වචනයෙන් වැඩ ගත් නිර්මාණ එකතුවක්

117

ගායක ගායිකාවන්ගේ දූ, පුත්තු බොහෝ විට කලා ක්ෂේත්‍රයට පිවිසෙති. විවිධාකාරයෙන් සිය කුසලතා ප්‍රදර්ශනය කරති. එහෙත් ලේඛක, ලෙඛිකාවන්ගේ දරු දැරියන් නිර්මාණකරණයට පිවිසෙන්නේ කලාතුරකිනි. ගායනයට වඩා ලේඛනය දුෂ්කර කටයුත්තක් වීම ඊට හේතුවිය හැකිය. එහෙත් මේ ප්‍රකාශය ගායනය අඩු තක්සේරුවකට ලක් කිරීමේ අධ්‍යාශයෙන් කරන්නක් නොවේ. කෙසේ වුවත් අපට සිටින උත්තම ගේය කාව්‍ය රචකයකු වූ මහින්ද දිසානායක ගේ පුත් ගයාමන් දිසානායක ගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය අප අතට පත්විය. ආධුනික රචකයකුගෙන් එක්වරම මහා ප්‍රතිභාවක් අපට අපේක්ෂා කළ නොහැකිය. එයද ඉතා කලාතුරකින් සිදු වන්නකි. මෙහිදී මොනිකා රුවන්පතිරණ, දයාසේන ගුණසිංහ අපේ මතකයට පියනඟයි.

ගයාමන් කෙටි නිර්මාණ බිහි කිරීමට දැඩි ලොල්කමක් දක්වන බවක් පෙනේ. එය ආරියවංශ රණවීර කවියා ගේ නිර්මාණ සිහිගන්වන්නකි.

“අනන්ත පරතරය
රබර් සිවියක”

මේ වචන සතරින් කවියා කොතරම් දේ ධ්වනිත කිරීමට යත්න දරා ඇද්ද? මිනිසා තුළ ලිංගිකත්වය කෙරෙහි ඇති ආශක්ත බව මෙයින් ප්‍රභලව හැඟී නොයන්නේද? සුළු දෙයක් පවා මිනිසාගේ නොසතුටට හේතුවන බව මේ “නොසතුට” නම් රචනයෙන් හැඟෙන බව අපේ හැඟීමයි.

“පිපිරුණි – බෙර පාළුව
ඉමිහිරි – නිහඬ හඬ”

“වෙඩින් බෑන්ඩ්” යනුවෙන් නාම ගන්වා ඇති මේ ක්ෂුද්‍ර නිර්මාණයෙහි ඇත්තේ වචන සයකි. විවාහ මංගල උත්සවයකට සහභාගි වූ විට ශබ්ද දූෂණයෙන් අපි කොතෙක් පීඩා විඳිමුද? කලාතුරකින් හමුවන හිතෛෂීන් සමඟ වදනක් දෙඩිය හැකිද? අසීමිත ශබ්දයේ වධබන්ධනයට වඩා නිහඬ බව කෙතරම් වටීද යන්න මෙයින් මැනවින් ධ්වනිත කර තිබේ.

“මිටි පඳුරු උස්වී පෙනෙයි
ඇද වැටුණු තැන මහ ගස්
පොඩි වැලි ගොඩැලි – වැනිය කඳුවැටි
පහළ ගිය දා වතුර මට්ටම”

මෙය පරිසර වර්ණනයකි. ගහ කොළ කඳුවැටි පිළිබඳවය. ඒ වචනාර්ථයයි. මිනිස් සමාජය ඇති නැති පරතර, බලය, අපවිත්‍ර දේශපාලනය පිළිබඳව මෙයින් ධ්වනිත කර නැතැයි කාට පැවසිය හැකිද? මෙය ගයාමන් පළමු කෘතියෙන්ම, නිවැරදි දැක්මක් මෙන්ම, වචනයෙන් මැනවින් වැඩගත් අවස්ථාවකි. ධ්වනිපූර්ණ වූ තරමට කාව්‍ය නිර්මාණයක අගයැති බව අමුතුවෙන් කිව යුතු නොවන්නකි. ආරියවංශ රණවීරයන් ගේ “තුරු සෙනඟ හා තණ පඳුර” පද්‍ය රචනය සිහිපත් වීමද නොවැළැක්විය හැකිය.

මෙහි පැතෙන “භාර්යා” තවත් අප සිත ගත ක්ෂුද්‍ර නිර්මාණයකි.

“එකල මල් විල
පසුව කම්හල
මෙකල පන්සල”

පෙම් කළ මුල් යුගය, විවාහය, වියපත්වීම පිළිවෙළින් රචකයා ධ්වනිත කිරීමට සමත් වී තිබේ. මෙය කුටුම්භ සංරක්ෂණයට පිවිසෙන කාට නම් අරුමයක් විය හැකිද? අප දන්නා දෙයින්ම අපට අපූරු නිර්මාණයක වින්දනය සමීප කිරීමට ගත් ප්‍රයත්නය පැසසිය යුතුය.

ගයාමන් දිසානායක තරුණ කවියකු වුවත්, මෙහි පෙම් කවි දක්නා නොලැබෙතැයි පැවසීමේ වරදක් නොපෙනේ. ඔහු ඊට වඩා පරිණත යමක් ඉදිරිපත් කිරීමට ප්‍රරෝත්සාහී වී ඇතැයි හැඟේ. “40න් පසු” නම් රචනය ඊට පැහැදිලි නිදසුනකි.

“විවේකය නිමාවූ නළුවකි
දිවිය 40න් පසු
අන්තරය වඩා ළඟ
ඇරඹුමට නොව අවසානයට”

ඔහු වෛද්‍යවරයකු බැවින් සාමාන්‍ය කවියකුට වඩා වෙනස් ලෙස ජීවිතය දෙස බලන්නට පුරුදු වී ඇද්ද යන සැකය විටෙක පහළ වේ. “කුරිරු දෙවියා” යන නිර්මාණය ඊට එක් නිදසුනක් පමණකි.

ඔහුගේ “විශ්ව” නම් නිර්මාණය දෘෂ්ටිමය අගය කෙරෙහි ගයාමන් දක්වන කැමැත්ත පෙන්නුම් කරයි. එහිදී කවිකම බිඳක් යටපත් වී දැයි කිසිවකුට සිතෙන්නට ඉඩ හසර තිබේ.

“රජකම ඉහළයි
රජකම රටකට විතරයි

වෙදකම ඉහළයි
වෙදකම ලෙඩකට විතරයි

කවිකම ඉහළයි
කවිකම බසකට විතරයි

මනුදම ඉහළයි
මනුදම විශ්වයටම ඉහළයි

මේ ගයාමන් දිසානායක කවියාට මහින්ද දිසානායක නම් පියාගෙන් ලද බලපෑමද විය හැකිය. මේ ලක්ෂණ මෙලෙසම “විරුද්ධාභාස”, “වාදය” යන රචනා ද්වයෙහි ද දක්නා ලැබෙන බව කිව යුතුය.

ගයාමන් හැම විටම කෙටි නිර්මාණ වලටම සීමා වී නොමැත. මේ කෘතියහි ඇතැම් තැන දිගු නිර්මාණ ද දක්නා ලැබේ. එහෙත් ඒ කිසිවක් පිටුවකට වඩා විකාශනය වී නොමැත.

කවර වස්තු විෂයයක් කවර විරිත් භාවිතයක්, සංකල්ප රූප හා සංකේත භාවිත කළත් කවියක ප්‍රමුඛස්ථානය හිමි විය යුත්තේ උපයුක්ත භාෂාවටය. ජාත්‍යන්තර කීර්තිධර එකම සිංහල විචාරකයා වූ මහාචාර්ය විමල් දිසානායකයෝ එය අවස්ථා ගණනාවකදී පෙන්වා දී ඇත්තාහ. කවියා උපයුක්ත බසින් තොරව කිසිදු කාව්‍ය නිර්මාණයක් පාඨකයාට මතකයටවත් නඟා ගත නොහැකි බව ඔහුගේ මතයයි. ඒ නිසා මීළඟ නිර්මාණයේදී දෘෂ්ටිමය අගය මෙන්ම, කව් බස කෙරෙහි අනූපම සැලකිල්ලක් යොමු කළ යුතු බව අවසාන වශයෙන් ගයාමන් දිසානායක උදෙසා ලියා තබමි. ඔහුගේ “තෘප්ත” කෘතියට පාඨක අවධානය යොමු වේවා! යනුද අපේ පරම පැතුමයි.

සුනිල් ගුණවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment