මන්ත්‍රී අමරකීර්ති ඝාතනය: විත්තිකරුවන්ට ඇප දීමට එරෙහි නීතිපතිගේ පෙත්සම ජූලි 9දා විභාගයට

40

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා හා ඔහුගේ පෞද්ගලික ආරක්‍ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් සැරයන්වරයා ඝාතනය කිරීම ඇතුළු චෝදනා යටතේ පරවා තිබූ නඩුවේ විත්තිකරුවන් ඇපමත මුදාහැරීමට ගම්පහ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ලබාදුන් නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අභියාචනා පෙත්සම සම්බන්ධයෙන් විවාදය ලබන ජූලි 9 වැනිදා පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (12 දා) නියෝග කළේය.

එම අභියාචනා පෙත්සම ගාමිණී අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ හා ජනක් ද සිල්වා යන ත්‍රීපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශන උධෘත සලකා බැලූ නීතිපතිවරයා විසින් විත්තිකරුවන් 41 දෙනකුට එරෙහිව සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි හා රුවන් පතිරණ යන ත්‍රීපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී අධිචෝදනා ගොනුකොට නඩු පවරා තිබිණි.

එම නඩුව කැඳවූ අවස්ථාවකදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරු මඬුල්ල පසුගිය ඔක්තෝබර් මාසයේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා ඉදිරිපත් කළ මූලික විරෝධතා නොසලකා දැඩි ඇප කොන්දේසි පනවා විත්තිකරුවන් ඇපමත මුදාහැරීමට නියෝග කොට තිබිණි.

එම විත්තිකරුවන් මුදාහැරීම නිසා ඔවුන් අධිකරණය මගහැරීමේ තර්ජනය පවතින බවත් එමගින් ඉදිරි නඩු විභාගය අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අවිනිශ්චතතාව මතුවන බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා විනිසුරු මඬුල්ලට පැවසීය. විශේෂ ත්‍රීපුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කරනුයේ යම් නඩුවක් දිනපතා විභාග කොට කඩිනමින් අවසන් කිරීම සඳහා බවත් මෙම නඩුව එම මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ විභාගයට ගන්නේ දින දෙකක් හෙවත් සතියකට පැය 7 ක් පමණ බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පැවසීය.

පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂිකරුවන් 200 ක් පමණ හා ප්‍රදර්ශන භාණ්ඩ 350 ක් පමණ ඇති බැවින් නඩු විභාගය අවසන් වීමට සෑහෙන කාලයක් ගතවිය හැකි බැවින් දිනපතා නඩුව විභාගයට ගැනීම කෙරෙහි අවධානය යොමුකරන ලෙසටද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියේය.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ඔස්වල්ඩ් ලක්ෂ්මන් පෙරේරා මහතා සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment