ආතර් සී. ක්ලාක්ට කලින් පංචතන්ත්‍රයේ ලියැවුණු විද්‍යා ප්‍රබන්ධ

225

අප රටේ ප්‍රබුද්ධයන් තුන් හතර දෙනකු එකතු වී සාහිත්‍යය, සිනමාව හෝ ටෙලි නාට්‍ය කලාව ආදී කරුණු ගැනත්, වර්තමාන පරම්පරාවේ රසිකත්වය අවරට යෑම ගැනත් අකම්පාල වෙමින් සිටින අවස්ථාවලදී පවා ඔවුන් විසින් හිතාමතාම අමතක කර දමන මාතෘකා දෙකක් ඇත.

එකක් නම් චිත්‍ර කලාවය.

අනෙක විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයයි.

ඉතින් මේ කාරණා දෙක හෝ ඉන් එකක් පිළිබඳව ආශක්ත වූවෙකු ඉන් එක මාතෘකාවක් පිළිබඳව හෝ කතා බහක් ආරම්භ කළ කල්හි පෙනී යන්නේ සාකච්ඡාවේ මාතෘකාව ඉතා සීඝ්‍රයෙන් මන්දගාමී වන බවය. කතාව ගලා යන්නේ අඩියක් ගසන අතරේ නම් වීදුරුවට අයිස් කැටයක් දමා ගැනීමට හෝ ඊළඟ මිලි ලීටර් පනහ වීදුරුවට වත් කර ගැනීමට එය විරාමයක් කර ගන්නා අයුරුය. ඉක්බිති සාකච්ඡාවේ දෙවන වටය ඇරඹෙන්නේ එවැනි මාතෘකාවක් ඉස්මතු වූ බව හෝ අමතක කරමිනි.

එපමණක්ද නොව මුහුණු පොත හරහා එකිනෙකා විසින් අනෙකාගේ පොත පත ගැන හා ඔහුත් තමාත් අතර ඇති මානුෂීය සබඳතාව පිළිබඳව කෙරෙන අටෝරාශියක් විවරණයන් හා අගය කිරීම් අතරේද විද්‍යා ප්‍රබන්ධයක් ගැන කියවෙන බවක් දක්නට නැත.

නමුත් මෙවර සාහිත්‍ය මාසයේ වූ පොත් සල්පිල සඳහාද සතුටුදායක ප්‍රමාණයක් නොවූවත් විද්‍යා ප්‍රබන්ධ කෘතීන් සුළු ප්‍රමාණයක් හෝ ප්‍රකාශයට පත්වී තිබූ බව දක්නට ලැබිණි.

ඒ පිළිබඳව මෙම ලියුම්කරු විසින් කරන ලද විමසා බැලීමකදී පෙනී ගියේ විද්‍යා ප්‍රබන්ධ පමණක් නොව සෙසු ප්‍රකාශන වලද යම් අඩුවක් ඇති බවය. පවතින ආර්ථික ගැටලු මුල් වීම නිසා මුද්‍රණ වියදම් අධික වීමද ජනතාවගේ ක්‍රය ශත්තිය හීන වීමද මෙයට බලපා ඇති බව පෙනෙන්නට තිබුණි.

එමෙන්ම මෙම විමසා බැලීමේදී සුරස ප්‍රකාශන අධිපති ප්‍රේම් දිසානායක මෙන්ම සූරිය ප්‍රකාශන අධිපති අතුල ජයකොඩි ද පැවසුවේ විද්‍යා ප්‍රකාශන මෙවර නිකුත් නොකළ බවයි. එයට මූලික හේතුව විද්‍යා ප්‍රබන්ධ ඉදිරිපත්ව නොතිබීම බවද ඔවුහු පැවසූහ. නමුත් සරසවි ප්‍රකාශන අධිපති එච්. ඩී. පේමසිරි මහතා පැවසුවේ විද්‍යා ප්‍රබන්ධ අලෙවියේ අඩුවක් ඇති නමුත් තමන් රාජ්‍ය සම්මානලාභී විද්‍යා ප්‍රබන්ධ ලේඛකයෙකු වූ වෛද්‍ය තුසිත රුවන්ගේ කෘතියක් ප්‍රකාශයට පත්කළ බවයි. සූරිය ප්‍රකාශකයෝ මෙන්ම සුරස ද මීට පෙර විද්‍යා ප්‍රබන්ධ ප්‍රකාශයට පත්කර තිබුණෝ වෙති. දමිත නිපුණජිත්ගේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූ කාලාවකාශයේ සිරකරුවා සහ ඒ සඳහා නිර්දේශිත විස්මිත සිහින දකින්නා යන කෘතිද සූරිය ප්‍රකාශනයකි. නමුත් ගොඩගේ, විජේසූරිය, ඇතුළු ආයතනද විද්‍යා ප්‍රබන්ධ ප්‍රකාශයට පත්කර නොතිබුණි. රුසියාව ප්‍රකාශකයෝ අධිපති සරත් ලාල් කුමාර පැවසුවේ මෙතෙක් විද්‍යා ප්‍රබන්ධ ප්‍රකාශනයට අත නොගැසූ නමුදු ලාභ ලැබීමේ පරමාර්ථයෙන් තොරව 2024 දි ඒ සඳහා යොමු වන බවය.

කඩවත මියුසස් ප්‍රකාශන ආයතනයේ අධිපති කවීශ නඳුන් කග්බොඩ ආරච්චි පැවසුවේ තම ආයතනය විසින් මෙවර අයිස් හන්ට් සහ කන්ෆික් ටියුරා නමින් විද්‍යා ප්‍රබන්ධ කෘති දෙකක් ප්‍රකාශයට පත් කළ බවයි. වෛද්‍ය තුසිත රුවන්ගේ එක්ස් නමැති රාජ්‍ය සම්මානිත විද්‍යා ප්‍රබන්ධයද ඔවුන්ගේ ප්‍රකාශනයකි.

විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යය සඳහාම යොමුවූ ප්‍රකාශන ආයතනයක් සේ පෙනෙන එස් ඇන්ඩ් ටී ප්‍රකාශන ආයතනය මෙවර සාහිත්‍ය මාසය වෙනුවෙන් සුවිශේෂී පර්යේෂණයක යෙදී තිබේ. එය නම් වචන 100 කට සීමා වුණු විද්‍යා ප්‍රබන්ධ 100 ක පොතක් ප්‍රකාශයට පත් කිරීමය.

මෙම දත්තයන් දෙස බලන කල පෙනී යන කාරණයක් වන්නේ සෑම ප්‍රකාශන ආයතනයක්ම පාහේ විද්‍යා ප්‍රබන්ධ ප්‍රකාශයට පත් කරනු ලබන්නේ ඉතාමත් අඩුවෙන් බවය. එය ප්‍රකාශකයන්ගේ කැමැත්ත අකැමැත්තට වඩා විද්‍යා ප්‍රබන්ධ නිර්මාණය වීම අඩු නිසා සිදු වූවක් බව පෙනී ගිය කරුණකි.

එයට හේතුවක් තිබේ.

එනම් මේ කටයුත්ත සඳහා පවතින යථාර්ථය ගවේෂණය කිරීමේ හැකියාවෙන් ඔබ්බට ගිය නිර්මාණාත්මක පරිකල්පනයකින් යුතු ලේඛක ලේඛිකාවන් පිරිසක් අවශ්‍ය වීමය. මන්ද යත් එය අපව, අප එදිනෙදා අත් විඳින වර්තමාන ජීවිතයෙන් ඔබ්බට රැගෙන ගොස් බොහෝ විට අනාගතයේදී නව තාක්ෂණයත් සමඟ මතුවිය හැකි ගැටලු පිළිබඳව අවධානය යොමු කරවන්නක් වන හෙයිනි. විද්‍යා ප්‍රබන්ධයක් විසින් බොහෝ විට අපට සාහිත්‍යමය රසාස්වාදයක් ගෙන දෙනු ලබන්නේ, සාමාන්‍ය සාහිත්‍ය කෘතියකදී මෙන් චරිතවල අභ්‍යන්තරයට කිමිදීමෙන් නොව විශ්වය හා ස්වභාව ධර්මය මිනිසාගේ පරිණාමය සමඟ ගැටෙන ආකාරය විවරණය කිරීමෙනි.

නමුත් විද්‍යා ප්‍රබන්ධයක් යනු හැමවිටම අනාගතයේ සිදුවන දෙයක් පිළිබඳ කතාවක් සේ සැලකිය යුතු නැත. එය අතීත, අනාගත හා වර්තමාන කාලාත්‍රයම ආවරණය වන්නක්ද විය හැකිය. මේ සඳහා අපට දිය හැකි හොඳම උදාහරණයක් වන්නේ ජාතක කතාවක් මෙන්ම අප රට තුළ ඉතා ජනප්‍රිය සාහිත්‍ය කෘතියක්ද වන උම්මග්ග ජාතකයයි. එකවර පහන් දහසක් දැල්විය හැකි විද්්‍යුත් තාක්ෂණය ගැන මෙන්ම අද වන විට අප රට හැර බොහෝ දියුණු රටවල් ප්‍රයෝජනයට ගන්නා උමං තාක්ෂණය ගැනද මුල් වරට අසන්නට ලැබෙන්නේ උම්මග්ග ජාතකය තුළිනි. එසේම විෂ්ණු ෂර්මන්ගේ පංච තන්ත්‍රයෙහි එන රජ කුමරියට පිස්සු වැටුණු පේෂකාරයාගේ කතා වස්තුවෙන් අපට මුල් වරට ඉතා හොඳින් පාලනය කළ හැකි ගුවන් යානයක් ගැන අසන්නට ලැබෙයි. ආසියාතිකයන්ගේ කටයුත්තක් නිසා අගය කිරීමකට ලක් නොවුණද, මෙම නිර්මාණ ද්විත්යම විද්‍යා ප්‍රබන්ධ ලෙස සැලකීමටද බාධාවක් නැත. ඒ නිසා ආතර් සී ක්ලාර්ක්ගේ කෘති සිංහලෙන් පළවීමට ප්‍රථම උම්මග්ග ජාතකය නම් විද්‍යා ප්‍රබන්ධ කෘතියක් අප රටෙහි තිබූ බව කීම ඒ මහතාට අගෞරවයක් නොවනු ඇත.

මේ ආකාරයට විද්‍යා ප්‍රබන්ධයක් විසින් අනාගතයේ සිදුවන දෙයක්ම මුල් කර ගත යුතු යැයි නියමයක් නැති නමුදු හැම විටම පාහේ ඒ සඳහා විද්‍යාත්මක සංකල්පයක් මුල් වන අතර, තාක්ෂණික ක්‍රියාකාරකමක් සහ ඊට අදාළ සිදුවීමක් මිනිස් පරිණාමය හා ප්‍රතික්‍රියා දක්වන ආකාරය නිරූපණය වීම සිදුවන්නකි.

එසේ වුවද අනාගතයේ ඇතිවිය හැකි විද්‍යාත්මක දියුණුව නිසා මනුෂ්‍ය වර්ගයාට මුහුණ දීමට සිදුවන ගැටලු පිළිබඳව විවරණයක යෙදීම අද වන විට විද්‍යා ප්‍රබන්ධ රචනයෙහිලා අනන්‍යතාව බවට පත්ව ඇතැයි යන්න ඒ පිළිබඳව කතා කරන විචාරකයන්ගේ අදහස වී ඇත.

අද්‍යයතන සාහිත්‍ය කෘතිවලින් විවරණය නොවෙන මෙම කාරණා අතරින් එකක් වන්නේ මනුෂ්‍යයාගේ මනසේ ඇති සියලු කාරණා එහි අවසාන බිඳුව දක්වා පරිගණක මොළයක් තුළට රැගෙන ආ දිනක ලෝකයට කුමන තත්ත්වයක් ඇතිවේද යන්නය. එවැනි මොළයක් සහිත යාන්ත්‍රික සත්වයෙකු කුමන නමකින් හැඳින්විය යුතුද යන්නත්, ඉතා සංකීර්ණ ප්‍රපංචයක් බවට පත්ව ඇති සිත පිළිබඳව එවිට ඇතිවිය හැකි ගැටලු සහගත තත්ත්වයත් වර්තමාන විද්‍යා ප්‍රබන්ධ රචකයන් තුළ මහත් කුකුසක් දනවන්නක් විය හැකිය. ඒ හැරුණු කල මිනිසා සමාන රොබෝවන් අරබයා සමාජයේ ඇති නීති රීතිවල බලපෑම, සහ සදාචාරය පිළිබඳ ගැටලු ආදියද විද්‍යා ප්‍රබන්ධ තේමාවන් අරබයා මූලික කාරණා වනු ඇත.

සිව් මංසල කොලු ගැටයා නමැති විශිෂ්ට තීරු ලිපියේ රචකයා වන නාලක ගුණවර්ධන නමැති ප්‍රවීණ පුවත්පත් කලාවේදියා අප රටෙහි විද්‍යා ප්‍රබන්ධ රචකයන් පිළිබඳව එක්තරා දුරකට සාධාරණ විවේචනයක යෙදෙන අතරේම ඔහු පවසන්නේ හොඳ කෙටි කතාවක හෝ නව කතාවක තිබිය යුතු මූලික ගුණාංග සියල්ල විද්‍යා ප්‍රබන්ධයකද අඩංගු විය යුතු බවය.

ශ්‍රී ලංකාවේ සුප්‍රකට විද්‍යා ප්‍රබන්ධ පරිවර්තකයෙකු වන එස්. එම්. බන්දුසීල පවසන්නේ අද ලෝකය පුරා දක්නට ලැබෙන නිපයුම් වලින් ඉතා වැඩි ප්‍රමාණයක් විද්‍යා ප්‍රබන්ධ රචකයින් විසින් පල කරන ලද අනාවැකි මුල් කර ගනිමින් නිපදවූ ඒවා බවය. අප රටෙහි ජීවත් වූ සුප්‍රකට විද්‍යා ප්‍රබන්ධ රචකයෙකු මෙන්ම විද්‍යාඥයෙකු වූ ආතර් සී ක්ලාර්ක් මීට අශක ගණනාවකට පෙර ඉදිරිපත් කරන ලද සන්නිවේදන චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ සංකල්පය සමස්ත ලෝකයම කුඩා ගම්මානයක් බවට පත්කරවන්නට සමත් වූ බව අපි දනිමු. මවිසින් ලියන ලද මෙම ලිපිය දිවයින පුවත්පතෙහි කතුවරයා වෙත තත්පරයට සැතපුම් 1,86,000 ක වේගයෙන් විද්්‍යුත් තැපෑලෙන් යවනු ලබන්නේද ඒ සංකල්පයේම ප්‍රතිඵලයක් වශයෙනි. මේ ආකාරයට කාල් කොපෙක් නම් ලේඛකයා විසින් රොබෝවරුන් පිළිබඳ සංකල්පය මුල්වරට සිය නිර්මාණවලට ඇතුළත් කරන ලද අතර විලියම් ගිබ්සන් නමැති විද්‍යා ප්‍රබන්ධ රචකයා විසින් තමාගේ නිර්මාණ තුළ සයිබර් අවකාශය ගැන සඳහන් කර තිබේ. මේ පිළිබඳව කතා බහ කරන එඩ්වින් ටොෆ්ලර් නමැති ලේඛකයා, අප විද්‍යා ප්‍රබන්ධ දෙස බැලිය යුත්තේ එය සමාජ විද්‍යාවක් ලෙස සලකමින් යයි කියා සිටියි. ඔහු තවදුරටත් සඳහන් කරන්නේ වර්තමාන තරුණ පරම්පරාව විද්‍යා ප්‍රබන්ධ කියවිය යුත්තේ ඒවායේ කියවෙන රොකට් යන්ත්‍ර, හෝ කාල තරණය පිළිබඳ සිදුවීම් වලින් ආශ්වාදයක් ලැබීමට පමණක් නොවිය යුතු බවය. ඔහු පවසන්නේ අනාගතයේදී මිනිසාට මුහුණ පෑමට සිදුවන දේශපාලනික, සමාජීය, මානසික හා සදාචාරාත්මක ප්‍රශ්න ගැන අවබෝධයක් ඇති කර ගැනීමටද ඒවායින් ඉඩ ප්‍රස්තාවක් ලබා ගත යුතු බවය.

විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යය සඳහාම යොමුවූ ප්‍රකාශන ආයතනයක් සේ පෙනෙන එස් ඇන්ඩ් ටී ප්‍රකාශන ආයතනය මෙවර සාහිත්‍ය මාසය වෙනුවෙන් සුවිශේෂී පර්යේෂණයක යෙදී තිබේ. එය නම් වචන 100 කට සීමා වුණු විද්‍යා ප්‍රබන්ධ 100 ක පොතක් ප්‍රකාශයට පත් කිරීමය.

වචන 100 ක විද්‍යා ප්‍රබන්ධ 100 ක් යනුවෙන් නම් කර ඇති මෙම කෘතිය සඳහා ලේඛක ලේඛිකාවන් හැට දෙදෙනකු සහභාගි වී ඇති අතර පොතක මිල ඇපියල් 600ක් බව ආයතනයේ අධ්‍යක්ෂ සමීර රත්නායක පවසයි. මේ සඳහා නිර්මාණ ඉදිරිපත් කළ විද්‍යා ලේඛකයෙකු වන සඳුන් සමීර පවසන්නේ වචන 100 කට සීමා වී විද්‍යා ප්‍රබන්ධයක් නිර්මාණය කිරීම වූ කලී බරපතළ අභියෝගයක් වූ බවයි.

රටෙහි හැම ක්‍ෂේත්‍රයකටම පොදු වූ විවිධාකාර හේතු මත අනෙකුත් පත පොත මෙන්ම විද්‍යා ප්‍රබන්ධ අරබයාද ගැටලු මතු වී තිබුණද, විද්‍යා ප්‍රබන්ධ රචනයෙහිලා විශිෂ්ට හැකියාවන්ගෙන් පිරිපුන් ලේඛක පරපුරක් අප අතර සිටින බවට මෙම ලියුම්කරුද ප්‍රධාන සාක්ෂි කරුවෙකි. මන්ද යත් ඔහු විසින් සංස්කරණය කරන ලද ඉරිදා ලක්බිම මන්දාකිණිය අතිරේකයේ ආරම්භ කරන ලද විද්‍යා ප්‍රබන්ධය විශේෂාංගය සඳහා එවන ලද ඉතා හොඳ නිර්මාණවලින් සියයට 95 ක්ම සපයන ලද්දේ අලුත් ලේඛක ලේඛිකා පරපුරක් විසින් වන බැවිනි. මෙම ලේඛක පිරිස අතරේ අවුරුදු 15 සිට 83 දක්වා වූ වයස් පරාසයක ලේඛක ලේඛිකාවන් සිටි අතර ඉන් සියයට 70ක්ම තරුණ තරුණියන් බවද කිව යුතුය.

ඒ නිසා විද්‍යා ප්‍රබන්ධ රචනයේ බාධාවන්ට විද්‍යාත්මක විසඳුමක් සොයා ගැනීමද එතරම් අසීරු කටයුත්තක් නොවනු ඇත.

● තිස්ස ප්‍රේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment