සිංහල ව්‍යාපාරිකයන් ඉදිකළ කෝවිල ජාතික සමගියෙත් සංහිඳියාවෙත් සංකේතයක්

888

බෙන්තර වලල්ලාවිටි කෝරළයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මලේගොඩ නන්ද හිමි

සිංහල ජාතික ව්‍යාපාරිකයන් විසින් රුපියල් ලක්ෂ 150ක් වැය කොට පයාගල වතුයායේ ඉදි කළ මෙම කෝවිල ජාතික සමගියේත් සංහිඳියාවේත් සංකේතයක් යැයි බෙන්තර වලල්ලාවිටි කෝරළයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය මලේගොඩ නන්ද නාහිමියෝ ප්‍රකාශ කළහ.

උන්වහන්සේ එසේ ප්‍රකාශ කළේ දොඩංගොඩ විජය ප්‍රඩක්ට්ස් ආයතනයේ අධිපති අරුණ කොතලාවල සහ එහි කළමනාකාර අධ්‍යක්ෂ හිටපු ඇමති නිර්මල කොතලාවල යන මහත්වරුන්ගේ සහ දරු මුනුබුරු මිණිබිරියන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදි කළ මුතුකුමාරි අම්මාන් කෝවිල් මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

දොඩංගොඩ හිටපු විශ්‍රාමික විදුහල්පති වේලින් විජේරත්න කොතලාවල සහ පාඨශාලාචාරිණී ජයවතී එදිරිසිංහ මාපියන්ට පිං පිණිස මෙය ඉදි කර තිබුණි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය මලේගොඩ නන්ද නාහිමියෝ මෙසේද කීහ.

මීට වසර දහයකට පහළොවකට පෙර මම මෙම ස්ථානයට ආවේ අපේ විහාරස්ථානයේ ධර්ම ශාලාවට අවශ්‍යවූ දැව සඳහා කොස් ගස් කීපයක් ලබාගැනීම සඳහා යි. ඒ එද්දී මෙහි මා දුටුවේ ඉතා කුඩා ස්ථානයක්. අද එය මුළු ප්‍රදේශයට ම ආලෝකයක් එක් කරන ස්ථානයක් බවට මෙය පත්වී තිබෙනවා.

ඉතා ලස්සන දේව රූප මෙහි දකින්න පුළුවන්. ඉන්දියානු කලාකරුවන් පවා ඒවා නිර්මාණය කිරීමේ දී දායක කරගෙන තිබෙනවා. මෙය මුළු ප්‍රදේශයට ම ආලෝකයක් එක් කරන කලාගාරයක්.

පූජ්‍ය උණාවටුනේ වංශානන්ද සහ පූජ්‍ය නෙළුවේ ගුණසිරි යන හිමිවරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සටහන හා ඡායාරූප කළුතර විශේෂ එස්. ආරච්චිගේ

advertistmentadvertistment
advertistmentadvertistment