අර බදු-මේ බදු-වැට් බදු-තිබුණත් ඇති අය හැකි අය කති බොති තරිකිට තෙයි!

237

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උතුරේ සංචාරය පිළිබඳව විවිධ දේශපාලන අර්ථකථන ලබාදිය හැකිය. උතුරේ දෙමළ ජනතාවට එමගින් ලැබෙන දේශපාලන පණිවිඩ ගණනාවක්ම තිබෙන බව ද නිසැකය. විශේෂයෙන් 2024 මැතිවරණ වසරක් ලෙස සැලකීමත්, ජනාධිපති රනිල් ද යළි ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි යැයි තිබෙන විශ්වාසයත් මත පදනම්ව ඒ උතුරේ සංචාරය අර්ථකථනය කරන අය සඳහන් කරන්නේම එය දේශපාලන බලය ලබාගැනීමේ ක්‍රියාදාමයක් බවය. කුමක් වුවත් උතුර අමතක කරන දකුණේ දේශපාලන නායකයන්ට වඩා ජනාධිපති රනිල්ගේ ආමන්ත්‍රණයේ ශක්තිමත් පණිවිඩ කීපයක් තිබෙන බව ද පැහැදිලිය. ජනාධිපතිවරයා අවධාරණය කළ පරිදි ම මෙරටේ ජාතිවාදී හෝ ආගම්වාදී ගැටුම් යළි ඇති වීම කිසිවෙක් අනුමත නොකරති. ඇත්තට ම උතුර දකුණ භේදයකින් තොරව පොදු ජනතාව ලෙස අප රටේ තිබෙන මූලික අර්බුදය ආර්ථික දුෂ්කරතාව බව නිසැකය. උතුරේ දේශපාලනය ද වරප්‍රසාද සහිත පිරිසක් අතේ රැඳී පවතී. ඒ සම්ප්‍රදාය දෙමළ දේශපාලන ආධිපත්‍යයට ඍජුවම අභියෝග කෙරෙන නව නායකත්වයක් උතුරේ තවමත් ඇති බවක් ද නොපෙනේ.

උතුරට ගිය ජනාධිපති රනිල්ට ඒ අධිපතිවාදී දේශපාලනය සිහිපත් කළේ අරුන් සිද්ධාර්ථන්ය. ජනාධිපති රනිල් හා සිද්ධාර්ථන් අතර සිදු වූ හමුවත් එහිදී ප්‍රකාශ වූ කරුණුත් උතුරේ අලුත් සමාජ දේශපාලන පිපාසය පිළිබඳව ද පැහැදිලි සංඥා නිකුත් කරන්නකි. උතුරේ කුල ප්‍රශ්නය විසින් ඇති කරන ලද පීඩනය සුලුපටු එකක් නොවේ. සිද්ධාර්ථන්ට අනුව උතුරේ කුල අනුව වෙන්වූ පාසල් ද ඇත. උතුරේ කෝවිල්වල ද මේ කුල භේදය දැකගත හැකිය. ඇත්ත වශයෙන්ම කොළඹ සිට දෙමළ නායකයන් විසින් කරනු ලබන රැවටිලිකාර දේශපාලනය ගැන අපට ද විවේචන තිබේ. එහෙත් අද උතුරට නායකත්වය දෙන ඒ කිසිවෙක් මේ කුල ප්‍රශ්නයට එරෙහිව “හ්ම්” හඬක් හෝ නොනඟති. කුල ප්‍රශ්නය කර තබා ගත් උතුරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධයෙන් ද පියවරක් ගන්නා බවට ජනාධිපතිවරයා සිද්ධාර්ථන්ට පවසා තිබිණි. එපමණක් නොව, උතුරේ බොහෝ දේශපාලනඥයන් අපේක්ෂා කරන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන බව ද එහිදී ජනාධිපතිවරයා විසින්ම කරන ලද අවධාරණයකි.

උතුරේ ප්‍රධාන දේශපාලන බලය හිමිව තිබෙන දෙමළ සන්ධානය වුව ද අද තිබෙන්නේ අර්බුදයකය. ආර්. සම්පන්ධන්ගේ නායකත්වය ගැන ද ප්‍රශ්න තිබේ. ඒ නායකත්වය උදෙසා ද සීතල යුද්ධයක් තිබෙන බව අපි දනිමු. දකුණේ වුව ද බලය අතහැරීම සම්බන්ධයෙන් ඇත්තේ ද උතුරට සමාන අර්බුදයකි. සම්පන්ධන් තරමට ම දුබල නොවුවත් එයට සමීප, ශාරීරික වශයෙන් දුර්වල දේශපාලන චරිත කීයක් තවමත් බලපොරයේ නිරතව සිටිත් ද? අද අප දකින දේශපාලනය ප්‍රබුද්ධ හෝ හරවත් එකක් නොව, විගඩමකි. බොහෝ දේශපාලන අනුගාමිකයෝ ද විහිළුකාරයන්ව සිටිති. මේ අනුගාමිකයන්ට අමතරව දේශපාලන වහල්ලු හා බැලයෝ ද සිටිති.

ඉහත සඳහන් කළ පරිදිම උතුරේ, දකුණේ මෙන්ම නැඟෙනහරත් මේ දේශපාලන බල අරගලවල විකට ස්වරූපය එක හා සමානය. මේ වනවිට ප්‍රධාන දේශපාලන පක්ෂවල තත්ත්වය කුමක් ද? එජාපය, ශ්‍රීලනිපය මෙන්ම පොහොට්ටුව හෙවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද අර්බුද මැදින් ගාටමින් සිටියි. පොහොට්ටුවේ තත්ත්වය කුමක් ද? මහින්ද බදා වැළඳගෙන සිටි විමල්, ඩලස්, වාසු, ගම්මන්පිල ඇතුළු බොහෝ දෙනෙක් අද සන්ධානගත වීමේ ප්‍රයත්නයක නිරතව සිටිති. පොහොට්ටුවේ ම සිටි ලංසා හා අනුර ප්‍රියදර්ශන රනිල්වාදීන් බවට පත්ව සිටිති. ඔවුහු මෙතෙක් ඔවුන් නියෝජනය කරන දේශපාලන බලවේගය හෝ පක්ෂය ගැන කිසිවක් නොකියති. එහෙත් ඔවුහු රාජපක්ෂ දේශපාලනය සමග නොවෙති. ජනාධිපති රනිල් එජාපයේ නායකයා ය. එහු සමග සිටින පොහොට්ටුවේ බහුතරය වුව ද දේශපාලනිකව කොහි සිටිත් දැයි දැන්ම කිව නොහැක.

පොහොට්ටුවේ ලේකම් සාගරට අනුව එම පක්ෂයෙන් වෙනම ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් වනු ඇත. ව්‍යාපාරික ධම්මික පෙරේරා පොහොට්ටුවේ අපේක්ෂකයා බව මෙතෙක් තහවුරු වී නැති වුවත් ඔහු සිය ජනාධිපතිවරණ මෙහෙයුම ආරම්භ කර ඇත. ජනාධිපති අපේක්ෂකයා කවරෙක් දැයි ප්‍රසිද්ධියේ කීමට පොහොට්ටුවේ නායකයෝ ද අසමත්ව සිටිති. මහින්ද මෙන්ම නාමල් ද විවිධ ප්‍රකාශ කරමින් ජනතාව නොමග යවමින් සිටිති. එහෙත් ඒ දේශපාලන මගඩිවලට ජනතාව හසු නොවෙති. ශ්‍රීලනිපය ද ඇත්තේ අර්බුදයකය. එහි කීපදෙනෙක් සජබයට එක්ව සිටිති. දයාසිරිට පක්ෂය තහනම්ය. ඔහු වෙනත් පක්ෂ එකතු කරමින් සිටියි. මේ දේශපාලන හෙයියම්මාරු මැද්දේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ආපසු ශ්‍රීලනිපයට එක්වන බවට පැතිර තිබුණු දේශපාලන ආරංචිය ද තහවුරු වී තිබිණි. ඒ ශ්‍රීලනිප නිර්මාතෘ බණ්ඩාරනායක පිළිරුව අබියස (ගාලු මුවදොර) පැවැති 125 වැනි ජන්ම දින උළෙලට ඇයත්, ඇගේ සොයුරිය වූ සුනේත්‍රාත් එක්ව සිටී ම නිසාය. කුමක් වුවත් චන්ද්‍රිකාගේ සම්ප්‍රාප්තිය ශ්‍රීලනිපයේ අනාගත ඉරණම සඳහා කෙබඳු බලපෑමක් කරනු ඇද්ද යන්න කාලයට භාර වූවකි. ශ්‍රීලනිපය හැර පක්ෂය කීපයක්ම ගොඩනැඟූ චන්ද්‍රිකාට වුව ද යළි දේශපාලනයට පිවිසීමට තිබෙන දොරටුව තම පවුලේ පක්ෂය බව ඇයට වැටහී තිබේද? කොහොමටත් ශ්‍රීලනිපයෙන් කැඩී ගිය මහින්දලා යළිත් එම පක්ෂයට එක්වනු ඇතැයි ද සිතිය නොහැක. ශ්‍රීලනිප සභාපති මෛත්‍රීගේ දේශපාලන විවේචනය අනුව මහින්දලාගේ පොහොට්ටුව සමග සන්ධානගත නොවන බව ද දැනට තිබෙන තත්ත්වයයි.

කෙසේ වුව ද එළැඹෙන කවර හෝ මැතිවරණයකට කලින් ලිහා ගතයුතු දේශපාලන අවුල් ජාලයක පක්ෂ සියල්ලක් ම පාහේ හිර වී සිටින බව ද පැහැදිලිය.

මේ වනවිට දේශපාලන පිටියේ ඉදිරියෙන්ම සිටින්නේ සජිත් නායකත්වය දෙන සජබයත් අනුර කුමාර විසින් මෙහෙවනු ලබන ජාජබයත් බව අමුතුවෙන් කිව යුතු නැත. මේ පක්ෂ දෙකෙන් සන්ධානයක් ලෙස ගොඩනැඟීමේ වැඩි ප්‍රවණතාවක් ඇත්තේ සජබටය. දැනටමත් පොහොට්ටුවෙන් ඉවත් වූ කණ්ඩායම්වල සමහරු සජබයට එක්ව සිටිති. එසේ එක්වූ අයට ආසන සංවිධායක ධුර පවා ලැබී ඇත. එහෙත් නිදහස් ජනතා සභාවේ පිරිසක් තවමත් සිටින්නේ දේශපාලන දෙගිඩියාවකය. එහි ප්‍රමුඛයකු වන ඩලස් පවසා ඇත්තේ ඡන්දයක් එන හැම අවස්ථාවකම විවිධ පැනීම්, කරණම් දැකගත හැකි බවය. සජබයට ළංවී සිටින අය අතර තමන් එක්ව සිටින්නේ සන්ධානයක් සඳහා යැයි කියන අය ද සිටිති. මේ දේශපාලන විහිළුවලට ජනතාව දැක්විය හැකි ප්‍රතිචාර කුමක්ද යන්නත් නුදුරු අනාගතයේ දීම දැකගත හැකි වේ. මෙය එක් අතකින් “අපි මස් නොකන්නෙමු. හොඳි පමණක් කන්නෙමු” යන ව්‍යාජ නිර්මාංශ ප්‍රතිපත්තියට නොදෙවෙනි කතාවක් ද විය හැකිය.

විමල්ලා නියෝජනය කරන උත්තර ලංකා සභාගය තවමත් සිටින්නේ පුළුල් සන්ධානයක් ගොඩනඟන බව කියමින්ය. ඔවුහු සජබයට එක්ව නොවෙතියි සිතිය හැක. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි අයගේ දේශපාලන අනාගතය කුමක් විය හැකිද? ඒ බොහෝ දෙනෙකුගේ මන්ත්‍රීකම් – ඇමැතිකම් අවිනිශ්චිත බව පමණක් දැනට කිව හැක. එපමණක් නොව, පෙහොට්ටුවේ සිටිමින් ජනාධිපති රනිල් වෙනුවෙන් පෙනී සිටින අයගේ තත්ත්වය කුමක් විය හැකි ද? එජාපයේ වුව ද අලුතින් රනිල් සමග සිටින අය සම්බන්ධයෙන් ගැටලු තිබිය හැකිය. එළැඹෙන මහ මැතිවරණයක දී යළිත් බලය සඳහා සටන් වදින එජාපයේ මුල් පෙළේ කිසිවෙක් පස්සට ගොස් අලුත් රනිල්වාදීන්ට අවස්ථාව දෙනු ඇතැයි සිතිය හැකි ද? දැනට ජනාධිපති රනිල් හැර රටට අන් සරණක් නැතැයි කියන එජාපයේ බොහෝ දෙනකුගේ සැබෑ මුහුණ දැක ගත හැක්කේ ද මහ මැතිවරණයක දී පමණි. කුමක් වුවත් දැනට මැති ඇමැතිවරුන් ලෙස සිටින වැඩි දෙනකු තුළ තිබිය හැක්කේ දේශපාලන තිගැස්සමක් බව අපගේ වැටහීමය. රනිල් හා රාජපක්ෂ සන්ධානයක් ගොඩනැඟුණත් දේශපාලන පසමිතුරෝ එයට ද එක් නොවෙති.

අර බදු-මේ බදු-වැට් බදු-තිබුණත් ඇති අය හැකි අය කති බොති තරිකිට තෙයි!

මේ දේශපාලන කැළැඹීම ජාජබ අනුර කුමාරලාට තිබිය නොහැක. ඔවුන් විසින් ජනතාව ඉදිරියට ගොස් කරනු ලබන දේශපාලන විවේචන සම්බන්ධයෙන් ද බොහෝ දෙනෙක් සාධනීය ලෙස කල්පනා කරති. ඇත්ත වශයෙන්ම මේ පවතින දේශපාලන වාතාවරණය අනුව යළිත් බලයට පත් විය හැකි පිරිසිදු කණ්ඩායම කුමක් ද? අපේ කණ්ඩායමේ දූෂණ චෝදනාවලට ලක්වූවෙක් නොවෙතියි කටහැර කිව හැකි නායකයෝ කී දෙනෙක් සිටිත් ද? ජනාධිපති රනිල්ගෙන් ඇමතිකම්, රාජ්‍ය ඇමතිකම් ලබාගෙන සිටින සමහරුන් සම්බන්ධයෙන් කිව හැක්කේ කුමක්ද? ‘අපි පක්ෂය හැර ගොස් නැත්තෙමු. මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමේ සටන සඳහා ජනාධිපති රනිල්ට සහාය දෙන්නෙමු.’ වර්ගයේ ප්‍රකාශ කොපමණ ඇසී තිබේ ද? එහෙත් ඒ බොහෝ දෙනෙක් විසින් රට වෙනුවෙන් කරන ලද මෙහෙවර කුමක් ද? මේ බොහෝ දෙනෙකුගේ දේශපාලන පරමාදර්ශය බවට පත් කර ගෙන ඇත්තේ “දේශපාලනයේ සදාකාලික සතුරෝ ද මිතුරෝ ද නොවෙති” යන වංක න්‍යායම නොවේ ද?

දේශපාලන සන්ධාන යනු බලය ලබාගැනීමට අටවා ගන්නා කෙමනක් විනා ප්‍රතිපත්තිතමය ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් නොවන බව බහුතර ජනතාව ද දනිති. මෙයට පෙර සඳහන් කළ පරිදි අද පක්ෂ හා සන්ධාන වශයෙන් සිටින්නෝ ද වරින්වර බලයට පත්වූ ආණ්ඩුවල සිටි අය වෙති. සජිත් මෙයට පෙර එජාප පාලනය සමග සිටි අයෙකි. තවත් කීපදෙනෙක් ද යහපාලනයට දායක වූවෝය. ජවිපෙ අනුර කුමාරගේ කණ්ඩායම ද චන්ද්‍රිකා හා මහින්ද පාලනයට සම්බන්ධ වී සිටියහ. සජිත්ගේ විවේචන මෙන්ම දූෂණ විරෝධය ගැන ජනතාව තුළ අවබෝධයක් ඇත. එසේම අනුර කුමාර නායකත්වය දෙන ජාජබයට තිබෙන විවේචන ද ප්‍රබල නැත. ඒ සඳහා විවේචනයන් දුවන්නේ 71 කැරැල්ල හා 88-89 භීෂණ යුගවලටය. එහෙත් ඒ කැරලි හා තරුණ නැඟිටීම් දේශපාලනිකව විශ්ලේෂණය කිරීමට සමත් අය ද ඉතා අඩු වෙති. ටිල්වින්ගේ හා අනුර කුමාරගේ ඇඳුම්, ඉනේ බඳිනපටි ආදිය ගැන ද මේ බොහෝ අය ප්‍රශ්න කරති. රට පාලනය සඳහා කළ පුරුද්ද වුවමනාය. දැනුම හා අවබෝධය අත්‍යවශ්‍යය. එහෙත් ඒ කියන ගුණ හෝ ලක්ෂණ අද දේශපාලනයේ සිටින කී දෙනකුට තිබේ ද? දේශපාලන පවුල්, පිය පුතු හෝ ස්වාමි භාර්යා සබඳතා ආදිය අපේ දේශපාලනයේ අටුවන් බැස තිබෙන ගතානුගතික සම්මතයන් නොවේ ද? සුනිල් හඳුන්නෙත්තිගේ ආර්ථික දැනුම ප්‍රශ්න කරන සමහරෙක් අඩු තරමින් විශ්වවිද්‍යාලයක පස් පාගාවත් තිබෙත් ද? න්‍යාය හොණ්ඩරයකට වඩා අත්දැකීම් අවුන්සය වටිනා බව කීවෙත් ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර ය. එහෙත් අද තිබෙන්නේ දේශපාලන සූදුවකි. ගෙඹි පැනීම්, රිළා නැටුම් ඒ දේශපාලනයේ සුලබ දේවල්ය. ජනාධිපති සිහින තරමට ම ඇමැති සිහින හා මන්ත්‍රී සිහින ද තිබේ. ඒ සිහින සැබෑ කර ගැනීමට ගොරකා දඩ මස් කරන දඩමස් ගොරකා කරන කා ගැනත් ජනතාව අවබෝධයකින් සිටිය යුතුය. අද රටට අවශ්‍ය සමාජ දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට සමත් පාලනයක් බිහි කර ගැනීමට ජනතාව කල්පනා කළ යුතු වෙති.

අපි දැන් මේ කවුරු කවුරුත් කතා කරන, අහෝ දුකකියි කියන වැට් බද්ද ගැන විමසා බලමු. මෙයට පෙර වැට් බද්ද සම්බන්ධයෙන් අප විසින් දක්වන ලද විග්‍රහ, විවේචන මේ ලිපි මාලාව කියවූ පාඨකයෝ දනිති. ඒවා පුනරුච්චාරණය කළ යුතු නැත. අපගේ විවේචනයෙහි හරය වූයේ ආණ්ඩුව නැති බැරි අය ගැන ජීවිත ගැටලුවක් වී තිබෙන ජනතාව පිළිබඳ ළතෙත් බවක් නැති බවය. මේ ජන දුකට අන්ධ, ගොළු, බිහිරි ආණ්ඩුවක් බවය. 2024 වැට් බද්ද හා ජීවත් වීමේ සටන උත්කර්ෂයට නැංවූ නරකම වසරක් බවය.

ආණ්ඩුව උපයනවිට බද්දෙන් බොහෝ වෘත්තිකයන් සරණාගතයන් බවට පත් කර, වැට් බද්දෙන් ඔවුන් හිඟමනට තල්ලු කරනු ලැබ අතැයි ප්‍රබල චෝදනාවක් ද ඇත. උපයනවිට බද්ද නිසා සමහරුන්ට පරිභෝජන වියදම දරා ගත නොහැක. නිවාස ණය, වාහන ණය, දරුවන්ගේ පාසල් ගාස්තු (පෞද්ගලික පාසල්වල), විදුලි බිල, ජල බිල ගෙවීමෙන් පසු තම අතේ ඉතිරි වන්නේ සොච්චමක් බව විශ්වවිද්‍යාල හා වෛද්‍ය ක්‍ෂේත්‍රයේ ඇතැම් අය මා සමග ද කීහ. මේ අය බදු ගෙවීමට ද සූදානම්ය. එහෙත් අපට දැනෙන පරිදි මේ වැට් බද්ද ඒ ජනතා හිස මතට කඩා වැටුණු මරාලයකි. වැට් බද්ද සමහර භාණ්ඩවලට 3% කින් ද තවත් භාණ්ඩවලට 18% කින් ද වැඩි වී තිබේ. අලුතින් වැටුණු වැට් බද්ද දරාගත නොහැකිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙන උපදෙස් මත ආණ්ඩුව ක්‍රියා කරයි. එහෙත් ඒ උපදෙස් නොතකා තම අභිමතය පරිදි බදු සහන ලබාදීමට ආණ්ඩුව නොපැකිලෙයි. චීනයට අයත් ආයතනයකට මූල්‍ය අරමුදලේ වාරණය ද නොතකා බදු සහන ලබාදුන් පුවතක් වාර්තා විය.

ගෝඨාභය පාලනයේ වැරදි බදු පිළිවෙත අනුමත නොකළ ජනාධිපති රනිල් අද ඒවාට එරෙහිව ගත් පියවරක් නැත. ඍජු බදු බලපාන ධනවතුන්ට හා ව්‍යාපාරිකයන්ට දක්වන බුරුල නැති බැරි ජනතාවට නොපෙන්වන ආණ්ඩුව අදටත් බිලියන ගණනක බදු මුදලක් එකතු කිරීම ගැන උදාසීනව සිටියි. රටේ ආර්ථිකය වැට්ටවූ රාජපක්ෂවරුන් ප්‍රමුඛ නිලධාරීන්ට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන ජනාධිපති රනිල් නිහඬය. ජවිපෙ මෙන්ම සජබ හා තවත් අය හිටපු ජනාධිපතිවරුන්ට දෙන වරප්‍රසාද ගැන ද ප්‍රශ්න කරති. රාජ්‍ය වියදම්, මූල්‍ය කළමනාකරණය ආදිය සම්බන්ධයෙන් ද දැඩි විවේචන හා චෝදනා ද තිබේ. අධි සුඛෝපභෝගී වාහනවලින් යන දේශපාලන චරිත ගැන මෙන්ම ජනතාවගේ මුදලින් කුමක් හෝ හේතුවක් ඉදිරියට දමා විදේශ සවාරි යෑම ගැන ද ප්‍රශ්න කෙරෙති. එහෙත් ඒවා සුළඟේ පාවෙන විවේචන පමණි. එහෙත් දුප්පත්කම පැතිරෙයි. ඇතැම් ගෙවල්වල බතක් නොඉදෙයි. මන්දපෝෂණය වැඩෙයි. රෝගවලට වුවමනා බෙහෙත් ගැනීම සමහරු නවත්වා සිටිති.

අද අධ්‍යාපනය කඩා වැටී තිබේ. සෞඛ්‍ය රෝගීව ඇත. විදුලි බිල කැපී ගොසින්ය. විදුලි බිල වැඩි කිරීම ගැන විපක්ෂ නායක සජිත් මූලික අයිතිවාසිකම් කඩවීමකැයි ශ්‍රේෂ්ඨාධිකරණයට ගොසින්ය. සාමාන්‍ය ජනතාවගේ ආහාර වේල් ගණන ද අඩු වී තිබේ. එක වේලක් කන අයටත් මස්, මාළු, බිත්තර පමණක් නොව එළවළු වර්ග දෙකක්වත් ඒ වේලට එක් කර ගත නොහැක. “අපේ ගෑනුන්ට රජ සැප – පිරිමින්ට දහ දුක – ඒ නැති වෙන්ඩ කමු බොමු තරිකෙට තෙයි” යනුවෙන් පැරණි බයිස්කෝප් එකක සින්දුවක් තිබේ. ආණ්ඩුව කියන්නේත් අර බදු – මේ බදු – වැට් බදු – තිබුණත් ඇති අපි කමු බොමු – තරිකිට තෙයි කියලා ඒ ගීතය වෙනස් කර ගයා නටා ඉඳිමු කියා ද?

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment