නොවිඳි කුසලානයක පහස පතන කැන්ගරුවන් සහ කිවියන්

294

ලෝක කුසලාන විස්සයි විස්ස ක‍්‍රිකට් පරිච්ෙඡ්දයේ තවත් එක් නිමාවක් අභිමුවේ කාලය ගත වෙමින් තිබේ. ඒ නිමාවේ ආරම්භය අද (14 වෙනිදා ) රාත‍්‍රී 7.30ට සනිටුහන් වේ. එහි ප‍්‍රතිවාදීන් දෙදෙනාටම මේ ලෝක කුසලානය ආගන්තුකය. ඔවුහු කෙදිනකවත් එහි පහස විඳ නැත්තාහ. ඉන් එක් ප‍්‍රතිවාදියෙකු වන නවසීලන්තයට මේ මහා අවසන් තරගය පවා ආගන්තුකය. ඔවුන් පන්දු වාර 20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියක අවසන් මහ තරගයකට පිවිසි පළමු අවස්ථාව මෙය වේ.

එහෙත් ඔස්ටේ‍්‍රලියාව නම් මීට පෙර 2010 වසරේ ඊට සුදුසුකම් ලැබීය. එහිදී ඔවුන් එංගලන්තය හමුවේ පරාජය වූයේය.

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ඔස්ටේ‍්‍රලියාවට එක් දින ලෝක කුසලාන නම් ඕනෑ තරම් වේ. ඔවුන් දිනා ඇති එක් දින ලෝක කුසලාන තරගාවලි ගණන පහකි. එමෙන්ම ඔවුහු එක දිගට තෙවරක් එහි ශූරයෝ වූහ. ඒ 1999, 2003 සහ 2007 වසරවලය. ලොව කිසිම කණ්ඩායමක් එම කුසලානය අවස්ථා දෙකකට වඩා දිනා නැත. දැන් ඔවුන්ට අඩු විස්සේ කුසලානයකි. එහෙයින් 2010 දී එංගලන්තයට පරාද වී නැති කර ගත් කුසලානය මෙවර තම නම ඉදිරියේ ලියා ගන්නට ඔස්ටේ‍්‍රලියාව උපරිම වෙර වීරිය දරනු ඇත.

අනෙක් පැත්තෙන් නවසීලන්තය ලෝක ටෙස්ට් ක‍්‍රිකට් ශූරයෝ වෙති. ටෙස්ට් ලෝක කුසලානයක් නවසීලන්ත කැබිනට් එකේ ඇතත් නවසීලන්තයට සීමිත පන්දු වාර කුසලානයක් තවම නැත. ඊට ආසන්නම අවස්ථාව 2015 වසරේ උදා වුවත් ඔස්ටේ‍්‍රලියාව හමුවේ පරාජය වීමට නවසීලන්තයට සිදු විය. 2015 එක් දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ ලද එම පරාජය නවසීලන්තයට තවමත් රිදුම් දෙනවා ඇත. ඒ නිසා නවසීලන්තය සිටින්නේ කුමක් හෝ සීමිත පන්දු වාර කුසලානයක් සොයමින්ය. එමෙන්ම 2015 එක් දින ලෝක කුසලාන තරගාවලියේදී ඔස්ටේ‍්‍රලියාව තමන්ට කළ දෙය මෙවර ඔස්ටේ‍්‍රලියාවට කිරීමට නවසීලන්තය වෙහෙසෙනු ඇත.

ඔවුන්ට මේ ලැබී ඇත්තේ ඊට මහඟු අවස්ථාවකි. අවසන් පූර්ව තරගයේදී ප‍්‍රබල එංගලන්තය පරදවමින් ඔවුන් අබුඩාබි ක‍්‍රීඩාංගණය වර්ණවත් කළේ මේ ලෝක කුසලාන කඩුල්ල වෙත ළ`ගා වීමටය. දැන් ඔවුන් අභිමුව ඇත්තේ ඒ කඩුල්ල පැන කිරුළ රටට ගෙන යෑමේ අභියෝගයයි. නවසීලන්ත නායක කේන් විලියම්සන් ප‍්‍රමුඛ කණ්ඩායම දැන් ඊට හොඳින් සැදී පැහැදී සිටී. එංගලන්තය වෙත බර වෙමින් තිබූ අවසන් පූර්ව තරගයේ ජය නවසීලන්තය වෙත ගෙන ඒමට ආරම්භක පිතිකරු ඩැරිල් මිචෙල් ක‍්‍රියා කළ ආකාරය විශිෂ්ටය. ඔහු මෙන්ම නවසීලන්තයේ අත්දැකීම් බහුල අනෙක් ආරම්භක පිතිකරු මාර්ටින් ගප්ටිල් ද මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභී ක‍්‍රීඩකයින් කිහිප දෙනා අතර පසු වෙති. අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් දෙකේ ක‍්‍රීඩකයින් අතරින් ඔවුන් දෙදෙනාට වඩා ලකුණු ලබා තිබෙන්නේ ඔස්ටේ‍්‍රලියාවේ ඬේවිඞ් වෝනර්ය. එසේම නවසීලන්ත නායකයා සහ ඔස්ටේ‍්‍රලියා නායක ඒරන් ෆින්ච් ද එම සටහනේ මුල් දස දෙනා අතර පසු වෙති.

නවසීලන්තය මෙන්ම ඔස්ටේ‍්‍රලියාවද අවසන් පූර්ව තරගයෙන් අවසන් මහා තරගයට ආවේ පෙරළියක් කරලාය. මෙවර ලෝක කුසලානය ජය ගනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළ පකිස්තානය අත තිබූ ජය ඔස්ටේ‍්‍රලියාව ලබා ගත්තේ හොරුන් ගෙන ගියා මෙනි. එහෙත් එය හොරු ගෙන ගියේ නැත. ඩුබායි ක‍්‍රීඩාංගණයට එක් රොක් වී සිටි දහස් සංඛ්‍යාත ක‍්‍රීඩා ලෝලීන් සාක්ෂිකරුවන් කරමින් මාකස් ස්ටොයිනිස් සහ මැතිව් වේඞ් එම ජය ඔස්ටේ‍්‍රලියාවට ලබා දුන්හ.

පන්දු යවන්නන් අතරින් මේ දෙරටේම ක‍්‍රීඩකයෝ සම මට්ටමේ ලා සැලකුවද වරදක් නොවේ. ඔස්ටේ‍්‍රලියාවේ ඇඩම් සම්පා ඔවුන් අතරින් වැඩිම කඩුලූ ලාභියා වේ. ඔහුට හිමි කඩුලූ ගණන 12කි. නවසීලන්තයේ ට‍්‍රනේට් බෝල්ට් අනතුරුව කඩුලූ 11ක් දවා ගෙන තිබේ. එහිම ඉෂ් සෝධි කඩුලූ 9කි. ඔස්ටේ‍්‍රලියාවේ මිචෙල් ස්ටාර්ක් කඩුලූ 9කි. එහිම ජොස් හෙස්ල්වුඞ් කඩුලූ 8කි. නවසීලන්තයේ ටිම් සවුතිද කඩුලූ 8කි.

මේ අනුව අද පැවැත්වෙන්නේ එකිනෙකට සමාන දස්කම්වලින් පිරිපුන් කණ්ඩායම් දෙකක් අතර තරගයකි. තරග 44කින් අනතුරුව එළැඹි මේ මහ අවසන් තරගය අද ක‍්‍රිකට් ලෝකයට සැණකෙළියක් මවනු ඇත. ඩුබායි ක‍්‍රීඩාංගණය ඒ සැණකෙළියේ පාරාදීසය වී තිබේ. පන්දු වාර 20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලි ඉතිහාසයේ 7 වෙනි සංධිස්ථානයේ අවසන් රංගනය මෙලෙස ඇරඹේ. ඊට දැන් සියල්ල සූදානම්ය. මේ රංගනයට වරම් ලැබ ගනු පිණිස කණ්ඩායම් 16ක් මූලික වටයට පැමිණියේය. අනතුරුව එය සුපිරි වටයට එනවිට කණ්ඩායම් 12ක් විය. අවසන් පූර්ව වටයට කණ්ඩායම් හතරක් විය. ඒ සියලූ කඩඉම් පැන අවසන් මහ තරගය කරා පැමිණීමද මහත් ජයග‍්‍රහණයක් බව නොකිවමනාය. එහෙත් එය ඉමහත් ජයග‍්‍රහණයක් වන්නට නම් අද තරගයත් ජය ගත යුතු වේ. පිළිවෙලින් ඉන්දියාව, පකිස්තානය, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්,

ශ‍්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් එම ඉමහත් ජයග‍්‍රහණය ලබා ඇත. එහි ඊළඟට ලියවෙන්නේ ඔස්ටේ‍්‍රලියාවද නවසීලන්තය ද යන්න අද තීරණය වනු ඇත.

කුෂාන් සුබසිංහ
ඩුබායි සිට

advertistmentadvertistment
advertistmentadvertistment