සත පහක් හෝ නාස්ති කර ඇති බව අද ඔප්පු කළොත් හෙට යනවා – ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා

498

චිත්‍රපටි සභාපති වූ ජයන්ත ධර්මදාස කලාකරුවන් සමග නොසිට හිරකරුවන් සමග ඉන්න ද

සමහරු ඉරිසියාවට නොයෙක් කතා කියනවා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් ශත පහක් හෝ ඉන් බාහිර කිසිවෙකුගේ පරිහරණය වෙනුවෙන් වියදම් කර නොමැති බවත් එසේ අයථා ලෙස මුදල් වියදම් කර ඇති බව අද ඔප්පු කර පෙන්වුවහොත් හෙට තම තනතුරුවලින් ඉවත් වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා ඊයේ (25 වැනිදා) ප්‍රකාශ කළේය.

කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණ පරිශ්‍රයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ බව සඳහන් කළ ඒ මහතා තවදුරටත් පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව සිදුකළ විගණන වාර්තාව සම්බන්ධයෙන් ලබන 16 වැනිදාට පෙර පිළිතුරු ලබාදීමට කටයුතු කරන බවයි.

එම විගණන වාර්තාවේ කෙටුම්පත ජුනි මස 18 වැනිදා තමන් අතට පත්වූ බවත් ඒ සඳහා පිළිතුරු ලබාදීමට අගෝස්තු 22 දක්වා කාලය ඉල්ලා සිටි බවත් පසුව එම කාලය අගෝස්තු 16 වැනිදා දක්වා අඩු කර ගත් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පැවසීය.

කෙසේ වෙතත් විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් ක්‍රීඩා අමාත්‍යංශයට යොමුකළ එම විගණන වාර්තාවේ කෙටුම්පත තමන්ට ලැබීමටත් පෙර බාහිර පාර්ශ්වයන් අතට පත්වීම ගැටලුවක් බවත් තමන්ට එම කෙටුම්පත මුල් කවරයක් නොමැතිව ලැබෙද්දී ඉහත කී බාහිර පාර්ශ්වයන්ට එය මුල් කවරය සමග ද ලැබී තිබෙන බවද ක්‍රිකට් සභාපතිවරයා කීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ජයන්ත ධර්මදාස මහතා ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස දෙවරක් කටයුතු කළ අයකු බවත් එවැනි අයකුට ඔබ කියන්නේ කලාකරුවන් ඇසුරු කරන්නෙ නැතිව සිරකරුවන් ඇසුරු කරන්න දැයි ක්‍රිකට් සභාපතිවරයා මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.

ඉන්දියාවේ ක්‍රිකට් ඉහළ නැංවීම සඳහා බොලිවුඩ් තාරකාවන් එම කණ්ඩායම සමග නොයෙක් සංචාරයන්ට එක්වන බවත් නළු නිළියන් ගායක ගායිකාවන් තම කණ්ඩායම දිරි ගැන්වීම සඳහා සහභාගී වීම ඉන්දියාවට නොව ලෝකයටම අලුත් දෙයක් නොවන බවත් ක්‍රිකට් සභාපතිවරයා සඳහන් කළේය.

එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන තරග නැරඹීම සඳහා නළු නිළියන් සහභාගීවීම ඇතැමුන්ට දරාගන්න බැරි තරම් ඊර්ෂ්‍යාවක් හට ගන්නට හේතු වී ඇති බවත් ඒ නිසා ඔවුන් නොයෙකුත් අවලාද නගමින් සිටින බවත් ක්‍රිකට් සභාපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සිදුකළ විගණන වාර්තාවේ කෙටුම්පතක් මාධ්‍ය හමුවේ ප්‍රදර්ශනය කර චෝදනා නැඟූ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාට විගණකාධිපති වාර්තාව සහ කෙටුම්පතෙහි වෙනස තේරුම් ගැනීමට නොහැකිවීම ගැන කනගාටුවට පත්වන බවත් ක්‍රිකට් සභාපතිවරයා සඳහන් කර සිටියේය.

2022 ඔස්ට්‍රේලියාවේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය නැරඹීම සඳහා වීසා ඉල්ලමින් ලිපි නිකුත් කළ බාහිර පුද්ගලයන් 23 දෙදෙනාගෙන් 12 දෙනෙක්ම ඔස්ට්‍රේලියාවට නොගිය බවත් එසේ වූයේ ඔවුන්ට වීසා ලැබෙන විට අපේ තරග අවසන්ව තිබූ නිසා බවද ක්‍රිකට් සභාපතිවරයා සඳහන් කළේය.

එසේ ඔස්ට්‍රේලියාවට ගිය 11 දෙනාම ගියේ ඔවුන්ගේ පෞද්ගලික මුදලින් බවද ක්‍රිකට් සභාපතිවරයා පැවසීය.

“මැච් බලන්න ටිකට් ගත්ත පමණින් හැමෝටම වීසා ඉල්ලලා දෙන්න බැහැ. හැබැයි මට පුළුවන් මගේ සහෝදරයට, බිරිඳට වීසා ඉල්ලුම් කරන්න. ඒ වගේම අපේ හොඳම හිතවතුන්ට එහෙම කරන්න පුළුවන්. හැබැයි තරහකාරයින්ට එහෙම වීසා අරන් දෙන්න බැහැ. ඒ වගේම ක්‍රීඩා සමාජයක සභාපති කෙනෙක්, ලේකම් කෙනෙක් ඉල්ලුවොත් අපි වීසා අරන් දෙන්න කටයුතු කරන්න ඕන.

විධායක කමිටුවේ සාමාජිකයන් ලෙස අපි සත පහක පඩියක් නැතුව තමයි වැඩ කරන්නේ. අපේ සාමාජිකයන්ට මේ තනතුරු දැරීමත් එක්ක ලැබෙන එකම වාසිය තමයි මේ මැච් බලන්න යන එක. අපි බිලියන ගණන් ආදායම් උපයලා තියෙනවා. ඒ මුදලින් සියයට දශම දෙකක මුදලක් තමයි මේ ලෝක කුසලාන තරගාවලියේ වියදම් වී තිබෙන්නේ. තරගාවලියේ සමාරම්භක උත්සවය සඳහා සහභාගිවීමට මගේ වියදම් දැරුවේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින්.”

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් ඩොලර් මිලියන 35 ක් ඉතුරු කර ඇති තමන් ලෝක කුසලාන තරගාවලිය සඳහා වියදම් කළේ ආණ්ඩුවේ සල්ලි නොවන බවත් ඒවා අයිසීසී සාමාජිකත්වය වෙනුවෙන් හිමිවන මුදල් බව ද ක්‍රිකට් සභාපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හරියට පෞද්ගලික සමාගමක් මෙන් බවත් ක්‍රිකට් ආයතනය පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප් කමිටුව) හමුවේ පෙනී සිටින්නේ විගණනයට යටත් වීම නිසා පමණක් බවත් ක්‍රිකට් සභාපතිවරයා කීය.

තරග ආවරණය කිරීම පිණිස නොයෙක් මාධ්‍ය ආයතනවලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉල්ලීම් ලැබෙන බවත් එසේ ලැබෙන ඉල්ලීම් සලකා බලා කීප දෙනෙකුටම අනුග්‍රාහකත්වය ලබා දීමට කටයුතු කිරීම ඒ මාධ්‍යවේදියා “ක්‍රිකට් බෝඩ්” එකෙන් අරන් ගියා යයි පැවසීම කෙතරම් සදාචාරාත්මක දැයි ප්‍රශ්නයක් වන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

තමන් මේ ක්‍රිකට් ආයතනය භාරගන්නා විට හිටපු නිලධාරීන් විසින් එය සූරාකෑමකට ලක් කර රුපියල් බිලියන 4ක අලාභයක් සිදු කර තිබූ බවත් එසේ තිබුණු ආයතනයක් ඩොලර් මිලියන 35ක සංචිතයක් ඇති ආයතනයක් බවට තමන් පත් කළත් එය මාර්කටින් කිරීමට කටයුතු නොකළ බවත් ක්‍රිකට් සභාපතිවරයා පැවසීය.

මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා, උප සභාපති ජයන්ත ධර්මදාස, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද හා ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා යන මහත්වරු ද සහභාගි වී සිටියහ.

ඡායාරූප – නිමල් දයාරත්න

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment