ඉන්දියාවේ මානව හිමිකම් ගැන බයිඩන් විමසයි

276

පෙරේදා (10දා) අවසන් වූ ඉන්දියාවේ නවදිල්ලි නගරයේ පැවති ජී-20 රාජ්‍ය නායක සමුළුව අතරතුර ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝඩි සමග පැවති සාකච්ජාවලදී තමා මානව හිමිකම් සුරැකීම හා මාධ්‍ය නිදහස පිළිබඳව සාකච්ජා කළ බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබේ. තමා ඉන්දීය අගමැතිවරයා සමග පැවැත්වූ ද්විපාර්ශවීය සාකච්ඡාවලදී ශක්තිමත් හා සෞභාගයසම්පන්න රටක් ගොඩනැගීමේදී මානව හිමිකම්වලට ගරු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව මෙන්ම මාධ්‍ය ස්වාධීන කිරීමේ වැදගත්කම පිළිබඳව පෙන්වා දුන් බව වියට්නාමයේ චාරිකාවක යෙදී සිටින ඇමරිකානු ජනාධිපතිවරයා එරට අගනුවර වන හැනෝයි නගරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් පවසා ඇත.

ක්‍රියාකාරීන් මෙන්ම මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නන් දිගින් දිගටම ඇමරිකානු ජනාධිපති බයිඩන් ඇතුළු ලෝක නායකයන්ගෙන් ඉහත කී මාතෘකා සම්බන්ධයෙන් ඉන්දීය අගමැති මෝඩිගෙන් ප්‍රශ්න කරන ලෙස ඉල්ලා සිටි අතර විශේෂඥයන් පෙන්වා දෙනුයේ මෙහිදී චීනයේ නැගීම වැළැක්වීමේදී ඉන්දියාව තීරණාත්මක සාධකයක් වීම හේතුවෙන් ඇමරිකාව මෙහිදී ප්‍රවේසමෙන් කටයුතු කරනු ඇති බවයි. දේශපාලන විශේෂඥයන්ට අනුව 2014 වසරේදී අගමැති මෝඩි නායකත්වය දරණ භාරතීය ජනතා පක්ෂය බලයට පත් වීමෙන් පසු ඉන්දියාවේ වාසය කරන මුස්ලිම් ජාතිකයන් ඇතුළු සුළු ජන කොටස්වලට එරෙහිව සිදු කරන පහරදීම් වැඩි වී තිබේ. එහෙත් අගමැති මෝඩි හා ඔහුගේ රජය විසින් මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. දේශසීමාවලින් තොර ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති වාර්තාවකට අනුව ඉකුත් මැයි මාසයේදී ගෝලීය මාධ්‍ය නිදහස් දර්ශකයේ ඉන්දියාවට හිමිව තිබූ ස්ථානය ඉකුත් වසරට සාපේක්ෂව මෙම වසරේදී ස්ථාන 11කින් පහළ බසිමින් 161 වැනි ස්ථානයට පත්ව තිබේ. ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථික වශයෙන් බලවත් රාජ්‍ය නායකයන්ගෙන් සැදුම්ලත් ජි 20 කණ්ඩායමේ සමුළුව ඉකුත් 09 හා 10 යන දෙදිනේ නවදිල්ලි නගරයේදී පැවැත්විණි.

advertistmentadvertistment
advertistmentadvertistment