අර්ධ ශතක හතරකින් ශ්‍රී ලංකා ඉනිම හැඩවෙයි

209

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 308 ක් රැස්කර ගත්තේය.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක වාර්තා කිරීමට චරිත් අසලංක, ජනිත් ලියනගේ, කුසල් මෙන්ඩිස් සහ සදීර සමරවික්‍රම සමත් වූහ.

මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති එම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට හිමි වූ අතර නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

එහිදී ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ චරිත් අසලංක නොදැවී ලකුණු 97 ක් ලබාගත් අතර ඊට 4 පහර 9ක් සහ 6 පහර 2 ක් අන්තර්ගත විය.

පන්දු 74ක් තුළ එම ලකුණු සංඛ්‍යාව ලබාගත් චරිත් පස්වෙනි කඩුල්ල සඳහා ජනිත් ලියනගේ සමග ලකුණු 111 ක සම්බන්ධතාවයක් ගොඩනැගුවේය.

ජනිත් ලියනගේ ලකුණු 50 කට දැවී යෑමෙන් එම සබඳතාවය නිමා වීමෙන් පසුවද ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගීමේ හරඹයේ නිරතව සිටි අසලංක ඉන් පසුව ශ්‍රී ලංකා ඉනිමට එක් වූ ලකුණු 50 න් 32 කටම හිමිකම් කීවේය.

පෙර තරගයේදී අසාර්ථක වූ නායක කුසල් මෙන්ඩිස් ලකුණු 61 ක් ලබා ගැනීමට සමත් වූ අතර පන්දු 65 කදී වාර්තා වූ කුසල්ගේ ඉනිමට 4 පහර හයක් සහ එක් හයේ පහරක් අන්තර්ගත විය.

ශ්‍රී ලංකා ඉනිමේ අනෙක් අර්ධ ශතක ලාභියා වූ අංක 4 පිතිකරු සදීරගේ ඉනිම ලකුණු 52 කදී නිමා වූයේ 4 පහර 3 ක් පමණක් සටහන් වීමෙනි.

පෙර තරගයේ ද්විත්ව ශතකයක් ලැබූ පැතුම් නිශ්ශංකගේ ඉනිම ලකුණු 18කට සීමා වූ අතර අවිශ්ක ප්‍රනාන්දු රැස් කළේ ලකුණු 5 ක් පමණි.

පන්දු යැවීමේදී අශ්මටුල්ලා ඔමර්සායි ලකුණු 56 කට කඩුලු 3ක් සහ ෆසල්ලාහ් ෆරූකී, නූර් අහමඩ් සහ කයිස් අහමඩ් එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.

පළමු එක්දින තරගයේ දී ආබාධයකට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මෙම තරගය මෙන්ම තරගාවලියද අහිමිවී ගියේය. චමීර වෙනුවට අසිත ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා තිබූ අතර ඇෆ්ගනිස්තානය ෆරීඩ් අහ්මඩ් වෙනුවට කායිස් අහ්මඩ් කණ්ඩායමට කැඳවා තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment