රටට සුදුසු ජනපති මැතිවරණ ක්‍රමයක්….!

257

පසුගිය වසර 75 තුළ, ආර්ථික අපහසුතාවලින් පීඩිත වූ නිසා පහසුවෙන් රැවටිය හැකි බහුතර සරල ඡන්දදායකයන් රවටා ඔවුන්ගේ වටිනා ඡන්ද, බලලෝභී පක්ෂ නායකයන්ගේ බොරු පොරොන්දුවලින් පිරුණු ඊනියා ‘මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන’ තුළින් හා ඔවුන්ගේ හෙන්චයියන් වන, දූෂිත, කළු සල්ලි විසි කරන, නුසුදුසු මන්ත්‍රී අපේක්ෂකයන් විසින් ලබා දෙන ද්‍රව්‍යමය අල්ලස් තුළින් කොල්ලකා ඇති බව ඉතා පැහැදිලිය. ඒ අතරතුර, ඡන්ද දායක අරමුණු ඉටුනොවන මෙම අඩුපාඩු සහිත මැතිවරණ ක්‍රමයේ සංකීර්ණත්වය සහ ආවේණික දෝෂ නිසාවෙන්ද, දේශපාලනික වශයෙන් උදාසීන වූ ඡන්දදායකයන් පිරිසක්ද ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකෙන අතර, ඡන්ද ප්‍රතික්ෂේප වීම නිසාද, (2020 මැතිවරණයේදී පවා වලංගු ඡන්ද, % වූයේ 71.32% ක් පමණි.) මෙම විකෘති දේශපාලන සංස්කෘතිය හා මැතිවරණ ක්‍රමය තුළ, දූෂිත හා නුසුදුසු, කපටි දේශපාලනඥයන්ට වසර 75 තිස්සේ පාර්ලිමේන්තුවේ රජ කිරීමට ඉඩ ලැබී ඇත. එනිසාවෙන්, ‘රට- පළමු දේශපාලන වෘත්තිකයන්ට’ හා බිම් මට්ටමේ ඉහළ සුදුසුකම් ඇති කාන්තාවන්ට සහ තරුණ තරුණියන්ට අසාධාරණ ලෙස දොර වැසී ඇත.

තවද, ඇතැම් ඡන්දදායක පංගුකරුවන් විසින් අරමුණාත්මක යෝජනා/ක්‍රම වෙනස්කම් ඉදිරිපත්කර තිබියදීත්, විශේෂයෙන් ඉහත කී තරුණ සහ නව පරපුරේ ඡන්දදායකයින්ගේ අපේක්ෂාවන්ට නිසි කලට අවංකව ආමන්ත්‍රණය කිරීමට අප මැතිවරණ ක්‍රමය අසමත් වූ නිසා, අවසානයේ රට විශාල අගාධයකට වැටී, නිදහසින් වසර 74කට පසු ‘රට බංකොලොත්’ යන නාමයද ඊට උරුම විය. මෙම විනාශකාරී ආර්ථික සහ මූල්‍ය ‘කළු පැල්ලම’, 2022 දී, ගාලු මුවදොර ‘සාමකාමී තරුණ හා නව පරපුරේ අරගලය’ විසින් ‘ගෝටා ගෝ හෝම්’ (විධායක ජනාධිපති ධුරය අහෝසි කරනු) සහ ‘225 චුත කරනු’ (පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කරනු) යන සටන් පාඨ තුළින් තීව්‍ර ලෙස ජනගත කරන ලදී.

පවතින දේශපාලන පරිපාලන ව්‍යුහයේ ‘ක්‍රමවෙනස්කම්’ වලට සරිලනසේ ‘මැතිවරණ ක්‍රම වෙනස්කම්’ සිදුකළ යුතු බව සබුද්ධිමත් කාහටත් පැහැදිලිය. ළඟදීම ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත බැවින්, බංකොලොත් භාවය, ‘අරගලය’ හා බොහෝ කලක සිට සිවිල් සමාජය තුළින් පැන නගින්නා වූ ඉල්ලීම් පදනම්ව, දේශපාලන පරිපාලන ව්‍යුහයේ සහේතුක කරන ‘ක්‍රම වෙනස්කම්’ නීතිගත කිරීම කඩිනම් කළ යුතුව ඇත.

එවන් කූටප්‍රාප්තියක් උදෙසා, රචක විසින් ක්‍රමවේදයක් නිර්මාණය කර, අවශ්‍ය පරිදි යාවත්කාලීන කරමින් ඉන් ලැබෙන ප්‍රතිලාභද සමග, විටින් විට පුවත්පත් තුළින් පළ කර ඇත. එම යාවත්කාලීන කර ඇති අදාළ ‘ක්‍රම වෙනස්කම්’ හා ප්‍රතිලාභ කෙටියෙන් පහත සඳහන් කරමි.

1) විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම

විකල්පය -1 : ජනමත විචාරණයක් මගින් විධායක ජනාධිපති ක්‍රමය නිශ්චිත දිනයක සිට අහෝසි කිරීමට කටයුතු යොදමින්, ව්‍යවස්ථා සභාව විසින් යෝජනා කරනු ලබන 3 සිට 5 දක්වා අපේක්ෂකයන් අතරින්, පාර්ලිමේන්තු මන්ත්‍රීන් සහ පළාත් සභා මන්ත්‍රීන්ගේ ඡන්දයෙන් ‘දෙමුහුන් ආණ්ඩුකාර ජනරාල්’ වරයකු තෝරා පත් කර ගැනීම. රටේ සේනාධිනායකයා වීම හා චාරිත්‍රානුකූල බලතලවලට අමතරව, පළාත් ආණ්ඩුකාරවරුන් පත් කිරීමටත්, ඔවුන් හරහා පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද පනත්, නීති, අයවැය සහ රජයේ මැතිවරණ ප්‍රකාශනයේ අඩංගු සියලු වැඩසටහන් කාල රාමු අනුව ක්‍රියාත්මක කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත් ඔහුට/ඇයට අමතර බලතල/වගකීම් පැනවිය යුතුය.

මෙහිදී, දෙමුහුන් ආණ්ඩුකාර ජනරාල්’ වරයකු තෝරා පත්කර ගැනීම සඳහා පළාත් සභා සාමාජිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි, පාර්ලිමේන්තු හා පළාත් සභා මැතිවරණය පැවැත්වීම අවශ්‍ය වනු ඇත. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනමත විචාරණයේ නිශ්චිත දිනයක් සඳහන් කළ යුතු හෙයින්, එයද අනෙක් මැතිවරණ 2 සමග එක දිනක පැවැත්විය යුතුය.

ප්‍රතිලාභ: i. වසර 30 ක් තිස්සේ සියලුම දේශපාලන පක්ෂවල ප්‍රධාන පොරොන්දුව වූ විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම යථාර්ථයක් වේ.

ii. දෙමුහුන් ආණ්ඩුකාර ජනරාල්’ වරයකු මගින් පාර්ලිමේන්තුවේ අනුමත පනත්, නීති, අයවැය සහ පවතින රජයේ මැතිවරණ ප්‍රකාශනයේ කාලරාමු යටතේ පොරොන්දු වූ වැඩසටහන් පරිපාලන බාධක වලින් තොරව ඉටුකරවාගෙන පාර්ලිමේන්තුවට වාර්තා කිරීමේ භූමිකාව සමඟ පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය තහවුරු වේ.

iii. ජනපතිවරණයක අධික පිරිවැය දැරීමෙන් බදු වෙන්නන් නිදහස් වේ.

විකල්පය –2 : ‘විධායක ජනාධිපති‘ධුරය ඒකාධිපති බලතල නොමැතිව, අධිකරණ සමාලෝචනයට යටත් කර, ‘ස්වාධීන – රාජ්‍ය නායකයෙකු’ බවට පත් කිරීම සඳහා ‘ස්වාධීන‘ අපේක්ෂකයන්ගෙන් පමණක් අයැදුම්පත් කැඳවීම. එම ක්‍රියාවලිය සඳහා අදාළ පනත යටතේ ප්‍රශස්ත සුදුසුකම් නිර්ණායක මාලාවක් නියම කළ යුතුය.

ප්‍රතිලාභ: i. ‘ස්වාධීන’ විධායක ජනාධිපතිවරයකු පත්වීම් තුළ, ‘කුළුණු 3’ හි නිසි ක්‍රියාකාරීත්වය ශක්තිමත් කරනු ඇත.

ii. ව්‍යවස්ථාවේ අංක 94 වගන්තිය අනුව, වත්මන් ඡන්ද පත්‍රිකාවේ 2 වන හා 3 වන මනාපය වඩාත් අර්ථවත් වී, ‘ස්වාධීන’ තරගකරුවන් අතරින් දෙවැනි හා තුන් වැනි අපේක්ෂකයෙකුට ඡන්දය ලකුණු කිරීම වඩාත් පහසු වේ.

එක් අපේක්ෂකයකුට 50% ට වැඩි වලංගු සංඛ්‍යාවක් ලැබී නොමැති විට, වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් දෙදෙනාට අදාළ 2 වන හා 3 වන මනාප එකතුකර ජයග්‍රාහකයා තීරණය කරනු ඇත.

විකල්පය- 3 : විකල්පය 2 ක්‍රියාත්මක නොවන්නේ නම්, අත් නොහැරිය හැකි විකල්පය වන්නේ, පවතින ක්‍රමය යටතේ, ආත්මාර්ථකාමී, බලලෝභී, ගතානුගතික පක්ෂ දේශපාලනඥයන්ගේ පීඩන ජයගෙන, ස්වාධීනව පහත සඳහන් ‘නව පරපුරේ ක්‍රම වෙනස්කම්’, තමන් පත්වී 01 වසරක් ඇතුළත නීතිගත කර පූර්ණ වශයෙන් නිම කිරීමට නිර්ව්‍යාජ ප්‍රතිඥාවක්, තම මැතිවරණ ප්‍රකාශනය තුළින් ලබා දෙන සුදුසුම අපේක්ෂකයාට සහාය දැක්වීමයි. ඕනෑම නායකයෙකු අධික්‍රියාකාරීත්වයක් තුළින් තම සාර්ථකත්වය පෙන්වන්නේ 01 වසර තුළ බව ලෝක පිළිගැනීමකි.

i) මැතිවරණ ක්‍රමයට අදාළව පහත සඳහන් ක්‍රම වෙනස්කම් ඉටු කළ වහාම, මහා මැතිවරණය, පළාත් සභා මැතිවරණය හා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන ජනමත විචාරණය 01 දිනක පැවැත්වීම.

අ) ඡන්ද සමානාත්මතාව හා දිස්ත්‍රික් සහ ආසන කුසලතා පදනමක් මත ‘රට පළමු දේශපාලනික වෘත්තිකයින්’ ජනතා නියෝජිතයන් වශයෙන් තෝරා පත්වීම සහතික කිරීම. (අදාළ ක්‍රමවේදය සකස් කර ඇත.)

ආ) පාර්ලිමේන්තුවේ හා පළාත් සභාවල 20% බැගින් කාන්තා හා තරුණ නියෝජනය සහතික කිරීම (අදාළ ක්‍රම වේදය සකස් කර ඇත.)

ඇ) පස් අවුරුදු පක්ෂ මැතිවරණ ප්‍රකාශන නඩු පැවරිය හැකි හා මනා පසු විපරමකට යටත් කළ හැකි කාලවකවානු සහිත පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක්ද සමග ඉදිරිපත් කිරීමට සැලැස්වීම.

ඈ) ප්‍රශස්ත සුදුසුකම් සහ ඉහළ මුදල් තැන්පතු අවශ්‍යතා පනවා, ‘හතු පිපෙන්නාක් මෙන්’ මතුවන කූට දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම අධෛර්යමත් කිරීම හා

ඉ) බොහෝ සේ කල් පැන ඇති ‘පැති මාරු’ විගඩම අහෝසි කිරීම.

ii) වසර 02 ක් ඇතුළත ඉහත සඳහන් පරිදි විධායක ජනාධිපති ධුරය අහෝසි කර, පා. මන්ත්‍රීන් හා ප. සභා මන්ත්‍රීන්ගේ ඡන්දයෙන් දෙමුහුන් අග්‍රාණ්ඩුකාර ජනරාල් (HGG) වරයකු පත්කිරීම.

iii) දේශපාලන පරිපාලන ව්‍යුහයට අදාළව, පහත සඳහන් ‘නව පරම්පරාවේ අනෙකුත් ක්‍රම වෙනස්කම්’ නීතිගත කිරීම.

අ) පක්ෂ විසින් ලබාගත් ජාතික ඡන්ද % අනුව කුඩා පක්ෂවලටද කැබිනට් මණ්ඩලයේ නියෝජනයක් ලබා දී , ‘තිරසර ජාතික කැබිනට් මණ්ඩලයක්’ ස්ථාපනය කිරීම තුළ ‘ශ්‍රී ලාංකිකත්වය’ තහවුරු කිරීම.

ආ) අවශ්‍ය නම් අතිරේක බලතල සහිතව, පළාත් සභා ශක්තිමත් කර, පා. මන්ත්‍රී කාර්ය භාරය හා වරප්‍රසාද සහේතුක කිරීම තුළ පරිධියේ සිටින පළාත් සභා මන්ත්‍රීන්ට නිසි පිළිගැනීමක් සමග පා. මන්ත්‍රීවරුන් 225 දෙනාගේ ඵලදායිතාව වැඩිකිරීම.

ඇ) ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමේ යෝජිත, ස්වාධීන ‘ජන සභා’ පිහිටුවීම සමග, පළාත් පාලන මැතිවරණය නිර්දේශපාලනය කර ජනතාවට අර්ථවත් අපක්ෂපාතී, දූෂිත නොවන, හා කාර්යක්ෂම සේවාවක් ලබා දීම. (අදාළ ක්‍රමවේදය සකස් කර ඇත.)

නිගමනය – පූර්ණ බලතල ඇති විධායක ජනපතිවරයෙකුගේ සේවාව අවසන් වරට වසර 02 ක නිශ්චිත කෙටි කාල සීමාවක් තුළ ලබා ගෙන, ඉහත සඳහන් පරිදි නව පරපුර පතන ක්‍රම වෙනස්කම් හා මෙහෙයුම් පිළිවෙත් සිදු කළහොත්, අපගේ මුල් බැසගත් දේශපාලනික, ජනමාධ්‍ය හා ජනතා ආකල්ප වෙනස්වී, සීග්‍රයෙන් වෙනස්වන නවීන ලෝකයත් සමග ඉදිරියට යෑමට ශක්තිමත් අත්තිවාරමක් ගොඩ නැගෙනු ඇත.

එවැනි කූටප්‍රාප්තියක් උදෙසා, රටේ ප්‍රගමනය හා වෙනස්කම් සිදුකරන මූලික විපර්යකාරකයා වන ජනමාධ්‍ය විසින් තම ප්‍රධාන අවධානය ‘225’ න් බැහැර කර, පළාත් මූලික වැඩසටහන්, පුවත්, නවතම කාර්මික හා සමාජ ආර්ථික ව්‍යාපෘතිවලට වැඩි ප්‍රසිද්ධියක් ලබා දීමට කටයුතු කිරීම තීරණාත්මකය.

එමගින් ලැබෙන උත්ප්‍රේරණය තුළ, මහා ජනතාව විසින් රටේ ඵලදායීතාව නැංවීමට තම උපරිම දායකත්වය ලබා දීමට පෙළඹෙනු ඇත.

බර්නාර්ඩ් ප්‍රනාන්දු
හිටපු නියෝජ්‍ය මහා කළමනාකරු – ලංකා බැංකුව.
විද්‍යුත් ලිපිනය :
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment