බෙහෙත් හොරු අපායේ යා යුතුම ය

631

රුපියල් නොව ඩොලර් අති විශාල මුදලක් වැය කරමින් රටට ගෙන ආ බෙහෙත් තොගයක් කන්ටේනර්වල පුස්කමින්, වේලෙමින් තිබෙන බව මාධ්‍ය බොහෝමයක් වාර්තා කර තිබිණ. මෙලෙස තැන තැන දිරා යමින් පවතින්නේ අසරණ රෝගීන් සඳහා රජය විසින් ගෙන්වන ලද අත්‍යවශ්‍යම බෙහෙත්ය. රෝගීන් පමණක් නොව මුළු රටම ලෙඩ ඇඳක සිටියදී මේ ආකාරයෙන් බෙහෙත් වර්ග කොහේ හෝ අහු මුල්ලක වේලෙන්නට ඉඩ හැරීම හෙණ ගහන අපරාධයකි. ඒ අපරාධයට සම්බන්ධ වූවන් සියල්ලටම අපි අපගේ පිළිකුල දැඩි ලෙස ප්‍රථමයෙන්ම පළ කර සිටිමු.

රටට බෙහෙත් ගෙන්වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ සඳහා පත් කර ඇති නිසි බලධාරීන් විසිනි. ඔවුන් නිරන්තරයෙන් රෝහල්වලට සහ රෝගීන්ට අවශ්‍ය බෙහෙත් හිඟයකින් තොරව ලබා දීම කළ යුතුය. එහිදී එම බෙහෙත් ප්‍රමිතියෙන් යුතු ඒවා ද විය යුතුය. මෙහිදී විශේෂයෙන්ම නිසි ක්‍රමවේදයන්ට අනුගත වෙමින් රජයේ මුදල් වංචා නොකොට බෙහෙත් මිලදී ගැනීම බලධාරීන්ගේ පරම වගකීම විය යුතුය. එහෙත් බලධාරීන් කරන්නේම අප කියනා කාරණාවලට විරුද්ධ දේවල්ය. බෙහෙත්වල ප්‍රමිතිය කෙසේවෙතත් කොමිස් මුදල් කුට්ටිවලට ගිජු වී කොහෙන් හෝ බෙහෙත් ගෙන්වා ගැනීම ඔවුහු කාලයක සිට ජයටම කරනු ලබති.

කැලණිය, වත්තල සහ වැලිසර ප්‍රදේශවලින් පෙරේදා දින (11දා) ඩොලර් ලක්ෂ ගණනක් වැය කරමින් රටට ගෙන්වූ බෙහෙත් තොග කන්ටේනර්වල වේලෙමින් තිබෙන බව අනාවරණය වී තිබේ. එලෙස මාස තුන හතරක් වේලෙමින් පවතින්නේ මෙරොපෙනම් නමැති ප්‍රතිජීවක එන්නත් වර්ගයක් බව කියවිණි. එම කුප්පි හාරලක්ෂ පනස්දාහක්වත් එක් කන්ටේනරයක ඇති අතර ඒවා නියුමෝනියාව, මොළේ උණ, ස්වසනාබාධ රෝගීන්ට මෙන්ම දැඩි සත්කාර ඒකක වල සිටින පිළිකා සහ හෘද රෝගීන්ට අත්‍යවශ්‍ය බෙහෙත් එලෙස ගිනිගහන අව්වේ හෝ අඩු තරමේ කාමර උෂ්ණත්වයේවත් නොතැබිය යුතු ඒවා වන අතර පාලනය කරන ලද අඩු උෂ්ණත්වයක ගබඩා කළ යුතු වේ. මෙම එක් කන්ටේනරයක් ඩොලර් මිලියනයක පමණ වටිනා බෙහෙත් තිබෙන බවද අනාවරණය කර ගෙන ඇත.

ඇත්තටම මේ සා වටින බෙහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් ඒකකය විසින් භාර නොගෙනීම ජාතික ගැටලුවකි. අප දන්නා තරමට මේ අතහැර දමන ලද බෙහෙත් තොගයේ කතා වස්තුව මෙසේය. රජයේ රෝහල්වලට අත්‍යවශ්‍ය ඉහත ගෙන්වන ලද බෙහෙත් නිසි ක්‍රමවේදයන් අනුගමනය කරමින් ගෙන්වන ලද ඒවාය. හැබැයි ඒවා ගෙන්වීම ප්‍රමාද කළෝය. එසේ කොට එක්තරා සෞඛ්‍ය ඇමැතිවරයෙක් රට තුළ බෙහෙත් හිඟයක් ඇතැයි යන මතය ඉස්මතු වෙන්නට ඉඩ හැරියේය. එමපණක් නොව ආරංචියේ හැටියට ඔහු කැබිනට් මණ්ඩලයද නොමග යැව්වේය. එහි ප්‍රතිඵලය වූයේ මෙකී බෙහෙත් හදිසි මිලදීගැනීම් යටතේ රට තුළට ගෙන්වා ගැනීමය. එලෙස හදිස්සියෙන් බෙහෙත් ගෙන්නා ගෙන රෝහල්වලට යවා අදාළ ඇමැතිවරයා සහ ඔහුගේ නොමග ගිය බලධාරීන් සාක්කු පුරවා ගත්හ. එහෙත් සතිය දෙක ගතවෙද්දී අර කී බෙහෙත් ඇනවුම මෙරටට ළඟා විණි. එහෙත් ඒවායෙන් කිසිවෙකුට කොමිස් කුට්ටි නොලැබෙන්නට ඇති. එබැවින් ඩොලර් ලක්ෂ ගණනක් වටිනා එම බෙහෙත් තොගය කුඩම්මාගේ සැලකිලි ලබමින් තවමත් කන්ටේනර්වල ලගී. ඒ බෙහෙතක් මිලදී ගත්තේ එකක් රුපියල් පහක් යැයි සිතමු. එහෙත් අර හදිසි මිලදී ගැනීම් යටතේ ඒවා මිලදී ගන්නට ඇත්තේ එකක් රුපියල් පන්සීයකටවත් වීම ද හෙණ ගහන අපරාධයකි. මෙලෙස අපරාධ කළ ඇතැමෙක් මේ වන විට ඇත්තේ බන්ධනාගාරයේය. තවත් අයෙක් බන්ධනාගාර සැප වාට්ටුවකය. ඇත්තටම ඔවුන් ජාතී ද්‍රෝහීන්ය. ඔවුන් අපේ රටේ ආර්ථිකය ඝාතනය කළ සුදු කරපටිකාරයින්ය. එවැනි කොමිස් ද්‍රෝහීන් රැලක් නිසා අපේ රටේ ජනතාව අපා දුක් විඳිමින් සිටී. වේලක් කා අනෙක් වේල කන්නේ කොහොමදැයි කියා ළතවෙන ජනතාව රජයේ රෝහල්වල පෝලිම්වල ද ලගිති. එහෙත් ඒවා අපේ පාලකයන්ට දැනෙන්නේ නැත. මෙවැනි අපරාධවලට උඩ ගෙඩි දෙන නිලධාරී පැළැන්තියටද ඒ ගැන වගේ වගක් නැත. මන්ද උන්ගේ දරු පවුල් මෙරට සිටින්නේ උපරිම සැප සම්පත් විඳිමිනි. අවශ්‍ය ඕනෑම විටෙක උන්ට ගුවන් ටිකට් එකක් මිලදී ගෙන ඩුබායි හෝ සිංගප්පූරුවට පැන යා හැක. නමුත් අපේ රටේ ජනතාව අන්ත අසරණ ය. ලෙඩ දුක්වී රජයේ රෝහල්වලට යන ජනතාවට ලබා දෙන ඖෂධවලින් විවිධ හොර මගඩිවලින් සාක්කු පුරවාගන්නන් අපි නැවත නැවතත් හෙළා දකිමු. උන් ජාතී ද්‍රෝහීන්මය. මරණ මංචකයේදී ඒ පවු ගැන සිහිකර අපාගත වන බවට සැකයක් නැත.

ඒ අතරේ අලුතින් පත්වූ සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ ඔබ මේ සියල්ලක්ම මුල සිටම සුද්ධ කළ යුතුය. ඔබද ඔබ යටතේ සිටින වගකිවයුතු ප්‍රධාන පෙළේ නිලධාරීන් මේ වංචාවලින් ඈත් කළ යුතුය. එසේ ඈත් කරනවා පමණක් නොව අනාගතයේද ඔය පුටුවල වාඩිවන්නන් ද හොරු බවට පත් නොකරන ක්‍රමවේද සලසා තැබිය යුතුමය. එය ඔබට අයත් ජාතික කර්තව්‍යයකි.

advertistmentadvertistment
advertistmentadvertistment