පේරාදෙණිය රෝහලේදී සිඟිති අරූෂට දිවි අහිමි කළේ බාල නිර්වින්දන බෙහෙත් ද?

621

එවැනි සිද්ධියක් දන්නෙත් නෑ පැමිණිල්ලක් ලැබිලත් නෑ -රෝහලේ නි. අධ්‍යක්‍ෂ

පේරාදෙණිය ශික්‍ෂණ ළමා රෝහලේ ශල්‍යකර්මයක් අතරතුරදී නිර්වින්දනය කිරීම සඳහා ලබාදුන් බව කියන ඖෂධයක් හේතුවෙන් අවුරුදු දෙකක පිරිමි දරුවකු මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ අරූෂ අස්මිත නමැති දරුවෙකි.

පාදයක අස්ථියක සැත්කමක් සඳහා පසුගිය 23 වැනිදා දරුවා රෝහලට ඇතුළත් කළ බවත්, පැය 6 ක සැත්කමකින් පසුව දරුවා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ අතර දින දෙකකට පසුව දරුවා මියගිය බවත් දරුවාගේ දෙමාපියෝ පවසති.

දරුවාට ලබාදුන් බව කියන ප්‍රමිතියෙන් තොර නිර්වින්දන ඖෂධයක් මරණයට හේතු වන්නට ඇතැයි සැකකරන බව ද ඔවූහු කියා සිටිති. දරුවාගේ මව වන නිදර්ශනී ලක්මාලි මහත්මිය මෙසේ පැවසුවාය.

“මගේ දරුවාට කිසිම ලෙඩක් තිබුණේ නැහැ. පාදයේ ආබාධය විතරයි තිබුණේ. පැය හයහමාරක ඔපරේෂන් එකකට පස්සෙ දරුවා ට්‍රොලියක දාගෙන ආවා. අයි.සී.යූ. එකේ හිටපු මැඩම් කෙනෙක් කිව්වා දරුවාට ටිකක් අසාධ්‍යයි, දරුවා අයි.සී.යූ. එකට දානවා, කලබල වෙන්න එපා කියලා. දරුවා ගොඩක් ඉදිමිලා වතුර පිරිලා වගේ තිබුණා. සේලයින් යන්නේ නැහැ. මුත්‍රා යන්නේ නැහැ. දරුවාගේ බඩේ වතුර පිරිලා. ඇයි ඩොක්ටර් මෙහෙම වුණේ කියලා මම සර්ලගෙන් ඇහුවා. එහිදී ඔවුන් හොස්පිට්ල්වලට එන්නේ බාල නිර්වින්දන බෙහෙත්, අපට කරන්න දෙයක් නැහැ, අපිට ගෙනත් දෙන ඒවා භාවිතයට ගන්නවා කිව්වා.

දරු ප්‍රසූතියක් සඳහා රෝහලට ඇතුළත් වූ ගැබිනියක් ද එම නිර්වින්දන ඖෂධය ලබාදීමෙන් පසු මියගිය බවත්, තවත් කාන්තාවක ද එම නිර්වින්දන ඖෂධය ලබාදීමෙන් පසු මියගිය බවත් රෝහල් ප්‍රකාශකයෙක් කියා සිටියේය. රෝහලට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් අප රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ, තමාට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් නොලැබුණු බවයි. එවැනි සිද්ධියක් පිළිබඳ තමා නොදන්නා බව ද හෙතෙම පැවසීය.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා මෙසේ කීය.

“මේ මරණය සම්බන්ධයෙන් පේරාදෙණිය ළමා ශික්‍ෂණ රෝහලත්, සෞඛ්‍ය අමාත්‍යාංශයත් නිසි පරිදි පරීක්‍ෂණයක් කරලා රටට ඇත්ත හෙළිකරන්න ඕනෑ, නිර්වින්දන ඖෂධවල ගුණාත්මක භාවය අඩු කිරීම නිසා ද මේ දරුවාගේ මරණය සිද්ධවුණේ කියා. මෙවැනි ළමා රෝහලක ශල්‍යකර්ම සිදුකිරීමේදී නිර්වින්දන කටයුතු සඳහා භාවිතා කරන නිර්වින්දන උපකරණවල ගැටලු සහගත තත්ත්වයක් පවතින බවට වාර්තා වෙනවා.”

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, යූ. කේ. අබේරත්න

advertistmentadvertistment
advertistmentadvertistment