විභාග දෙපාර්තමේන්තුව හැක්කරලා – රිසල්ට් හොයපු ස්කෝලේ කොල්ලෝ

639

යහපාලන ආණ්ඩුව සමයේ පාසල් ශිෂ්‍යයකු එක් රැයකින් ජනප්‍රිය චරිතයක් බවට පත් විය. ඒ එවකට ජනාධිපතිව සිටි මෛත්‍රීපාල සිරිසේනගේ නිල වෙබ් අඩවිය හැක් කිරීම නිසාය. එලෙස ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවිය හැක් කර එම පාසල් සිසුවාට දඬුවම් ලබාදීම වෙනුවට ඔහුගේ දක්ෂතාවය තේරුම් ගත් මෛත්‍රීපාල සිරිසේන එම සිසුවා ඇගයීමකටද ලක් කළේය. ඉන්පසු එම සිසුවා තමා කළ වරදේ බරපතළකම තේරුම් අරගෙන සමාජයට වැඩදායී පුද්ගලයෙකු ලෙස ජීවත් විය.

එම සිද්ධියෙන් වසර ගණනකට පසු තවත් හැක් කිරීමක් ගැන දකුණු පළාතෙන් අසන්නට ලැබිණි. මෙවර හැක් කර තිබුණේ ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවිය නොව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් 2021 වසරේ උසස් පෙළ විභාග අපේක්ෂකයන්ගේ ප්‍රතිඵල නිකුත් කරන ලද වෙබ් අඩවියයි. එයද හැක් කර තිබුණේ එම පළාතේම ජනප්‍රිය පාසලක උසස් පෙළ හැදෑරූ සිසුන් පිරිසකි. එම සිද්ධිය සැකවින් මෙසේය.

විභාග දෙපාර්තමේන්තුව හැක්කරලා - රිසල්ට් හොයපු ස්කෝලේ කොල්ලෝ

දකුණු පළාතේ ජනප්‍රිය පාසලක අධ්‍යාපනය හැදෑරූ එම සිසුන් ඉගෙනීමට ඉතා දක්ෂ අය විය. තොරතුරු තාක්ෂණය සහ පරිගණක ගැන ඔවුන්ට මනා දැනුමක් තිබුණි. එම නිසා පාසලේ ගුරුවරුන්ගේ ද හිත දිනා ගැනීමට ඔවුන්ට හැකි විය. එම පිරිස පසුගිය වසරේ උසස් පෙළ විභාගයට මුහුණ දුන්නේ දහසක් බලාපොරොත්තු සිත තුළ තබා ගනිමින්ය.

උසස් පෙළ විභාගයට මුහුණ දුන් පසු ඔවුන් තොරතුරු තාක්ෂණය පිළිබඳව වැඩිදුරටත් අධ්‍යයනය කළේය. ඒ වනවිටත් ඔවුන් එම ක්ෂේත්‍රයේ බොහෝ දෑ ඉගෙන ගෙන තිබුණි. ඒම කාලය අතරතුර උසස් පෙළ ප්‍රතිඵල ද නිකුත් විය. එලෙස ප්‍රතිඵල නිකුත් වූ පසු දිනක් ඔවුහු මෙලෙස කතාබස් කළහ.

 “මට පොඩි අයිඩියා එකක් ආවා.”

 “ඒ මොකද්ද?”

 “දැන් අපේ ප්‍රතිඵල ඇවිල්ලා තියෙන්නෙ.”

 “ඔව් ඉතින්.”

 “අපි පොඩි වැඩක් කරමු එකතු වෙලා.”

 “ඒ මොකක්ද?”

 “ප්‍රතිඵල නිකුත් කරපු වෙබ් එක හැක් කරමු.”

 “උඹ විහිළු කරනවා ද?”

 “මොන විහිළුද මම ඇත්තට කිව්වේ.”

“මොකටද අපිට එහෙම කරලා.”

 “කරන්න නම් වැඩ ගොඩක් තියෙනවා.”

 “ඕව කරලා නිකන් හිරේ විලංගුවේ වැටෙන්නේ නැතුව ඉන්න.”

 “අපි කරා කියලා කොහොමද දැනගන්නේ.”

 “ඔව් ඒක ඇත්ත. අපි හැක් කරා කියලා ඕකේ ඉන්න අයට හොයාගන්න බැහැ.”

 “මම නම් කියන්නේ ඕක තේරුමක් ඇති වැඩක් නොවෙයි.”

 “තේරුමක් තියෙනවා ඒකනෙ කියන්නෙ. මොකද කියන්නේ කට්ටිය.”

 “මම නම් ඔය වැඩේට කැමති නැහැ.”

 “එහෙනම් ඔයා අයින් වෙන්න. අනිත් අය මොකද කියන්නේ.”

 “නිකන් ඉන්න එකේ පොඩි උත්සාහයක් දීලා බලමු.”

 “මමත් කැමතියි. දන්නවානේ ඔය හැක් කරන වැඩවලට මමත් ගොඩක් ආසයි කියලා.”

 “හරි හරි මමත් එන්නම් එහෙනම්.”

 “මේ වැඩේ හරි ගියොත් අපිට හොඳ හැකර්ලා වෙන්න පුළුවන්.”

 “ඔව් එකට නම් මමත් ආසයි. බලපන් පිටරට ඉන්න හැකර්ල. කොච්චර වැඩ කරනවද?.”

 “අපිත් එහෙම වෙමු.”

 “එකපාරටම එහෙම වෙන්න බැහැ. ඒකට තව ගොඩක් දේවල් ගොඩාක් දේවල් ඉගෙන ගන්න වෙනවා.”

 “ඉතින් අපි ඉගෙන ගනිමු.”

 “ඒ ඉගෙන ගන්න ඉස්සෙල්ලා දැන් මේ දන්න ටිකෙන් මේ වැඩේ කරලා ඉමු.”

 “ඒක හොඳයි. වැඩි වැඩ කරන්න යන්න ඕනෙ නැහැ දැන්ම. මේක කරලා බලමු.”

 “එහෙනම් හරිනෙ වෙනස් වෙන්න බැහැ ආයි.”

 “හරි අපි කවුරුත් වෙනස් වෙන්නේ නැහැ. ඉක්මනින් වැඩේ පටන් ගමු.”

 “එහෙනම් අපි හෙටම වැඩේට බහිමු.”

 “කොහෙ ඉඳන්ද අපි වැඩේට සෙට් වෙන්නේ.”

 “කොහෙවත් යන්න ඕනෙ නැහැ අපේ ගෙදර ඉඳන් වැඩේ කරමු.”

 “හරි එහෙනම් හෙට අපි හම්බ වෙමු.”

පසු දින උදාවිය. එම සිසුන් පිරිස කතා කරගත් පරිදි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ 2021 වසරේ උසස් පෙළ සිසුන්ගේ ප්‍රතිඵල නිකුත් කළ වෙබ් අඩවියට අනවසරයෙන් ප්‍රවිෂ්ට වීම සඳහා සූදානම් විය. ඒ සඳහා අවශ්‍ය සියලුම දැනුම සහ උපකරණ ඔවුන් සතු විය. දින කිහිපයක උත්සාහයකින් පසු ඔවුන්ගේ අරමුණ සාර්ථක විය. කිසිදු බාධාවකින් තොරව එම වෙබ් අඩවියට ප්‍රවිෂ්ට වූ එම පිරිස එහි ඇති සියලු තොරතුරු වෙනත් වෙබ් අඩවියකට බාගත කර ගත්තේය. ඒ අනුව විභාග අපේක්ෂකයන් 360,000කගේ විභාග ප්‍රතිඵලවල සියලු තොරතුරු ඔවුන් සතු විය.

ඒ සමගම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට කිසියම් පිරිසක් අනවසරයෙන් ඇතුළු වී ඇති බව එම නිලධාරීන්ට සොයා ගැනීමට හැකි විය. ඒ අනුව නිලධාරීන්ට ඒ පිළිබඳව විභාග කොමසාරිස් ධර්මසේන මහතාව දැනුවත් කළේය. ඉන්පසු විභාග කොමසාරිස්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒ පිළිබඳව පැමිණිල්ලක් දැමුවේය.

පැමිණිල්ලට අනුව එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ උපදෙස්වලට අනුව පරිගණක අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණිය මහතාගේ අධීක්ෂණය යටතේ මේ පිළිබඳව විමර්ශන සිදු කළහ.

ඒ අනුව සිදු කළ මූලික විමර්ශනයේදී විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ප්‍රවිෂ්ට වී (හැක්කර) මෙසේ විභාග අපේක්ෂකයන්ගේ දත්ත අනවසරයෙන් බාගත කළ ගාල්ලේ ජනප්‍රිය පාසලක උසස් පෙළ සිසුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් පසුගිය 8 වැනි දා අත්අඩංගුවට ගත්තේය. ගාල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ දී එම නිලධාරීන්ට මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සොයා ගැනීමට හැකි විය. ඒ අනුව, ඉදිරි විමර්ශන කටයුතු සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය වෙත යොමු කළේය.

එලෙස යොමු කිරීමෙන් පසු එහි ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් කළ තාක්ෂණික විමර්ශනයකින් පසු විභාග දෙපාර්තමේන්තුවේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කළ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වූ (හැක් කිරීම) ටෙලිග්‍රෑම් සමූහය හඳුනා ගැනීමට හැකිවිය. එම වෙබ් අඩවිය (http(llrezoth.ml) බවට හඳුනා ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාර සිසුවා මෙම වෙබ් අඩවිය මගින් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ තොරතුරු ප්‍රචාරය කර තිබේ. මෙම සැකකරුවන් ටෙලිග්‍රෑම් හැකින් ගෲප් එකක් ලෙස හඳුනාගෙන ඇති අතර විභාග දෙපාර්තමේන්තු නිල විභාග ප්‍රතිඵල සහිත වෙබ් අඩවිය මොවුන් විසින් සකසන ලද ව්‍යාජ වෙබ් අඩවියට තාක්ෂණ ක්‍රමවේදයක් උපයෝගි කර ගනිමින් ඩවුන්ලෝඩ් කරගෙන ඇති බව ද අනාවරණය විය.

එලෙසම මෙම සිසුන් විසින් සම්පාදනය කර ඇති http(llrezoth.ml වෙබ් අඩවිය ක්ලික් කිරීමෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි සියලු ම අපේක්ෂකයන්ගේ ප්‍රතිඵල එම පරීක්ෂණ පැවැත්වූ නිලධාරීන්ට ද දැකබලා ගැනීමට පුළුවන්වී තිබුණි. තවද මෙම සැකකාර සිසුන් පිරිස විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට අයත් අපේක්ෂකයන්ගේ ප්‍රතිඵල පැය හතරක පමණ සුළු කාලයක් තුළදී බාගත කරගෙන තිබුණි. මෙලෙස වෙබ් අඩවියකට ඇතුළු වී එහි දත්ත සොරාගැනීම ඉතාම අසීරු කටයුත්තක් වුවත් එම සිසුන්ගේ දක්ෂකම නිසා ඔවුන් මෙසේ කටයුතු කර ඇති බව ද වාර්තා වේ.

ප්‍රධාන සැකකරු ලෙස අත්අඩංගුවට ගත් පාසල් සිසුවාගෙන් ලද තොරතුරු මත මෙම සිද්ධියට සම්බන්ධ ඉතිරි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් මෙම පිරිස ප්‍රතිඵල වෙනස් කිරීමක යෙදුණේදැයි සහ වෙනත් වෙබ් අඩවිවලට ද මෙලෙස අනවසරයෙන් ඇතුළුවී අදාළ මෘදුකාංග ලබා ගෙන ඇත්දැයි යන්න පිළිබඳවත් මෙම ලිපිය ලියන මොහොත වන විටත් පරීක්ෂණ සිදුකරගෙන යමින් පවතී. 2007 අංක 24 පරිගණක අපරාධ පනත යටතේ දත්ත සමග අනවසරයෙන් කටයුතු කිරීම බරපතළ වරදක් බව ද පරීක්ෂණ පැවැත්වූ එම නිලධාරීහු සඳහන් කළහ.

මෙවැනි අපරාධයක් සිදු කළ ද ඇත්තටම මෙම සිසුන් ඉතාමත් දක්ෂ පිරිසක් වේ. එමනිසා අපරාධකරුවන් ලෙස හංවඩු නොගසා පුනරුත්ථාපනය කර හෝ නිසි මාර්ගයකට යොමු කළහොත් අනාගතයේ දී ඔවුන්ගෙන් රටට අති විශිෂ්ට සේවයක් ලබා ගත හැකිය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ පරිගණක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණිය මහතාගේ මෙහෙයවීමෙන් සහකාර පොලිස් අධිකාරි ජයනෙත්ති සිරි මහතාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දයාශ්‍රී ඇතුළු උප පොලිස් පරීක්ෂක මහේෂ් කළුගල්ල, විමර්ශන නිලධාරී විරන්ද බණ්ඩාර, මහේෂ් චන්ද්‍රකුමාර, ජයවර්ධන ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.

● ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment