා මාධ්‍යයන් සැලකුණේ ගැහැනු දරුවෙකුට එන්න ඒ තරම් සුදුසු නැති මාධ්‍යයක් විදියට. මගේ පවුලේ කිසිම කෙනෙක් මට සිනමාවට එන්න උදව් කළේ නැහැ. හැමෝම විරුද්ධ වුණා. මම මුලින්ම සහය අධ්‍යක්ෂකවරියක් විදියට වැඩ කළා. සිනමාවට ආවම දුර බැහැර යන්න ඕන. ගෙදරින් පිට රැය පහන් කරන්න වෙනවා. මේ වගේ දේවල් වලදි ඥාතීන්, අසල්වාසීන් බලන විදිය වෙනස්. කැමරාවක් එල්ලගෙන කොළඹ එනවා. අතන මෙතන රස්තියාදු ගහන, යන්න හොඳ නැති තැන්වල රැඳෙන ගෑනු ළමයෙක් විදියට පාසලේදී පවා ගුරුවරුන්ගේ ප්‍රශ්න කිරීම් වලට ලක් වෙනවා. ඒ ලේබල් එකට බය නම් සිනමාකරණය, කැමරාකරණය, නිෂ්පාදනය මේ හැම දෙයකින්ම අයින් වෙලා අර අපිට උගන්නලා තිබෙන කාන්තාවකට සුදුසු රැකියාවකට පුරුදු වෙන්න ඕන. ඒ කියන්නේ හෙදියක්, ගුරුවරියක්, වෛද්‍යවරියක් විදියට පුහුණු වෙන්න ඕන. හැබැයි වර්තමානය වන විට රූපවාහිනී මාධ්‍ය ආගමනය එක්ක සමස්ත කලා මාධ්‍යයන් ඒ කියන්නේ නාට්‍ය, සිනමාව, වේදිකා නාට්‍ය, චිත්‍ර ශිල්පය, ගෘහ නිර්මාණ ශිල්පය මේ වගේ සියලු කලාවන් ගැන සමාජය ඇතුළේ තොරතුරු සංසරණය වීම වැඩි වුණා. ප්‍රචාරක මාධ්‍යයක් විදියට රූපවාහිනිය සැලකුවා. ඒ හරහා මේ ඩිජිටල්කරණය එක්ක, තොරතුරු අපේ ජංගම දුරකථනයට පැමිණීම එක්ක අද වන විට කලාව සහ නිර්මාණ ක්ෂේත්‍ර ගැන සමාජයේ අවබෝධය වැඩි වෙලා තිබෙනවා. කලාව සමග මිනිස්සුන්ට තිබෙන ගනුදෙනුව විශේෂයෙන්ම ලෝකය රියැලිටි ෂෝස් වලට යන්න පටන් ගත්ත දවසේ ඉඳලා ඉස්සර වගේ නැහැ. ඉස්සර නම් ගැහැනු ළමයි නැටුම් පංති යනවට සමහර අය විරුද්ධයි. අර නච්ච ගීත වාදිත විසූක දස්සන ලේබල් එකත් එක්ක ඒවා අකැප නුසුදුසු දේවල් විධියට සලකන සමාජයක් තිබුණා. ඒ සම්බන්ධකම් වෙනස් වුණා මේ රියැලිටි ෂෝස්වල ආගමනයත් එක්ක. සමාජයේ මේ වෙනස් වීම් වලට මූලික හේතු දෙකක් තිබුණා. එකක් තමයි සංවෘත දේ විවෘත වීම. අනිත් දේ තමයි මේ ඩිජිටල් තාක්ෂණය එක්ක සන්නිවේදන ක්ෂේත්‍රයේ ඇති වුණු නව ප්‍රවණතාවයන්. ඒ දේවල් අපේ චින්තනයට බලපාලා ආකල්ප වෙනස් කරලා තිබෙනවා. විශේෂයෙන් කලාව පිළිබඳ සමාජයේ ආකල්පමය වෙනසක්, කලාව අවබෝධ කර ගැනීම සහ කලාවේ නියැලීම පිළිබඳව වෙනසක් ඇතිවෙලා තිබෙනවා.

  • සිනමා ක්‍ෂේත්‍රය තුළ ඔබ දකින අඩුපාඩු සහ ඉදිරියේදී සිනමාව කර්මාන්තයක් විදියට ගොඩනගන්න කරන්න පුළුවන් මොනවද? ප්‍රතිපත්තිමය සහ දේශපාලනික වශයෙන් කවරාකාර වෙනසක් විය යුතුද?

මම පෞද්ගලිකව විශ්වාස කරනවා ලංකාවෙ කවදාවත් සිනමා කර්මාන්තයක් තිබුණේ නැහැ කියලා. කර්මාන්තයක් කියලා කියන්නේ කර්මාන්තය තුළම නිෂ්පාදන ක්‍රියාවලියක් සහ ඒ නිෂ්පාදන ක්‍රියාවලියෙන් යැපෙන පුද්ගලයෝ සියයට සීයක්ම ඒ කර්මාන්තය තුළ යැපෙන්න ඕන. එතකොට තමයි අපිට කර්මාන්තයක් විදියට පිළිගන්න පුළුවන්. ලංකාවේ සිනමාව කියලා කියන්නේ ඇත්තටම විනෝදාස්වාදන මාධ්‍යයක් සහ ඒ පිළිබඳ කැමැත්තකින් හෝ කලාව පිළිබඳ පැවැති අවබෝධයකින් සහ ආදරයකින් සහ ආශාවකින් හෝ එහෙමත් නැත්නම් වෙනත් ප්‍රතිලාභ සඳහා එකතු වූ පිරිස් රැඳී ඉන්න තැනක්. ඒක ඇතුලෙ සීයට සීයක්ම සිනමාවෙන් ජීවත් වන පිරිස හුඟක් අඩුවුණා. ඉතින් ඒ නිසා කර්මාන්තමය ලක්ෂණ තිබුණට ලංකාවේ ඇත්තටම තිබුණේ සිනමා කර්මාන්තයක් නෙමෙයි. ඇත්තටම ලංකාවේ සිනමා කර්මාන්තයක් තිබුණ නම් අපිට ලංකාවේ සිනමාව ගැන, සිනමාවේ බෙදාහැරීම ගැන, සිනමාවේ නිෂ්පාදනය ගැන මෙහෙම කතා කරන්න වෙන්නේ නැහැ. ඉන්දියාව වගේ රටක් ගත්තම ඒ තිබෙන්නේ සිනමා කර්මාන්තයක්. බොලිවුඩ්, කොලිවුඩ්, හොලිවුඩ් මේ සියල්ලම සිනමා කර්මාන්ත. දකුණු ඉන්දියාවෙත් සිනමා කර්මාන්තයක් තිබෙනවා. හින්දි චිත්‍රපට ආශ්‍රිත සිනමා කර්මාන්තයක් තිබෙනවා. තව අප්‍රිකාව වගේ රටක් ගත්තම නයිජීරියාවේ නොලිවුඩ් සිනමාව සිනමා කර්මාන්තයක්. ලංකාවේ එහෙම සංවිධානාත්මක සිනමා කර්මාන්තයක් තිබුණේ නැහැ. ඒ වෙනුවට තිබුණේ පෞද්ගලිකව එහෙමත් නැත්නම් ආයතන කිහිපයක වෙනත් ආදායම් මත යැපෙන කිහිපදෙනෙක් සිනමාව පිළිබඳ තිබූ ආශාව හා කැමැත්ත මත ගොඩනැගුණු සිනමා ශාලා. බෙදාහැරීමේ ක්‍රියාවලියේ ඉඳලම තිබුණෙ එහෙම දෙයක්. ලංකාවේ සිනමාව යම්කිසි විදියකට කර්මාන්තමය හැඩයක් එක්ක ස්වාධීන කර්මාන්තයක් විදියට සංවර්ධනය වෙන වෙලාව තමයි එක්දහස් නවසිය අසූ තුන. නමුත් ජූලි කලබල එක්ක ඒ තිබුණු සංවිධානාත්මක ලක්ෂණ සියල්ල නැති වුණා. චිත්‍රාගාර ගිනි ගත්තා. නිෂ්පාදනය වෙමින් තිබෙන චිත්‍රපට සහ කර්මාන්තයට සම්බන්ධ පිරිස් මේ වගේ ගොඩක් දේවල් සිනමාවට ඒ වෙලාවේ අහිමි වුණා. ඒ හේතුවෙන් කර්මාන්තයක් විදියට සංවිධානය වෙමින් තිබුණු ක්‍රියාවලිය බිඳ වැටුණා. ඊට පස්සේ රූපවාහිනී ආගමනයත් එක්ක යම් කාරණා එයට බලපෑවා. ඊට අමතරව චිත්‍රපට ආනයනයට තිබ්බ යම් සීමා එක්ක ප්‍රදර්ශනය සඳහා ලංකාවට පිටතින් චිත්‍රපට එන්න පටන් ගත්තා. ඒ සියල්ල එක්ක ලංකාවේ අද වන විට තිබෙන්නේ කේවල ව්‍යාපෘති කිහිපයක් විතරයි. ඉතා විශාල ප්‍රමාණයක් රට හැර යෑමේ ප්‍රවණතාව ඇතුළෙත් සිංහල සහ දමිළ වාර්ගිකයො දෙකම ඉන්නවා අපිට. මේකත් දැන් අපේ දේශීය නිෂ්පාදනවල එක්තරා විදියක වෙළඳපළක්. මේ සියල්ල ඇතුළේ අපි බෙදාහැරීම සහ ප්‍රදර්ශනය කියන අංග දෙක ගැන මීට වඩා තදින් තීරණ ගත යුතුයි. දේශීය සිනමා ශාලා ඇතුළේ මේ සිනමා නිර්මාණ ප්‍රදර්ශනය සඳහා අවස්ථාවක්, වෙලාවක් වෙන්කළ යුතුයි. මිනිස්සු සිනමාව නරඹන කාලය තුළ මේ සඳහා වේලාවක් වෙන්කළ යුතුයි. ඒ සඳහා ප්‍රතිපත්ති සැකසිය යුතුයි. රජයට මේ පිළිබඳ විශාල වගකීමක් තිබෙනවා සහ සිනමාවේ නියැලෙන පෞද්ගලික අංශයේ සහ සියලුම නිර්මාණකරුවන්ගේ දායකත්වයත් මේ සඳහා අත්‍යවශ්‍ය වෙනවා. මොකද මේ අවස්ථාව වන විට එය ඉතාම වැදගත්. හේතුව තමයි ඉස්සර සිනමාවේ ප්‍රදර්ශනය සහ බෙදාහැරීම ගැන කිව්වට පස්සේ සිනමා ශාලාවල විතරයි චිත්‍රපටයක් ප්‍රදර්ශනය වුණේ. පසුකාලීනව රූපවාහිනී මාධ්‍ය හරහා චිත්‍රපට බෙදාහරිනවා. නමුත් ලෝකයේ අද වන විට තත්ත්වය වෙනස්. අපි අද OTP ප්ලැට්ෆෝම්ස් ගැන කතා කරන්නේ. ඉතින් ඒකත් එක්ක සිනමාව නරඹන්නේ කොහොමද කියන එක ගැන ලෝකයේ අද වන විට විකල්ප ගණනාවක් තිබෙනවා. මේ සියලු විකල්ප සලකා බලලා කර්මාන්තයක් විදියට අපි සංවිධානය වීම සඳහා ප්‍රතිපත්ති කියන එක අත්‍යවශ්‍යයි.

තාරුණ්‍ය අතේ තමයි සිනමාව තිබෙන්නේ - අනෝමා රාජකරුණා

දැනට අප රට තුළ සිනමාව සම්බන්ධයෙන් ඉගෙන ගැනීමට පවතින අවස්ථා පිළිබඳ ඔබ සෑහීමකට පත්වෙනවාද සහ ඒ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් මොනවද සහ සිනමාව සම්බන්ධයෙන් උපාධියෙන් පසු උසස් අධ්‍යාපන අවස්ථා ලංකාව තුළ ඇති කරන්නේ කොහොමද?

මම අවුරුදු පහළොවක දාසයක දැරියක් විදියට සිනමාව ගැන උනන්දු වෙනකොට අපිට සිනමාව ගැන ඉගෙන ගන්න තිබුණු අවස්ථා හරිම අඩුයි. එතකොට අපි බ්‍රිතාන්‍ය කවුන්සිලය හෝ වෙනත් ජර්මන්, ඇමරිකන් එහෙමත් නැත්නම් ප්‍රංශ තානාපති කාර්යාල වගේ ඒවා හරහා ඔවුන්ගේ තිබුණු විශාල පුස්තකාල සහ ඒ එක්කම තිබුණු මිලි මීටර් දහසය සහ මිලිමීටර් තිස් පහේ සිනමා දර්ශන ආදිය මගින් තමයි සිනමාව ඉගෙන ගත්තේ. පසුකාලීනව ඉන්දීය පූනෛ සිනමා ආයතනයට ඇතුළ් වෙලා ඉගෙන ගත්තා. ඒ වගේම ඉන්දියාවේදී සහ විදේශයන් කිහිපයකදී සිනමාව පිළිබඳ හැදෑරුවා. මොකද ඒ කාලේ වෙද්දී අපිට සිනමා පාසලක් තිබුණේ නැහැ. අපිට තිබුණු ආසන්නම සිනමා පාසල තමා පූනෛ සිනමා පාසල. නමුත් අද වන විට සිනමාව ඉගෙන ගන්න, සිනමාව නරඹන්න අපිට අන්තර්ජාලය හරහා අවස්ථාව සැලසිලා තිබෙනවා. ඔන්ලයින් පාඨමාලා තිබෙනවා කරන්න. ප්‍රායෝගිකව හදාරන්න අවස්ථා දැන් ලංකාව තුළ සැලසිලා තිබෙනවා. ඇත්තටම ලංකාවේ සිනමාව ඉගෙනීමට පෞද්ගලික ආයතන රාශියක් තිබෙනවා. ජාතික චිත්‍රපට සංස්ථාවත් පාඨමාලාවන් පවත්වාගෙන යනවා. තවත් ආයතන තිබෙනවා. අවශ්‍ය නම් විශ්වවිද්‍යාල කිහිපයක විශේෂවේදී උපාධිය හදාරන්න අවස්ථාව සලසලා දීලා තිබෙනවා. විදේශීය අත්දැකීම කෙනෙකුට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. සිනමාවේ නිර්මාණාත්මකව යෙදෙනවද නැත්නම් සිනමාව උගන්වනවද කියන එකටත් ඒ දේ ඉතාමත් වැදගත්.

  • වර්තමානයේ ලාභය මූලික කර ගනිමින් ගුණාත්මක බවින් තොර සිනමා නිර්මාණ සමාජයට එනවා. ඒ ගැන ඔබ දකින්නේ කොහොමද සහ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය හරහා සිද්ධවෙන කාර්යභාරය මොනවගේද?

ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය කියලා කියන්නෙ ඇත්ත වශයෙන්ම එක්තරා විධියක වර්ගීකරණ මණ්ඩලයක්. ඒ ගැන කියනවනම් මමත් ඒ කමිටුවේ සාමාජිකත්වය දැරුවා. එය සාමාජිකයෝ පස් දෙනෙක්ගෙන් සමන්විතයි. ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ හිටපු සභාපති සමන් ආතාවුදහෙට්ටිගේ සභාපතිත්වයෙන්, නීතිඥ ජගත් විජේනායක, අශෝක හඳගම, රාජිත දිසානායක සහ මම අපි පස්දෙනාගෙන් යුක්ත කමිටුවක් ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය වෙනුවට වර්ගීකරණ මණ්ඩලයක් පිළිබඳ යෝජනාවලියක් මේ වන විට ඉදිරිපත් කරලා තිබෙනවා. ඒක ඇත්තටම ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව යටතේ අලුත් පනතක් පිළිබඳ යෝජනාවලියක්. ඒ යෝජනාවලිය ඇතුළේ රැඟුම් පාලනය පිළිබඳ වඩාත් පුළුල් අදහසක් අපි යෝජනා කරලා තිබෙනවා. ඒ ගැන ඔබට ඉදිරියේදී තොරතුරු ලබා ගන්න පුළුවන් වෙයි.

තාරුණ්‍ය අතේ තමයි සිනමාව තිබෙන්නේ - අනෝමා රාජකරුණා
  • නූතන තාරුණ්‍ය සිනමාවට සම්බන්ධ කර ගැනීමට සහ සිනමාවට වටිනාකමක් ගේන්න දේශපාලනිකව මොන වගේ මැදිහත්වීමක් අවශ්‍යද?

දේශපාලනිකව කියලා කියන්නේ අර දෙසීය විසි පහම නෙමෙයි. අපි හැමෝම ඒ දේශපාලනයේ කොටස්කරුවෝ. ඒ දෙසිය විසි පහ තෝරලා යවන්නේ අපිනේ. අපි තෝරලා යවන කෙනෙක්ගෙන් තමයි සිනමාව පිළිබඳ අමාත්‍ය ධුරය තීරණය වෙන්නේ. ප්‍රතිපත්ති හැදෙන්නේ. චිත්‍රපට සංස්ථාව වගේ තැන්වල වාඩිවෙන අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය වෙන්නේ. පාර්ලිමේන්තුවේ ඉඳලම සිනමාව සම්බන්ධයෙන් තීරණ ගත යුතුයි. අපි අපේ අදහස් ප්‍රකාශ කරලා නැත්නම්, මේ කලාත්මක ක්ෂේත්‍රයෙන් ජීවත්වෙන පිරිස තමන්ගේ හඬ අවදි කරන්නේ නැත්නම් කේවලව කිසි දෙයක් සිද්ධ වෙන්න විදියක් නැහැ. තරුණ්‍යට සිනමාව ඈතයි කියලා කියන්න කාටවත් බැහැ. මොකද ඩිජිටල් යුගයත් එක්ක හැමෝගෙම අතේ කැමරාවක් තිබෙනවා. චිත්‍රපට නිෂ්පාදනය කරන්න පුළුවන් උපකරණයක් අරගෙන තමයි අපි එළියට බහින්නේ. ලංකාවේ ජනගහනයට වැඩිය ලංකාවේ ස්මාර්ට් පෝන් තිබෙනවා. තමන්ට අවශ්‍ය නම්, තමන්ට අදහසක් තිබෙනවා නම් තමන්ගේ වටේ ඉන්න පිරිසත් එක්ක නිර්මාණයක් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා තාරුණ්‍ය සිනමාවට සම්බන්ධ කරන්න වගේ දෙයක් තවදුරටත් නැහැ. තාරුණ්‍ය අතේ තමයි සිනමාව තිබෙන්නේ. සිනමාව කියන්නේ මොකක්ද කියන එක අවබෝධ කර ගැනීම සහ සිනමා කෘතියක් කියන්නේ මොකක්ද කියන එක අවබෝධ කර ගැනීම පිළිබඳ සමාජයක් වශයෙන්ම අපේ තිබෙනවා පොඩි විචිකිච්චාවක්. අපි තවමත් සිනමාව කියලා හිතාගෙන ඉන්නේ ඇත්තටම ප්‍රායෝගිකව සිනමාව නෙමෙයි. අපි අවබෝධ කරගත යුතු දේ තමයි අපි ඉන්න ඩිජිටල් යුගය සහ සන්නිවේදන තාක්ෂණය කියන එක අපි කතා කරද්දිත් වෙනස් වෙනවා කියන දේ. එක් අතකින් මෙය සන්නිවේදන මෙවලමක් සහ අනෙක් අතින් කලාත්මක ප්‍රකාශන උපකරණයක්. ඉතින් එතකොට ඒ දෙක ඇතුළෙ සිනමාව කියන එක අවබෝධ කර ගැනීම සහ සිනමාව පිළිබඳව ප්‍රතිපත්ති නිර්මාණය කර ගැනීමේ සහ රසඥතාවය දියුණු කර ගැනීමේ අවශ්‍යතාවයක් ලංකාවේ තිබෙනවා.

● චින්තනී වික්‍රමනායක

advertistmentadvertistment
advertistmentadvertistment