රසවත් සහ ත්‍රාසජනක කතන්දර

752

ගුටි කෙළි තුනක් සහ මිනී මැරුම් එකක් ගැන අපට දැනගන්නට ලැබී තිබේ. ලංකාව සහ ඉන්දියාව යන දෙරටෙ හි තත්ත්පරයට හැට බැගින් ගුටි ඇන ගැනීම්, මිනී මැරුම්, මං පැහැරීම්, ස්ත්‍රීන්ට බලහත්කාරකම් කිරීම් යනාදිය සිදුවෙයි. එසේ තිබිය දී මිනිසකු විසින් තව මිනිසකුට පහර දෙනු ලැබීම හෝ මිනිසකු විසින් තව මිනිසකු ඝාතනය කිරීම එතරම් ලොකු දෙයක් ලෙස ගණන් ගනු නොලැබේ. තිස් අවුරුදු යුද්ධය නිසා ලංකාව ප්‍රචණ්ඩත්වයට පුරුදු වී ඇත. මිනිසා යනු සාමාන්‍යයෙන් ප්‍රචණ්ඩ සත්වයෙකි. මේ ප්‍රචණ්ඩත්වය අඩු කිරීම සඳහා මානව පරිණාමය මගින් බොහෝදේ සිදුකරනු ලැබ ඇත. මෙයට අවුරුදු තිස් හතළිස් දහසකට පෙර ප්‍රාථමික මනුෂ්‍යයා සතුන්ගේ මස් හෝ සිය සතුරන්ගේ මස් දත්වලින් ඉරාගෙන අමුවෙන්ම අනුභව කළහ. මේ සඳහා අවශ්‍ය උල් දඩයම් දත් ද දිගු ශක්තිමත් නිය පඳුරු එකල මනුෂ්‍යයාට තිබිණ. එහෙත් හෙලුවෙන් සිටි මිනිහාට පරිණාමය විසින් ජංගි අන්දවා නියපොතු කපා දත් මද්දවා පිළිවෙළක් කරන ලදී. ඒ අනුව තවදුරටත් ශක්තිමත් සහ උල් නිය පඳුරු උවමනා නොවූ බැවින් වඩා තුනී නියපොතු අපට ලැබිණ. එමතු ද නොව, එවකට අපට තිබූ වලිගය ද පුරුකෙන් පුරුක කොටවී අතුරුදන් විය. උල් දඩයම් දත් වෙනුවට සාමාන්‍ය දත් අපට ලැබිණ. මේ නිසා මිනිසා තුළ සිටි තිරිසනා අතුරුදන් වෙයි. එහෙත් හිටි ගමන් මේ තිරිසනා එළියට පැන ගනී. දැන් අපි අපට වාර්තා වී තිබෙන ප්‍රමුඛ සිදුවීම් තුන ගැන සාකච්ඡා කරමු. ඉන් පළමුවැන්න කල්මුනේ ළමා නිවාසයේ රඳවා සිටි දාහත් හැවිරිදි දරුවකුට පොලුවලින් පහර දී මරා දැමීමය. හොරකමකට සැකපිට අත්අඩංගුවට ගෙන මඩකලපු උසාවියේ නියෝගයකට අනුව මෙම ළමයා කල්මුනේ ළමා නිවාසයේ රඳවා තබා තිබිණ. එහි දී ඔහු මට්ටු කිරීම සඳහා පොලුවලින් පහර දී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් එම ළමා නිවාසයේ 28 හැවිරිදි පාලිකාව අත්අඩංගුවට ගෙන ඇත. ඒ සිද්ධියේ දී අපේ මතකයට නැඟෙන්නේ පසුගියදා අංගොඩ මානසික රෝහලේ සිදුවූ මිනී මැරුමකි. මානසික රෝගයකින් පෙළුණු රැඳවියෙක් රෝහලේ සේවකයන් කිහිපදෙනකුට වතුර ගැසුවේය.

එම සේවකයෝ එකී මානසික රෝගියාට පොලුවලින් ගැසූහ. රෝගියා මියගිය අතර මිනී මරු සේවකයෝ කූඩුවට ගියහ. කිසිසේත් ම මැඬපැවැත්විය නොහැකි ප්‍රචණ්ඩ දරුවෝ නූතන සමාජයෙහි වෙසෙති.

ශාරීරික හිංසනය මගින් මේ දරුවන් මැඬපැවැත්විය යුතු ද සහ මැඬපැවැත්විය හැකි ද යන ප්‍රශ්නය මතභේදයට තුඩු දී තිබේ. ප්‍රශ්න ඇතිකරන මිනිසුන්ට පොලුවලින් පහර දී මැරීමෙන් ප්‍රශ්න විසඳිය හැකි නම් මේ රටේ ප්‍රශ්නවලින් භාගයක් මාසයක් තුළ විසඳීමට පුළුවන. කෙසේ වුව ද දරුවාගේ මිනී මරුවන්ටදැඩි දඬුවම් ලබා දියයුතු බව අපි යෝජනා කරමු. එළාර රජතුමාගේ පුත්‍රයා ධාවනය කළ අශ්ව කරත්තයකට යටවී වසු පැටවෙක් මළේය. එම පැටවාගේ මව වූ වැස්සිය මේ පිළිබඳ සංඛේතාත්මක පැමිණිල්ලක් රජතුමාට කළා ය. රජතුමා සිය පුත්‍රයා අත්අඩංගුවට ගෙන කරත්තයකට යටකොට මැරවීය. දැන් අපි ඉතිරි කතා දෙක කෙරෙහි අවධානය යොමු කරමු.

මිද්දෙණියේ පාසලක ඉගෙනුම ලබන දරුවකුට එම පාසලේ ම උගන්වන භික්ෂුවක විසින් දරුණු ලෙස පහර දී තිබේ. ගුටි කෑ කොලුවා දැනට රෝහල් ගතකර ඇත. අප භික්ෂුව මේ කොලුවාට මේ ආකාරයෙන්ම මීට පෙර ද තලන බව දරුවාගේ මව කියා තිබේ. භික්ෂුවක විසින් දරුවකුට පහර දීම සාමාන්‍යයෙන් අභව්‍ය ක්‍රියාවකි. එහෙත් දේවදත්ත විසින් බුදුන්ගේ සිරුරට ගල් පෙරළුෑ බවත් තල්දූවේ සෝමාරාම නමැති භික්ෂුව විසින් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක වෙඩි තබා මරණ ලද බවත් ඒ මිනී මැරුම වෙනත් භික්ෂුවක විසින් සංවිධානය කෙරුණු බවත් අප මතක තබාගත යුතුය. අප අද සාකච්ඡා කරන සිදුවීම් අතර වඩාත්ම hot සිද්ධිය මෙසේ ය. වැල්ලව නගරයේ දැනට තිබෙන තැබෑරුමට අමතරව තවත් තැබෑරුමක් දැමීම සඳහා පළාතේ පන්සලේ හාමුදුරුවන් විසින් මුදල් ගෙන අවසර දුන්නේ යැයි කෝපවූ දායක පිරිසක් හාමුදුරුවන්ටත් තවත් කිහිපදෙනකුටත් පහර දීම නිසා පස්දෙනකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.
මේ ගුටි කෙළිය ආරංචි වූ සැණින් පොලිසිය පැමිණ භික්ෂුව බේරා ගැනීමට මැදිහත් වුවද කෝපයට පත් දායක සභාව පොලිසියට ද පහර දෙන ලදී. භික්ෂුන් වහන්සේ බාර් ලයිසන් දෙන බවක් අපි නො දනිමු. උන්වහන්සේට එවැනි ලයිසන් දීමට බලයක් නැත. හැබැයි බාර් එකකට විරුද්ධ වීම සඳහා මතවාදී වශයෙන් සෑහෙන බලපෑමක් කිරීමට බෞද්ධ භික්ෂුන් වහන්සේට අදටත් පුළුවන. හාමුදුරුවන් බාර්කාරයාගෙන් සල්ලි ගත්තේ දැයි අපි නො දනිමු. එහෙත් උන් වහන්සේ බාර් එකට විරුද්ධවී නැති බව උන්වහන්සේට පූජා කරන ලද ප්‍රචණ්ඩ දානයෙන් පෙනී යයි. දායක සභාවක් අහේතුවක පන්සලකට පැමිණ බුද්ධ පුත්‍රයන්ට නෙලන්නේ නැත. එවැනි නෙලීමක් පිටුපස ලොකු කතන්දරයක් තිබීමට ඉඩ තිබේ.

කතන්දරය ඉතා රසවත්ය. එසේම ත්‍රාසජනකය.

advertistmentadvertistment
advertistmentadvertistment