ඊයේටත් වඩා අදට වටින ධර්මපාල චින්තනය

142

අනගාරික ධර්මපාලතුමාගේ 159 වැනි ජන්ම දිනය අදට (17දා) යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ලෝකයෙහි වීරයන් දුර්ලභය. අතිශය දුර්ලභය. එහෙයින් වීරයන්ගේ කතා අසන්නට මිනිසුන් තුළ මහත් රුචිකත්වයක් ඇත. වසර 2500 කට අධික ලංකා ඉතිහාසයෙහි වීරයන් බහුලව සිටි බැව් වංශකථාවන්ගෙන් ගම්‍ය වේ. එමෙන්ම වීරයන් පිළිබඳ අප රටෙහි ජනප්‍රවාදයන්ද බහුලය. විවිධ කාලයන්හි රට ජාතිය ආගම වෙනුවෙන් දිවි පරදුවට තබා අපමණ කැපවීම් කළ ඇත්තන් නිසා අදටත් අපහට සිංහල බෞද්ධ අනන්‍යතාවයෙන් යුත්තව වාසය කිරීමේ භාග්‍යය උදා වී ඇත. ලංකාව විදෙස් රාජ්‍යයකට යටත්ව පැවති සමයේ සිංහල බෞද්ධයා වෙනුවෙන් සිය ජීවිතයම කැප කළ අනගාරික ධර්මපාලතුමා ද ජාතික වීරයෙකි. එපමණක් නොව එතුමාගේ නාමය ලෝක බෞද්ධ ඉතිහාසය තුළ ද නොමැකෙන නාමයකි. ලංකා රාජ්‍යය විදේශීය ආධිපත්‍යයට නතුව පැවති සමයක, රට ජාතිය ආගම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන්, අභීතව පෙනී සිටි අනගාරික ධර්මපාලතුමන් පිළිබඳ ඉතා කෙටි සටහනක් මෙම ලිපියෙන් ඉදිරිපත් කිරීමට අපේක්ෂිතය.

ලංකාව වර්ෂ 1505 සිට විදේශීය ආක්‍රමණ තුනකට මුහුණ දෙමින් අවසාන වශයෙන් 1815 දී බි්‍රතාන්‍ය ජාතිකයන් යටතට පත් විය. එතැන් සිට යටත් මානසිකත්වය නිසාදෝ ලංකේය ජනතාව ප්‍රවේණියෙන් උරුම වූ ශිෂ්ඨසම්පන්න සිරිත් විරිත් හැර දමමින් අනේකාකාර, ජාතියට සම නොවන ක්‍රියාවන්ට අබ්බැහි වෙමින් අවිචාරවත්ව හැසිරෙන්නට විය. හෙළ නම් ගොත් හැර විදේශීය නාමයන් දරන්නට විය. ක්‍රමයෙන් හෙළ සංස්කෘතිකාංග කෙරෙහි හීනමානයක් ඇති කර ගනිමින් විදේශීය දෑ මහත් අභිමානයෙන් වැළඳ ගන්නට අභිරුචියක් දැක්වූහ. එවැනි සමාජ පසුබිමක් තුළ, දැනට අවුරුදු 159 කට පෙර, එනම් 1864 සැප්තැම්බර් 17 වැනි දින අනගාරික ධර්මපාලතුමා උපත ලබා ඇත. එතුමා සුප්‍රකට ව්‍යාපාරිකයෙක් වූ, මාතර හිත්තැටියේ සිට කොළඹට සංක්‍රමණය වූ දොන් කරෝලිස් හේවාවිතාරණ මහතාටත් සැදැහැවත් බෞද්ධ උපාසිකාවක වූ ශ්‍රීමති මල්ලිකා හේවාවිතාරණ ළමාතැනීටත් ලද කුළුඳුල් දරුවා විය. මෙම දරුවාට නම් තැබීම කරන ලද්දේ පල්ලියේ දේවගැතිවරයාගේ අභිමතය පරිදිය. ඒ අනුව දොන් ඩේවිඩ් හේවාවිතාරණ යන්න අනගාරික ධර්මපාලතුමාගේ මුල් නාමය විය.

ඩේවිඩ් හේවාවිතාරණ දරුවාට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම සඳහා දෙමව්පියන් විසින් බර්ගර් බාලිකාවන්ට වෙන් වූ කාන්තා පාසලකට ඇතුළත් කර ඇත. අනතුරුව සය හැවිරිදි වියේදී පිටකොටුවේ කතෝලික පාසලකට ඇතුළත් කර ඇත. පසුව ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයෙහි ද, කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයෙහි ද, දෙමටගොඩ බැප්ටිස්ට් විද්‍යාලයෙහි ද, කොළඹ රාජකීය විද්‍යාලයෙහි ද අධ්‍යාපනය ලබා ඇත. හේවාවිතාරණ ශිෂ්‍යයාගේ අධ්‍යාපනය ක්‍රිස්තියානි මිෂනාරි අධ්‍යාපනය විය. ඔහුට ඉහළ පංතිවලදී කන්‍යා මව්තුමියගේ ගුණ ගායනා කරන්නත් යාඥාා කරන්නත් සිදු විය. මිෂනාරී අධ්‍යාපනය ලද ඩේවිඩ් ශිෂ්‍යයා කෙතරම් කිතුනු දහමට ඇලුම් කළේ ද යත් තම ගෙවත්තේ පිපුණු මල් නෙළා ගොසින් අල්තාරය සැරසීම සෑම දිනකම ඔහුගේ අතින් සිදු විය. එමෙන්ම ඔහුට කුඩා කල සිටම කතෝලික ආචාර්යවරුන්ගේ නිබඳ ඇසුරත්, බයිබලය හැදෑරීමේ අවස්ථාවත් උදා විය.

කුඩා කල සිටම කතෝලික දහමට ඇලුම් කළ හේවාවිතාරණ ශිෂ්‍යයා බෞද්ධ වූයේ කෙසේද? යන්න කා තුළත් ඇති විය හැකි පැනයකි. ඊට ප්‍රධාන හේතුව වූයේ ඔහුගේ දෙමාපියන් අචල ශ්‍රද්ධාවන්ත බෞද්ධයන් වීමය. පවුල් පසුබිම හේතු කොට ඩේවිඩ් ශිෂ්‍යයා තුළ ඇඳී තිබූ බෞද්ධ චිත්‍රයේ ෂඩ්වර්ණ මකා දමන්නට පල්ලියේ ඉගැන්වීම ප්‍රමාණවත් වූයේ නැත. අනගාරික ධර්මපාලතුමා පසු කාලෙක ඒ පිළිබඳ සඳහන් කර ඇත්තේ, එතුමාට නව හැවිරිදි වියේදී, පියා විසින් එතුමාව සිල් සමාදන් වීම පිණිස පන්සලට යොමු කර වූ බවත්, පුරා දිනක් සිල් ගැනීම එතුමාගේ ජීවිතය වෙනස් කිරීමට හේතුවක් වූ බවත්ය.

13 වන ශතවර්ෂය තෙක් ලෝකවාසී බෞද්ධ ප්‍රජාවගේ පරම පූජණීය පුදබිම වූ බුද්ධගයාව මුස්ලිම් ආක්‍රමණ හමුවේ විනාශව ගොස් නටඹුන් බවට පත් වූ අතර ජනශූන්‍ය ප්‍රදේශයක් විය. පසුව තාපසයෙක් තාපසාරාමයක් ගොඩනඟා එහි ජීවත්ව ඇත. ධර්මපාලතුමා බුද්ධගයා භූමියට ළඟාවන විට ලෝක බෞද්ධයන් ප්‍රමාණය කෝටි 40ක් පමණ වී ඇත. ඒ පිරිසෙන්, කවර හෝ ප්‍රයන්තයකින් මෙම ශුද්ධ භූමිය මිථ්‍යාදෘෂ්ටිකයන්ගෙන් මුදාගනිමි යැයි ස්ථීරවම සපථ කර ඇත්තේ ධර්මපාලතුමා පමණක් වීම ලාංකේය ජනතාවටම මහත් අභිමානයකි. මේ වන විට බුද්ධගයා පුදබිම උරුම කරගෙන සිටියේ නාරායන ගිරි නම් ශිව භක්තික මහන්තාවරයාය. ඔහුගෙන් බුද්ධගයා පුදබිම මිලට ගැනීම සඳහා ධර්මපාලතුමා බුරුමයට ගොස් එහි බෞද්ධයන් දැනුවත් කර ලංකාවට පැමිණ ලංකාවේ බෞද්ධයන් ද දැනුවත් කරමින්, 1891 මැයි මස 31 වැනිදා මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙන් ශාලාවට රැස්ව හික්කඩුවේ සුමංගල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මහාබෝධි සමාගම පිහිටුවා ඇත.

මහාබෝධි සංගමයේ අභිනව සභාපති වශයෙන් හික්කඩුවේ සුමංගල හිමියන් ද අනුශාසක වශයෙන් සුප්‍රකට ලාමාවරයකු ද පත්කරගෙන ඇත. අධ්‍යක්ෂ හා ප්‍රධාන උපදේශක වශයෙන් ඕල්කට්තුමා ද, වස්කඩුවේ සුභූති හිමියන්, වැලිගම සුමංගල හිමියන් මෙන්ම බුරුමය ජපානය චීනය යන රටවලින් උපසභාපතිවරුන් ද පත් කරගෙන ඇත. එමෙන්ම සියලු බෞද්ධ රටවලින් පාහේ නියෝජිතයන් පත් කරගෙන බුද්ධගයා පුදබිම බේරා ගැනීම බෞද්ධ ප්‍රජාවගේ යුතුකමක් බැව් අවධාරණය කර ඇත. මහන්තාගෙන් පුදබිම මිලට ගැනීම සඳහා මුදල් සම්මාදන් කරන අතරතුර මහන්තා මියගොස් ඇත. ඔහුගේ අනුප්‍රාප්තිකයා දුෂ්ඨ දුර්ගුණයන්ගෙන් සමන්විත වූ අතර ඔහු විසින් බුද්ධගයා පුදබිමේ රැඳී සිටි භික්ෂූන් වහන්සේලාට හිරිහැර කරමින් බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියක් ආරම්භ කිරීම නිසා ධර්මපාලතුමා ඔහුට විරුද්ධ නඩු පැවරුවද පසුව එතුමා එම නඩුවෙන් පරාජයට පත් විය.

පරාජයෙන් පසු නොබැස්ස ධර්මපාලතුමා බුද්ධගයාව නිදහස් කර ගැනීමට විවිධ උපක්‍රම අනුගමනය කළ අතර එහි බෞද්ධ අයිතිය පිළිබඳ ලෝකයාට අවධාරණය කරන්නට විය. ඒ වෙනුවෙන් එතුමා ලෝක බෞද්ධ ප්‍රජාව ආමන්ත්‍රණය කළේය. බෞද්ධ ප්‍රජාවට අහිමි වෙන්නට ගිය බුද්ධගයා පුදබිම බේරාගැනීමේ පදනම සකස් කළ ධර්මපාලතුමා, ශතවර්ෂ ගණනාවකට පසු දඹදිව වන්දනා ගමන් නැවත ආරම්භ කරන ලදී. 1894 දී සියවස් ගණනාවකට පසු දඹදිව බලා යන ප්‍රථම වන්දනා නඩය ලංකාවෙන් පිටත්ව ඇත. ධර්මපාලතුමන්ගේ දයාබර මව්තුමිය වූ මල්ලිකා හේවාවිතාරණ ළමාතැනිය ද ඊට සහභාගි වූවන් අතර විය. වන්දනා ගමනට සහභාගි වූ මව ඇතුළු කාන්තාවන්ට ධර්මපාලතුමා ඔසරියෙන් සැරසී එන ලෙස නියෝග කර ඇත්තේ එදවස විදේශීය ඇඳුම් මෝස්තරයන්ට සිංහලයන් වැඩි නැඹුරුවක් දක්වන්නට වූ නිසාය.

අනගාරික ධර්මපාලතුමන් අවිචාරවත්ව දුරාචාරයන් වැළඳගෙන සිටි සිංහල මිනිසුන්ගේ ආකල්ප වෙනස් කිරීමට මහත් වෑයමක් ගත්තේය. එතුමා චතුර දේශකයෙක් විය. එතුමාගේ දැක්ම ඉතා පුළුල් විය. ඇමෙරිකාව, ජපානය, එංගලන්තය, චීනය ආදී බොහෝ රටවල සංචාරය කරමින් දේශන පවත්වමින් බුදුදහමේ ජාත්‍යන්තර ව්‍යාප්තිය උදෙසා ධර්මපාලතුමා ඉහමත් සේවයක් ඉටු කරන ලදී. වරක් එතුමා පැරිස් නගරයට සම්ප්‍රාප්ත වූ අතර එහිදී එරට ජාතික කෞතුකාගාරයේ ප්‍රධානීන්ගේ ආරාධනයෙන් දේශනයක් පවත්වන්නට විය. එහි විශේෂත්වය වන්නේ පූර්ව සූදානමකින් තොරව අශෝක ශිලාලේඛන පිළිබඳ විද්වතුන් මවිතයට පත් කරවමින් ඉතා හරවත් දේශනයක් කිරීමය. 1894 වර්ෂයේදී ලාංකේය භික්ෂූන් වහන්සේලා භාරතයට වැඩම කරවා හින්දි, බෙංගාල, වංගාදී භාෂාවන් පුරුදු පුහුණු කර කල්කටා ප්‍රදේශයේ ධර්ම ප්‍රචාරයේ යොදවා ඇත. ඒ අතර වූ සුවිශේෂ භික්ෂූන් වහන්සේ නමක් වන්නේ නැදිමාලේ සද්ධානන්ද හිමියන්ය. 1897 දී පමණ ඉන්දියාවේ ඇති වූ දුර්භික්ෂයක් හේතුවෙන් බොහෝ ජනතාව ආහාර හිඟයෙන් මියගොස් ඇත. මෙහිදී ධර්මපාලතුමන් විසින් බොහෝ මිනිසුන්ට සහන සලසා ජීවිත බේරා ගෙන ඇත.

පාලි භාෂාව භාරත දේශයේ ප්‍රභවය වූ භාෂාවක් වුවද, ඒ වන විට පාලි භාෂාව භාරතයේ අභාවිතව තිබූ අතර ධර්මපාලතුමන්ගේ මැදිහත් වීමෙන් පාලි භාෂාව කල්කටා සරසවියේ විෂයන් අතරට එක්විය. 1896 වර්ෂයේදී කල්කටා නගරය බෞද්ධ ධජපතාකවලින් අලංකාර වන්නේ ඉතා මනස්කාන්ත අන්දමින් වෙසක් පෝය සමරන්නට වූ නිසාය. කල්කටාවේ ධර්මරාජික මහා විහාරය එතුමාගේ මැදිහත්වීම මත ඉදිකළ අතිශයින්ම විස්මයජනක නිර්මාණයකි. එහි තවත් විශේෂත්වයක් වන්නේ මෙම විහාරය ඉදිකරන සමයේ සිංහල – මුස්ලීම් කෝලහාල හේතුවෙන් එතුමා නිවාස අඩස්සියේ පසුවීමය. මෙම විහාරය 1920 නොවැම්බර් මාසයේ බෙංගාලයේ ආණ්ඩුකාර රොනල්ඩ් සාමි මහතා අතින් විවෘත කර ඇත. ධර්මරාජික විහාරයේ තැන්පත් කිරීම සඳහා රජයෙන් ලබා දුන් ධාතූන් වහන්සේලා වඩම්මවා ඇත්තේ දර්ශනීය පෙරහැරකිනි.

සාරානාත් ප්‍රදේශයේ පුරාවිද්‍යා අංශය මගින් කළ කැණීම්වලින් තථාගතයන් වහන්සේ පස්වග මහණුන්ට ධර්මය දේශනා කළ ස්ථානය සොයාගෙන තිබේ. එය සනාථ වන්නේ අශෝක රජු විසින් එම ස්ථානයේ මූලගන්ධ කුටි විහාරය කර වූ බව දැක්වෙන තඹ පතක් සොයා ගැනීමෙනි. මෙම සිද්ධිය සැලවීමත් සමඟ එහි ගිය ධර්මපාලතුමන් එම ස්ථානය ආසන්නයෙන් අක්කර 14ක් මිලට ගෙන මූලගන්ධ කුටි විහාරය තැනීමට මුල්ගල තබන ලදී. නමුත් හින්දූන්ගේ විරෝධය හා ඔවුන් රජයට කරන ලද පැමිණිලි හේතුවෙන් විහාරය තැනීම තහනම් කරන ලදී. ධර්මපාලතුමන්ගේ නොසැලෙන ධෛර්යවන්තභාවය හේතුවෙන් නැවතත් තහනම ඉවත් කරවාගෙන මූලගන්ධ කුටි විහාරයේ වැඩ නිමවන ලදී. ධර්මපාලතුමා මදුරාසියේ වාසය කළ බෞද්ධ ජනතාව වෙනුවෙන් ද විහාරයක් ඉදි කර තිබේ.

ධර්මපාලතුමන් මේ සියලු කාර්යයන් කරන ලද්දේ විදේශිකයන්ට යටත් වූ රටක පුරවැසියකු ලෙසය. එතුමාට රාජ්‍ය බලයක් හෝ වෙනත් කිසියම් හෝ පිහිටක් නොවීය. නමුත් එතුමාගේ කැපවීම උනන්දුව හඳුනාගත් විදේශීය ධනවතුන් නොමසුරුව එතුමාගේ කාර්යයන්ට මහත් ශක්තියක් වූහ. එතුමාගේ සොහොයුරන් ද රට ජාතිය වෙනුවෙන් මහත් මෙහෙයක් කළ ඇත්තන්ය. ඉන් දොස්තර එඩ්මන් හේවාවිතාරණයන් අකාලයේ මියයන ලද්දේ බොරු පැමිණිලි මත දඬුවම් නියමව යාපනය හිරගෙදර සිටින අවදියේය. එතුමාගේ වියෝව ධර්මපාලතුමන්ට මහත් පාඩුවක් විය. ධර්මපාලතුමාගේ ජීවිතය සුව පහසු සැප දායක එකක් නොවීය. සිය අරමුණු සඵල වීමෙන් අනතුරුව ධර්මපාල නම් අභීත වීරයා සිරි දේවමිත්ත නමින් පැවිදි දිවියට ඇතුළත් විය. ධර්මපාලතුමන් ලෝක බෞද්ධ ප්‍රජාව වෙනුවෙන් කළ සේවය අතිමහත්ය. මෙහි කාරණා සඳහන් කරන ලද්දේ ඉතා අල්ප වශයෙනි. කෙසේ නමුත් ජාතියක් වශයෙන් මෙන්ම බෞද්ධයන් වශයෙන් ද අප එතුමාට සදා ණයගැතිය. ලෝක බෞද්ධ ප්‍රජාවම එතුමාට ණයගැතිය. එතුමාගේ ශ්‍රී නාමය බෞද්ධයන් ලොව වාසය කරන තාක් පවතිනවා ඇත.

සම්පත් සුරංග ජයසිංහ
(තාවකාලික) කථිකාචාර්ය
නාගානන්ද ජාත්‍යතන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය, මානෙල්වත්ත, කැලණිය.

advertistmentadvertistment
advertistmentadvertistment