තෙල් බවුසරය පැහැරගත් කප්පම් කල්ලිය පොලිසිය පැයෙන් අල්ලයි

361

හන්තාන දුරකථන සම්ප්‍රේක්ෂණ කුලුනේ විදුලි උත්පාදක යන්ත්‍රයට අවශ්‍ය ඩීසල් ලීටර් 6500 ක් රැගෙන පෙරේදා (24දා) අලුයම 2.00 ට පමණ යමින් තිබූ ඉන්ධන බවුසරයක් පැහැරගෙන ගොස් කප්පම් මුදලක් ලබා ගැනීමට උත්සාහ කළ සංවිධානාත්මක කණ්ඩායමක සාමාජිකයන් දෙදෙනකු පැයකට ආසන්න කාලයක් ඇතුළත අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලිසිය සමත් විය.

ත්‍රිරෝද රථ දෙකකින් පැමිණි මෙම කප්පම්කරුවන් පිරිස රියැදුරු සහ සහායකට පහරදී බවුසරය හන්තාන සුළං කපොල්ල ආසන්නයේ පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් ඇත. එම ඩීසල් බවුසරය සමග කැබ් රථයකින් පැමිණි අදාළ දුරකථන සමාගමේ නිලධාරීන් දෙදෙනකුට ද මෙම කණ්ඩායම පහරදී එම වාහනයද ඔවුන්ගේ භාරයට ගෙන තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ. කැබ් රථයේ පැමිණි අයකු සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දීමෙන් පසු පොලිසිය වහා ක්‍රියාත්මක වී සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කර ඇත.

හන්තාන ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව පැහැරගෙන ගිය ඩීසල් බවුසරය සමඟ සැකකරුවන් දෙදෙනකු සිද්ධියෙන් පැයක් තුළදී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී තිබේ. සැකකරුවන් සමඟ ත්‍රිරෝද රථ දෙකක්, කඩුවක් හා කිනිස්සක් ද පොලිසිය භාරයට ගෙන තිබේ.

සිද්ධියේ ප්‍රධාන සැකකරු පළාගොස් ඇති අතර ඔහු ඇතුළු තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මක වෙමින් තිබේ. පහර කෑමෙන් තුවාල ලැබූ ඉන්ධන බවුසරයේ රියැදුරු සහ සහායක ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

මහනුවර මූලස්ථාන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත හලංගොඩ මහතාගේ උපදෙස් මත දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක, අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්. ජී. එස් බණ්ඩාර, පොලිස් පරීක්ෂක වීරසේකර, උප පොලිස් පරීක්ෂක වීරසේන යන නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ. මහනුවර පොලිසියේ අපරාධ අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

සමන්ති වීරසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment