දෙමටගොඩ පාතාලයෙන් රෝහල් සුළු සේවකයන්ට තොග පිටින් අයිස්

334

කොළඹ ප්‍රධානම පෙළේ රෝහලක සුළු සේවකයන් වෙත අයිස් ඇතුළු අනෙකුත් මත්ද්‍රව්‍ය තොග පිටින් සපයන්නේ දෙමටගොඩ ප්‍රදේශය කේන්ද්‍ර කරගත් පාතාල කණ්ඩායමක් විසින් බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම සිය ප්‍රධාන ආදායම් මාර්ගය කරගෙන සිටින මෙම පාතාල කණ්ඩායම කොළඹ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානියා බව ද හෙළි වී තිබේ.

මෙම ප්‍රධානම රෝහලේ සුළු සේවකයන්ගෙන් බහුතරයක් මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වී සිටින අතර තවත් පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරමට එක්ව සිටින බව එම රෝහල පසුගියදා සිදුකළ සමීක්‍ෂණයකදී අනාවරණය විය.

මෙසේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින සුළු සේවකයන්ගෙන් බහුතරය සේවයට වාර්තා නොකරන අතර ඔවුන් අතිකාල දීමනා ද සහිතව මාසික වැටුප් ලබාගන්නා බව වාර්තා වෙයි.

මත්ද්‍රව්‍ය අලෙවියට සම්බන්ධ වී සිටින මෙම රෝහලේ සුළු සේවකයන් කීපදෙනෙකු දෙමටගොඩ පාතාල කල්ලියේ සමීප සාමාජිකයන් බව ද අනාවරණය වී ඇත. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් කරන සුළු සේවකයන්ට සුඛෝපභෝගී වාහන පවා තිබෙන බව හෙළිදරව් වී ඇත.

කෙසේ වෙතත් මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සුළු සේවකයන් පාතාලය සමඟ සෘජු සම්බන්ධතා පවත්වන නිසා ඔවුන්ට එරෙහිවීමට රෝහල් බලධාරීන් පවා කටයුතු නොකරන බව වාර්තා වෙයි.

මෙම රෝහලේ සුළු සේවකයන් පිරිසකගේ මෙම නොමනා ක්‍රියාකාරකම් නිසා අවංකව නීත්‍යනුකූලව රාජකාරි කරන සුළු සේවකයන්ට බලවත් අසාධාරණයක් සිදුවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment