ස්නේහය – සයිමන් නවගත්තේගම

766

උසස් පෙළට සිංහල -18

1940 බිනර මස 15 වැනි දා වන්නියේ උපන් සයිමන් නවගත්තේගම ලියූ ‘භාවනාව’ කෙටි කතා සංග්‍රහයෙන් උපුටා ගත් ‘ස්නේහය’ කෙටි කතාව ගැන අද ඔබට ලියමි.

ස්නේහය කෙටි කතාවට බලපෑ සමාජ, සංස්කෘතික පසුබිම ස්නේහය කෙටි කතාවට බලපා ඇත්තේ වන්නියේ ගැමි පරිසරය යි- නාගරික සමාජයේ මෙන් ම වන්නියේ ගැමි ජීවිතය කෙරෙහි මනා සංවේදී බවකින් යුතු සයිමන් නවගත්තේගම කලාවට දිවි කැප කළ කලාකරුවෙකි- මේ ‘ස්නේහය’ කෙටි කතාවෙන් ගැමි ජීවන සුවඳ හඳුනා ගත හැකි අතර අධ්‍යාපනය ලබනු පිණිස නාගරික ජීවිතයට හුරු වීම නිසා සිය එක ම පුතු මා පියන් ගෙන් දුරස් වීමත් එම හේතුව නිසා මාපියනට විඳීමට සිදු වන මානසික පීඩනයත් හඳුනා ගත හැකිය- හැට හැත්තෑ දශකවල අපේ රටේ පැතිර යන විශ්වවිද්‍යාල අධ්‍යාපන මායාව නිසා බිහි වූ බටහිර සංස්කෘතියෙන් පිම්බුණු උගත්හු ගැමි දිවියෙන් ද ගැමි සංස්කෘතියෙන් ද ඈත් වූ හ. වසර පනහක් ඉක්ම ගිය ද මේ ගැටලුව වත්මන් සමාජයේ තවමත් දැකිය හැකිය.

ස්නේහය කෙටි කතාවේ වර්ණනා සහ සංකේත

කෙටි කතාකරුවා ගැමි පරිසරය ගැන කරන වැනුම් සිත් ගන්නා සුලු ය- වතුර රැගෙන එනු පිණිස කළය ගෙන වැවට ගොස් හති අරින අයුරු සිත් රූ දනවන අයුරින් පවසයි. “ පිංචි මහයියා වැව් කන්දේ මංකඩ පුරා වැසී සිටි කුඹක් ගහ අත හෙවණේ ඉඳ ගෙන හති අරින්නට විය. මහලු රංකිරාට වෙදකම් කරනු පිණිස ගමේ සැවොම එක් වෙති. එකතු වූ ගම් වැසියන් නිසා නිවසේ ඇති වන කලබලකාරී බවත් ඔවුන් ගිය පසු ව ඇති වන නිහැඬියාවත් කෙටි කතාකරුවා දක්වනුයේ සංකේතාත්මක ව ය. “ දෙමලිච්චියෝ රංචුවක් කොහේ දෝ සිට පැමිණ කුස්සියාලත්තේ වහලයේ වැසූ හ. ඔවුන්ගේ කචබොචය නිසා ඇගේ සිතිවිලි පරම්පරාව බිඳී ගියේ ය. හදිසියේ ආ ආකාරයෙන් දෙමලිච්චෝ කෑ ගසමින් අඬ දබර වෙමින් හදිසියේ ම ආපසු පියඹා ගියහ.” කරදරයක් වූ කල උදවු පිණිස පැමිණීම පැරැණි ගැමි සමාජයේ පැවැති උතුම් සිරිතකි. දෙමලිච්චියන් ඒ උදවුවට පැමිණි කතුන් දක්වන කදිම සංකේතයකි. ඔවුන් ගේ දබර සහ ගොස නිසා පිංචිමහයියාට සිය සැමියාට වූ කරදරය නිසා මතු වූ සොව දනවන සිතිවිලි පරම්පරාව බිඳී යයි. ගැමියන් ගිය පසු ඇති වන නිහඬතාව, දෙමලිච්චියන් ගේ කෑ ගැසීම නැවැතුණු පසු ඇති වන නිහැඬියාව බඳු ය. මේ සංකේතාත්මක බස සරල ව පෙනුණ ද ගැමි සමාජයත් සංස්කෘතියත් දක්වන ගැඹුරු අරුත් බර බසකි.

දෙබස් භාවිතය

පිංචිමහයියා ගේ දෙබස් බහුල ව යොදා ගන්නා කෙටි කතාකරුවා මහලු රංකිරා ගේ මුවට දෙබස් නඟනුයේ ඉතා අඩුවෙනි. රංකිරා ගේ නිහඬ බවත් කල්පනාවේ නිමග්න වීමත් පාඨකයා ගේ කුතුහලය අවුස්සයි. රංකිරා සිය නිහඬ බව බිඳ අවසානයේ දී පවසන වදන් පාඨක සිතේ නැඟුණු කුතුහලය කිසියම් අවබෝධයකට පෙරළන සුලු ය. “අනේ මුදලාලි උන්නැහේ . අරක ටිකක් දාන්ඩ . මගේ හීං කොල්ලගෙ කටහඬ ටිකක් අහන්ඩ.” මහලු රංකිරා ලෙඩකු නො ව පුතු නො දැකීම නිසා හට ගත් මානසික වේදනාවෙන් දැඩි පීඩාවට පත් අයකු බව ඉහත වැකියෙන් පාඨකයා වටහා ගනියි. කපිතන් ගේ පුත්තු කෙටි කතාවේ සිය පුතු නොදැකීම නිසා පීඩාවට පත් කපිතන් ජයවීර කෝප සිතැති අයකු බවට පත් වූ සේ ම සිය පුතු නොදැකීම නිසා කම්පිත හදැති රංකිරා මුනිවත රකින මඳ සිහි ඇති අයකු බවට පත් වෙයි. පිය පුතු සෙනෙහසේ ප්‍රබල බව මතු කරන මේ කතා පුවත් දෙක ම මඟින් හෙළි කරනුයේ උතුම් මිනිස් දහමකි.

චරිත නිරූපණය

මහලු රංකිරා

සිය බිරිඳ ගේ ආදරයත් අසල් වැසි ගැමියන් ගේ බුහුමනත් ලැබීමට වාසනාව ඇති රංකිරා සිය පුතු නොදැකීම නිසා මහත් සේ කම්පාවට පත් වේ. සිරුරු සවිය පැවැති කල ඔහු වෙහෙස වී වැඩ කළේ ය. “රංකිරා උන්දෑ ද ඔහු ගේ හිත මිත්‍ර තවත් ගොයියන් කීප දෙනෙක් ද එකතු පාදා වී, කැලේ කඩබිඳී තිබූ මේ පුරාණ වැව බැඳ පහළ ඉඩම් අස් වැද්දූහ- මීට මුල් වූ ගංකාරයා රංකිරා උන් දෑ ය. ” රංකිරා ගමට මහත් සේවයක් කළ අයෙකි.

පිංචි මහයියා

සිය සැමියාටත් පුතුටත් මහත් සේ ආදරය කරන පිංචි මහයියා සාම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට නො ගිය උතුම් කාන්තාවකි. ඇය සිය සැමියා ගේ අසනීප තත්ත්වය නිසා ඇති වූ දුබල බවත් සිත් වේදනා ගැනත් මහත් සේ කම්පා වූවා ය. සිය පුතු ගේ යහපත සහ දියුණුව පැතූ ඇය හද පුරා උතුරා යන මවු සෙනෙහස ඇති උතුම් මවකි.

රංකිරා ගේ හීං කොලුවා

කුඩා කල විනෝදයට සෙල්ලම් කළ කුඩා දරුවා ශිෂ්‍යත්ව විභාගය සමත් වී ය. අධ්‍යාපන කටයුතුවලට කැප වුණු ඔහු විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා රටේ මහත් කීර්තිමත් තත්ත්වයට පත් විය- අම්මාටත් තාත්තාටත් සිටින එක ම පුතු ඔහු වුව ද මා පියන් ගැන සොයා බලා ඔවුන් ඇසුරේ ම දිවි ගෙවීමට ඔහුට නොහැකි විය. මා පිය ඇසුරේ දිවි ගෙවීම තරම් වටිනා දෙයක් ලොව නැත. ඒ උතුම් ඇසුර බොහෝ අයට අහිමි වනුයේ තමන් ලද අධ්‍යාපනය හේතුවෙනි.

උසස් පෙළ ලියන ඔබ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට වරම් ලද හොත් මා පියන් ගැන නිතර සොයා බලන්න. වෙසෙසින් ම විභාග පැවැත් වෙන කාලවල දී අම්මා තාත්තා ගැන සොයා බැලීමට අමතක නො කරන්න. විවාහ වීමෙන් පසු ව වුව ද අපට කෙතරම් ප්‍රශ්න තිබුණත් මාපියන් ගැන සොයා බැලීමට අමතක නො කළ යුතුය.

මා පියන් ගෙ ගුණ
දැනෙයි නැති වී ගිය තැන
මෙලොව අඳුරක් වන
මහත් විපතක් වේය දුක් දෙන

මේ කවිය කුඩා කල පාඩම් කළ විට මගේ තාත්තා මට ශත විසි පහක් තෑගි දුන්නේ ය. තාත්තා මිය ගොස් වසර එකහමාරක් පමණ වේ- තාත්තා නැති වේදනාව කෙතරම් දැයි කීමට මට නොහැකි ය. අම්මා ගෙන් සහ තාත්තා ගෙන් ලැබෙන ආදරයත් සෙනෙහසත් ඉතා උතුම් ය. වියපත් මාපියනට ඇප උපස්ථාන කරන්න. උසස් පෙළ විභාගයට වෙහෙසෙන ඔබ සැමට ජය පතමි.

ස්නේහය - සයිමන් නවගත්තේගම

ආචාර්ය විරාජ් ධර්ම ශ්‍රී
ගා/ අත්‍ථදස්සි කනිටු විදුහල

සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment