ගීතයේ නවමු රූපාන්තරණය සුනිල්

284
හැත්තෑවේ දශකය ඇරඹෙන්නේ සමාජ සචලතාවක් ඉල්ලා නැගුණු තරුණ කටහඬට සංවේදී වන ශ්‍රවනේන්ද්‍රියයන් ලබාදෙන්නැයි සමාජයට බලකරමිනි. කවිය, නවකතාව, කෙටිකතාව, නාට්‍යය සහ සිනමාව ආදී සියලු කලා ක්‍ෂේත්‍රයන්හි වඩදිය රැල්ලක් සේ නැඟ ආ තාරුණ්‍යය ඔවුන්ගේ හඬින් කතා කරමින් සිටියේය. ඒ වන විට කලාත්මක නිමාව පිළිබඳ සිය රූපාන්තරණය සම්පූර්ණ කරගනිමින් සිටි සිංහල ගීතය ද නිර්මාණාත්මක තරුණ ශ්‍රමයෙහි ඇසුර පතමින්, වඩාත් ජනප්‍රිය කලාංගයක් ලෙස අර්ථවත්ව වර්ධනය වීමට සැරසී සිටි බැව් පෙනිණි.

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මඩවල රත්නායක, මහගමසේකර, අරීසෙන් අහුබුදු සහ ඩෝල්ටන් අල්විස් ආදී පුරෝගාමී ගීත රචකයන් සිය මෙහෙවර ප්‍රශස්ත ලෙස ඉටුකැර තිබුණද, කොළඹ යුගයේ ජනප්‍රිය කවියෙහි මෙහෙවර හා සසඳන කල ප්‍රමාණාත්මකව ගීතයේ වර්ධනයෙහි ඌනතාවන් පෙනෙන්නට තිබිණ. කවියේ වෘත්ත හා ඡන්දස් ලක්ෂණ ගීතය විසින් උදුරාගෙන, කවිය නිහඬව රස විඳින සූක්ෂම කලාංගයක් බවට පත්කිරීම සම්පූර්ණ වූ සෙයක් පෙනිණි. එහෙයින්ම ගීතය, අසා රසවිඳින කලා කෘතියක් පමණක් නොව ගයා රස විඳින කලාංගයක් ලෙස ද වැදගත් විය. ඒ සියලු වගකීම් ගීතය විසින් පවරාගන්නා විට, එහි වැදගත් ම අවශ්‍යතාවක් වූයේ එබඳු පාරිභාරික කලාංගයක් සතුවිය යුතු අර්ථපූර්ණ භාවයයි, එහි අන්තර්ගතයේ පුළුල් – පැතිරුණු ස්වභාවයයි; නිරවද්‍ය යථාර්ථවත් ගුණයයි.

නිර්මාණාත්මක තරුණ ශ්‍රමය සහ ගීතය අතර පැවතිය යුතු කල්‍යාණ මිත්‍රත්වය ගැන දැන සිටි, ඒ මිතුරු ඇසුර ශක්තිමත් කළ එක් තරුණ රචකයෙක් පා තබා එන අඩි හඬ, හැත්තෑව දශකය මුලදී ඇසෙන්නට විය. “ජීවිතය ගීතයක් වේවා” නම් ගද්‍ය ආඛ්‍යානයෙන් අසම්මත රචනා රීතීන් සහ පරිකල්පනයන් සිය උරගල කොටගත් හේ සුනිල් ආරියරත්න නම් විය. බුද්ධදාස ගලප්පත්ති සහ ජයලත් මනෝරත්න සමග එක්ව ඔහු 1971 දී පළ කළ දොළොස්මහේ පහන නම් කවි සරණියේ දී පවා, ඔහුගේ කවි, ගීතයට වඩාත් හිතවත් බවක් පළ කළේය. කවියේ වෘත්ත – රිද්ම ලක්ෂණ සමග ගීතවත් ගුණයන්හි ඇසුරක් ද ඒ කවිවල විය. මේ එහි එක් කාව්‍ය ඛණ්ඩයකි.

‘දෙගුරුන්ට කීකරුව
විවා වී දුරු රටක
ළමා හුරතල් බලන
හිතවතිය අසනු මැන”

කවියෙහි අපූර්වතාවන් ද රැගෙන වඩාත් ගීතවත් මංපෙතකට පිවිසි හේ පුරා දශක පහකටත් වැඩි කාලයක් තිස්සේ අඛණ්ඩව ගීත රචනා කරමින්, මඟ දෙපස වූ පුළුල් වපසරියක් අස්වද්දමින් වැඩි ම අස්වැන්නක් රසික ජනයාට පිරිනැමූ ගීත රචක – කවියෙක් වූයේය. සුනිල් ආරියරත්නයෝ මේ වන විට සිය මාධ්‍යය ගැඹුරින් හදාරමින් – ගවේෂණය කරමින් ඒ පිළිබඳ පර්යේෂණ කරමින් ම මහාචාර්ය සුනිල් ආරියරත්නයන් බවට පත්වී සිටිත්. සුනිල් ආරියරත්න නම් තරුණ නිර්මාතෘහු අභ්‍යාසවෘද්ධ පරිණත වාග්ගේය කරුවකු (ගීත හා සංගීත නිර්මාණයෙහි යෙදෙන තැනැත්තකු) වී බසෙහි වෙසරද ව තියුණු පරිකල්පනයෙන් වෘද්ධව සිටිත්. ඔහුගේ නිර්මාණකායෙහි දිගු – පුළුල හා ගැඹුර විමසා බලන්නට මෙතෙක් දැරූ ප්‍රමාණවත් ව්‍යායාමයක් නොවීම අඩුවක්මය. එවැන්නක් කළ යුත්තේ විද්වත් ප්‍රාමාණිකයකු විසිනි. මෙහිදී එබන්දක් පිළිබඳ විද්‍යාර්ථින් උත්තේජනය කැරවීමටත් රසික ජනයා මෙහෙයවීමටත් පමණක් උත්සාහ දරමින් ඔහුගේ ගීත රචනාවන් පිළිබඳ මූලික – සරල හඳුන්වාදීමක් කිරීමට අපේක්‍ෂා කෙරේ.

ආරම්භයේදී සඳහන් කළ පරිදි ම හැත්තෑවේ දශකය හමුවේ දී ගීතයට පැවරුණු මෙහෙවර පිළිබඳව සුනිල් ආරියරත්න සිය ප්‍රථම ගීත සරණියේ ප්‍රස්තාවනාවෙහි මෙසේ සඳහන් කරයි.

“පැරැන්නන් විසින් ගර්භාවෙන් කොන්කර දමා සිටි, නාඩගංකාරයන්, කෝලංකාරයන්, බයිස්කෝප්කාරයින්, ටීටර්කාරයින් අද සමාජයට සංස්කෘතියට යටත් පිරිසෙයින් ආර්ථිකයට හෝ අර්ථවත් මෙහෙයක් ඉටුකරමින් සිටිය දී මඟුල් ගෙදර බජව්වටත්, වෙසක් පොසොන් උත්සව වල පකිස් පෙට්ටි වේදිකාවලටත් සීමාකර තිබුණු ගීතය, නවකතාව, කෙටිකතාව, කවිය, නාටකය, සිනමාව මෙන්ම ප්‍රබලවූත් අර්ථදායිවූත් කලා මාධ්‍යයක් බවට පෙන්වීමට සුදුසු ම කාලය මෙය බව මගේ පෞද්ගලික කල්පනාවයි.”

(අරුන්දතී පෙරවදන – 1975 නොවැ.)

සැබැවින් ම මේ පෞද්ගලික කල්පනාව, ඕපපාතිකව පහළවූවක් නොව, සමාජ – දේශපාලන හේතූන් වෙතින් ම උපන්නක් බවත්, එය විෂය ලෝකයට සංවේදී වන සාහිත්‍ය කරුවන්ගේ නියෝජනාත්මක සිතිවිල්ලක් බවත් කිව යුතුය. සුනිල් ආරියරත්නගේ ගීත ප්‍රබන්ධ කලාවේ යෞවන අවධියේ දී ඔහුගේ ඇතැම් ගීත, හැත්තෑ එකේ තරුණ අරගලයට දායක විණැයි යන කතාවක් අසන්නට ලැබුණු වග අපට මතකය. එය සුනිලුන්ගේ ගීතත් තරුණ කැරැල්ලත් අතිශයින් ලඝු කොට සලකා පැතුරුණු කටකතාවක් වුවද එහි සැඟවුණු එක් සත්‍යයක් ද විය. එනම් ඔහුගේ ගීත ඒ වන විටත්, සිය ප්‍රශ්න කිරීම අරඹා තිබුණු බවයි.

සකුරා මල් පිපිලා හරි පුදුමයි
ගේ දොර කඩ නිල් වන පියසේ
නිදිමත නැති වී හිරු පායා ඇත
උමතු වෙසින් මහ රෑ යාමේ

“උමතු තරුණියක දුටු විකාර සිහිනය” යනුවෙන් නම් කළ නන්දා මාලිනිය ගයන මේ ගීය විකාරරූපී රචනා සම්ප්‍රදායන් ගීයට පිවිසවන්නට දැරූ තැතත් පමණක් නොවේ.

පසුගාමී පැරණි සමාජය පිටුදැකීමේ අරගලයක් ද, නව පැතුමක් ද එහි විය. ඒ ගීය නිමවූයේ මෙලෙසිනි.

සුදම් සබාවේ අරගලයක් වී
අහසින් කොටසක් කඩාවැටී
වියපත් හදවත ගේ දොර නැතිවී
හැරමිටි සරණින් බලා සිටී

“හීනෙන් මම දුටිමි පිරිමින් කිළි වෙනවා” යි කියූ අපේ ජනකවියාට මේ විකාරරූපය අමුත්තක් නොවුව ද, නව විෂය ලෝකය හමුවේ දී එහි දැඩි ප්‍රශ්න කිරීම අමුත්තක් විය. එහෙයිනි, මේ ගීය ගුවන් විදුලියෙන් තහනමට ලක්වූයේ තරුණ කැරැල්ලට උත්තේජනයක් වූයේ යයි චෝදනා ලැබූයේ.

සුනිලුන් රචනා කළ බොහෝ ගී අතරේ ඔහුගේ විශේෂතාව සොයාගත හැක්කේ මෙබඳු අපූර්ව ලක්ෂණ පළමුව හඳුනා ගැනීමෙනි. පැරණි ආකෘතීන් සහ චින්තාවන් ග්‍රහණය කරගනිමින් ඒවා, නව රූපාන්තරණයකට ලක්කොට අපූර්ව කලාකෘති බවට පත්කිරීම සැබෑ නිර්මාපකයාගේ මෙහෙවර යයි කියනු ලැබේ. ප්‍රකට ජපන් ප්‍රස්තාව පිරුළක් ඇසුරින් රචිත මේ ගීතය මගින්, පංති සමාජය වඩාත් සංක්ෂිප්ත කොට අප හමුවට පමුණුවන්නට දරනා උත්සාහය ද එබඳු නිර්මාණාත්මක කටයුත්තකි.

මිරිවැඩි සඟළක් ඉල්ලා ඇඬුවෙමි
පායුග නැති ඔබ දකින තුරා.
කුංකුම අංජන ඉල්ලා ඇඬුවෙමි
නෙත් යුග නැති ඔබ දකින තුරා…

සූක්‍ෂ්මාත්ම ඇති කවියකු ලෙස වැඩෙමින් ඔහු පැමිණි දිගු ගමනේ මැද භාගය වන විට, සුනිල් ආරියරත්න මේ අපූර්වතාව වඩාත් අර්ථව්‍යක්තියෙන් සරසාලන්නට සමත් වෙයි. මෙලෙසිනි:

සඳ එළිය ගඟක් වී
මා නුවන් ඉවුරේ
හැපී පෙණ පිඬු නගයි
අනේ අපි කවදාක පීනමු ද ඒ ගඟේ.

ජනතාව වෙනුවෙන් ආත්මහරණය කොට බෝසත් ගුණෙන් මිනිසා සරසාලන්නට දරන මේ පරමාදර්ශී උත්සාහය, හුදු පරිකල්පනයක් ම නොවේ. වඩා යහපත් ලෝකයක් වෙනුවෙන් යහපත් මිනිසකු තනාදීමේ හුදෙකලා ව්‍යායාමයක් ද නොවේ. සුන්දර වූ භාවික ලෝකයක දී විවිධ තල ඔස්සේ ප්‍රායෝගිකව අත්විඳගත හැකි සැබෑ දාර්ශනික චින්තාවකි.

සුනිලුන් සිය කලාත්මක භාවිතයේ උත්කර්ෂය පළ කරන්නට පෙර පසුකැර ආ ගමන් මගෙහි මුණගැසෙන බොහෝ සන්ධිස්ථානවල ද ඔහු සිය අනන්‍යතාව තබා ආයේය.

“මට මව් පදවිය ලැබුණු දිනේ දී නුඹේ අගේ මට දැනුණේ”, “බිරිඳ මගේ ඔබ – නෑ මා ඔබගේ බිරිඳ නොවේ” ආදී ගීතෝත්ති විමසා බැලුව මැනවි. කවියට වඩා ගීය සරලවන්නේත් සූක්ෂම වන්නේත් කෙසේදැයි මේ ගී මගින් පැහැදිලි කරනු පමණක් නොවේ. ගීයෙහි යම් පමණකට වියයුතු නාටකීය ප්‍රසාංගික ගුණ ද මේ රචනාවන්හි අඩංගුය.

සුනිල් ආරියරත්න ගේ ගීත ප්‍රබන්ධ කලාවෙහි තරුණ සමයේදී ම ගුවන් විදුලියේ ප්‍රබුද්ධ ගී සමය ද ඇරඹුණ හෙයින් එහිලා ඔහුගේ දායකත්වය කෙබඳු වී දැයි විමසීම සුදුසු වේ. දෘෂ්ටිවාදාත්මක ප්‍රචාරකවාදී ඕලාරික ගීත පද මාලා සමූහයක් ප්‍රබුද්ධ ගී ලෙස එළි දුටු එසමයෙහි, ව්‍යාජෝක්තිය සහ ව්‍යාජ ස්තූතිය ප්‍රධාන අලංකාරයක් වූයේය.

සාගතයට මුලයි දහඩිය නොසැලීම
පැරකුම්බා දවස සිහලුන් නැතිවීම

සුනිලුන් ද එපරිද්දෙන් සිය ගීතයෙහි අයථාර්ථයට ඉඩකඩ සපයද්දී වුව ද සිය නිර්මාණ කාර්යයෙහි කලාත්මක රුව ගුණ ඔහු අතින් ගිලිහී ගියේ නැත. එහෙයිනි. ගීතය යනු “අර්ථවත් වාගුක්තීන්ගේ සුපසන් මිත්‍ර සමාගමය” ය යන්න නැවත නැවතත් සිහිපත් කර දෙන මෙබඳු ගීයක් එකල ඔහු අතින් ලියැවුණේ.

තම්බපණ්ණි දීප වංසේ ජන්ම දිනයේ
නීළ කරදිය වළල්ලේ රන් මලක් පිපුණේ
රුවන් පිරිතින් පැන් වඩා – බුදුන් පහසින් ආ වඩා
වීර මී මුතු පරපුරින් එන සාර පින් කෙත වාසනා
ස්වර්ණමාලී සෑ බිමේ සමාධී ගුණ භාවනා
විජිත පුරයේ බලන දුර්ගේ වියරු රණ ගී ගායනා

(වික්ටර් රත්නායක)

  • මෙහි සකු තත්සම පද හා ප්‍රිය සමාගමයට “රුවන් පිරිතින්” වැනි ධ්වනි ගුණ සපිරි යෙදුම් සපයා දෙන්නට සුනිලුන් සතු කිවිකම් කෙතෙක් නම් භාෂාධිපත්‍යයෙන් සැරසී සිටිය යුත්තේද?

“කටු කොහොලින් පිරුණු ලොවින්, සිරි ලංකාවම එක නුවරක් වෙයි” වැනි “ප්‍රබුද්ධ” ගණයේ ගී වුව ද ප්‍රවණතාත්මක ස්වරූපයෙන් මිදී, දිනාගත යුතු ලෝකයෙහි පුළුල් පරිධිය පිළිබඳ අවබෝධයෙන් රසිකයා සරසා ඔහු දිවියට පෙම් බඳින්නකු බවට පත් කරන්නට උදව් දෙන නිර්මාණ බව හඳුනා ගැනීම අපහසු නොවේ.

සාම්ප්‍රදායික සිංහල කවියේ ආකෘති සහ විරිත් ඇසුරින් සිංහල ගීතය බොහෝ දුරට පෝෂණය කළ රචකයෝ දෙදෙනෙක් විශේෂ වෙති. පළමුවැන්නා අරීසෙන් අහුබුදුය. දෙවැන්නා සුනිල් ආරියරත්නය.

“දෙසෙන් අටෙන් යති – අටළොස් මතින් බැඳුණේ -වේය සමුදුරු ගොස” යනුවෙන් එළු සඳැස් ලකුණු කරුවා හඳුන්වා දුන් මාත්‍රා 18 සමුද්‍ර ඝෝෂ වෘත්තය පමණක් වුව විවිධ – විචිත්‍ර රිද්ම නගන පරිදි විවිධ අනුභූතීන් පළකරනු සඳහා සුනිල් ආරියරත්න යොදා ගනී. සුදු හාමිනේ නුඹ කොතැනද, කොහෙදෝ තැනක සිත ගුලි වී නිදන්නේ, අරුණු රැසින්, කඩ මණ්ඩියේ, අවසන් හුස්ම පොද, විලක් වුණත්, අයියන්ඩියේ පොඩි දා සිට, මල්ලියෙ නරක මිතුරන්, පෙර රජ දවස, දනන් රුහිරු බී, සීත ගඟුල වී කතරට ආදී ගීත සමූහය පරීක්ෂාකාරීව විමසා බලත්ම පෙනෙන්නේ, සුනිලුන් දස අටමත් විරිත් ආකෘතිය තුළ ප්‍රිය සමාගමයට පත් වදන් කෙතෙක් දුරට නිදහසේ හසුරුවන්නට සමත් වන්නේ ද යන්නය. ගුත්තිලයේ සැණකෙළි වැනුම්, සැලළිහිණියේ සහ මයුරයේ රැඟුම් වැනුම වලදී මෙන් විරිත ඇතුළත නැගෙන විචිත්‍ර රිද්ම මගින් කදිම ධ්වනි කාව්‍ය නිමවා ඇත්තේ කෙසේදැයි සුනිලුන් සිය ගියේ දී පර්යේෂණයට ලක්කරනු වැන්න. ගී කිහිපයකින් උපුටා ගත් මේ පද්‍ය විමසුව මැනවි. ඒවායේ අත්දැකීම්වල විවිධත්වය ද ඔබේ අවධානයට නිසි වේ.

සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ
දීගෙක ගිහින් දරු පිරිවර මැද සුවසේ
ලේලිය සමග මගෙ පුතු වෙන්විය රහසේ
මං විතරයි තනියම දැන් මගෙ නිවසේ

(සුදු හාමිනේ)

අරුණු රැසින් සැරසෙන සඳ නුබ යාන
බමර බසින් ඇලලේ බිඟු රජදාන
තිමිර රැහැන් බිඳ දෙනුවන පුබුදාන
කිරණ පහන් දල්වනු හිරු කුමරාන

(උදා වර්ණනා)

කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරී
කතා නැතිව හිටියත් ගොළු වෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරිව වැසී

(කඩමණ්ඩියේ)

මල්ලියෙ නරක මිතුරන් පිළිගන්ට එපා
නංගියෙ නෝබිනා කම් හුරු වෙන්ට එපා
බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා
හතුරෙකුටවත් මට වන් දුක වෙන්ට එපා

(සිපිරි මාලේ කවි)

දනන් රුහිරු බී පණනළ හප කරන
හයින් භාගතේ තබවා උන් පෙළන
එවුන් මරු කටට නොයවන දෙවි වරණ
දෙවුන්දරින් යනු පුද පෙත් නොපිළිගෙන

(පළිගැසීම)

සීත ගඟුල වී කතරට ගැලුවාය
සුළං රොදක් වී ගිමනට හැමුවාය
පුරා හඳක් වී අඳුරට වැඩියාය
ඒ අප බිහි කළ අපගේ අම්මාය

(ඒ අප බිහිකළ අපගේ අම්මාය)

ගීත රචකයන්ට මතු නොව කවීන්ට ද බෙහෙවින් අමතකව ගිය සිලෝ විරිත් පවා ගීතයේ ආකෘතිය සරසන්නට යොදාගැනීම සුනිල් ආරියරත්නට අභිමත විය.

මුල් යුගයේ දී සුනිලුන් ලියූ ප්‍රේම ගී අතර වූ “අපි ඈතට ඈතට පා නගලා” සහ කිරින්දේ මහපාර නුදුරේ වැනි ගීත එකල ඇතැම් ජනතාවාදී විචාරකයන්ගේ දෝෂ දර්ශනයට ලක්විය. ඒවා යථාර්ථයෙන් පලා යන්නට තරුණ පිරිසට ඇරයුම් කරන්නේ යැයි චෝදනා නැගිණි. ‘ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි” ගීතය තියුණු ලෙස විචාරයට ලක් කළ මහාචාර්ය සුවරිත ගම්ලත්හු එහි අයථාර්ථවත් ස්වභාවය පෙන්වා දුන්හ. එමෙන් ම “ඔබයි රම්‍ය සඳ කිරණ” නම් ගීය විශිෂ්ට ප්‍රේම ගීයක් ලෙස පැසසූහ. සැබැවින් ම එම ගීය සිංහලෙන් රචනා වූ පෙම් ගී අතරේ සුවිශේෂ අගයකින් යුතු ගීයකි.

ඔබයි රම්‍ය සඳ කිරණ ගන අන්ධකාරේ
ඔබයි සෞම්‍ය තරු එළිය ගිම්හාන කාලේ
සදානන්ද කරවූ ඔබේ මධුර රාවෙන්
පිපී ආමි අරවින්දයක් සේ තඩාගේ

(ප්‍රේමය නම් කිමැයි ඔබ මට කියා දුන්නෙහිය දැන් මගේ පරමාර්ථ්‍ය ඔබය මගේ පරමාදර්ශය ඔබය මගේ ඒකායන ප්‍රාර්ථනය ද ඔබය)

උදා වූ සුපෙම් දම් නුසුන් වී රැඳේවා
මගේ පුංචි ලෝකේ තැවුල් දුක් නොවේවා

(ප්‍රේමයේ ද්වාරය ඔබ මට විවර කළෙහිය දැන් මගේ අතීතය ඔබය, මගේ වර්තමානය ඔබය, මගේ උත්තරීතර අනාගතය ද ඔබය)

දුක් පීඩා ළතැවුලින් ගහණ ගන අන්ධකාරයට රම්‍යතර වූ චන්ද්‍රා ලෝකයක් ද තාපයෙන් පීඩිත ගිමත් සමයට සෞම්‍ය වූ තාරකා එළියක්ද වූ ප්‍රේමයේ අසිරිමත් ගුණ රසික සිත් වෙත ගෙනෙන්නට සුනිලුන් වහරට ගන්නා සරල රූපකාර්ථවත් භාෂා ප්‍රයෝග අතිශයින් ම උචිතය. කලල මතුයේ දුක් විඳ – පෙරුම්පුරා අරවින්දයක් සේ දියෙන් නැඟී පිපී ප්‍රකාශයට පත්වන ප්‍රේමය එක් රැයෙක ආශ්චර්යයක් නොවේ. මේ පදුමෝපමාව බෞද්ධ සාහිත්‍යයේ ක්ෂීණාශ්‍රවයන් වහන්සේ හඳුන්වා දෙන්නට යොදාගත්තකි. එබන්දක් සුනිලුන් මෙහි යොදාගන්නේ ප්‍රේමයේ නිර්මලත්වය ද හැඟෙන පරිද්දෙනි. ගීයේ අතරමැද ඉදිරිපත් කෙරෙන වාගාලාපයන් ද එහි ආකෘතිය වඩාත් විචිත්‍ර කරනු මෙන් ම භාවික ගුණයෙන් ද ආර්ද්‍ර කරයි. “දෙව් මව් වලප” නම් ගීයේ දීද සුනිලුන් මේ ආකෘතික අත්හදාබැලීම කර තිබේ.

මුළු නුවරම නිදිගත් මේ මොහොතේ, හිත මිතුරු සුළඟ, යාලු බාල සඳේ, ඈත කඳු යායේ, දෛවයෝගයකින් නොවේ. අභිසාරිකාවන්ගේ, නුග සෙවනක් සේ ඔබට, වසන්තේ නිදාහුන්, නවාතැන්පොළ ආදී ගීතවලට වස්තු විෂය වී ඇත්තේ ද ප්‍රේමය පිළිබඳ සංවේදනාවන්මය. ඒ ගී වල ද ව්‍යක්ත ප්‍රේම ගීත සම්ප්‍රදායක නිර්මාණාත්මක ලක්ෂණ අඩු වැඩි වශයෙන් දැකගත හැකිය. ගීත රචකයකු සේ අභ්‍යාසවෘද්ධ භාවයෙන් ඉහළට නැගෙත්ම සුනිලුන් ලියූ පෙම් ගී වල වඩාත් දාර්ශනික හා සූක්ෂම ලක්ෂණ පිළිබිඹු වනු පෙනේ.

සුනිලුන් ප්‍රේමයේ විප්‍රලම්බ ශෘංගාරයට සංවේදීවීමේදී ද සාර්ථකත්වය අත්කොට ගන්නා අවස්ථා බෙහෙවි. කුරුටු ගෑ ගී පොතේ, සිරිපොද වැස්සේ, පෙම් රළ පහරින්, කුස වලප, උන්මාද සිතුවම්, රුවල් ඉරී ගිය නෞකාවේ. මේඝයක් සේ හුදකලාවී, සූර්යයා වී, මං මුලා වී පාර සොයාගෙන ආදී ගීත කීපයෙහි දැකගත හැක්කේ විළාප තැබීමෙන් හෝ ශාප කිරීමෙන් හෝ තොරව වියෝගය වැනි සියුම් මනෝභාවයන් සංයමශීලීව – කලාත්මකව නිරූපනය කරන්නේ කෙසේ ද යන භාෂා ව්‍යාපාරය ඔහු මැනවින් ප්‍රගුණකොට සිටිනා අයුරුයි. ලෞකික ප්‍රේමය බිඳවැටී – සමීප මානව සබඳතා වියවුල් වී ගිය විට සංවේදී කවීහු මෙතරම් අව්‍යාජව පෙනී සිටිත් දැයි විමසන්න.

ඔබට මා ආදරය කළ බව මෙතරම්
මා දමා – ඔබ දුරු රට යනතුරු නොදනිම්

වලාවකින් ඔබ වැහී ගියා බොල් අහසේ
සිනා පහන් වැට නිවී ගියා සැඩ සුළඟේ

ඉරත් මැරී පුන් සඳත් මැරී ලොව අඳුරේ
කෙසේද ඉන්නේ පාළු පැලේ නිදි පැදුරේ…

ප්‍රේමයෙන් පිරී තිබුණු කැදැල්ල හැරදමා අන් කැදැල්ලකට පියාඹා ගිය සැමියා අමතන, පරායක්ත භාවයෙන් මඩනා ලද මේ පතිනියගේ කටහඬ ද අසා බලන්න එහිද නිර්ව්‍යාජ ගුණ පිරී ඇත්තේය.

දුවයි පුතයි මමයි අපේ කැදැල්ලෙ තනි වෙලා
අන් කැදැල්ලකට ගියේ ඇයිද ස්වාමිනී
පවන් රැළේ රැඳී තිබෙන්නෙ
ඔබගෙ මධුර රාවයයි ඔබේ ළමුන් අඬා දොඩා
කියන්නෙ ඔබේ නාමයයි
යහන් ගැබේ වියන් ඇඳේ
මැවෙන්නෙ ඔබගෙ රූපයයි
බිඳී වැටෙන්නෙ මා මැවූ
සුරම්‍ය වර්ණ සීනයයි

පෙම් පහන් දල්වා නුවන් තුළ, බිරිඳ මගේ ඔබ සහ විසඳුමක් නැත ලෝකයෙන් ආදී ගී වලට වස්තු විෂය වී ඇත්තේ ප්‍රේමය සහ විවාහය සපුරා පල නොදැරූ මනුෂ්‍යයාගේ ජීවිතයේ ඛේදවාචකයයි. එහි පසුබිමේ ඇත්තේ දෛවය හෝ අවාසනාව හෝ නොව, මානව සබඳතා හසුරුවන විෂය ලෝකයේ ස්වභාවයයි.

විසඳුමක් නැත ලෝකයෙන්
සමාවක් නැත ලෝකයෙන්
අසම්මතයේ පෙම්වතුන් අපි
දෛවයට ඉඩ දී – බලා සිටිමු

පුරා දශක පහකට වැඩි කාලයක් තිස්සේ ගීත රචනා කරමින් ද ගීතය පිළිබඳ පර්යේෂණයෙහි යෙදෙමින් ද සිංහල ගීතයේ වර්ධනයටත්, එහි කඩඉම් පුළුල් කරන්නටත්, ඉන් මහරු අස්වනු සම්පාදනයටත් සිය නිර්මාණාත්මක ශ්‍රමය වගුළ සුනිල් ආරියරත්නයන්ගේ ගීත පිළිබඳව මූලික සරල හඳුන්වාදීමක් කරනු පිණිස මේ කෙටි නිබන්ධය සම්පාදනය කරන ලදී. සුනිල් ආරියරත්නයෝ අද ගී ලියා හමාර කොට ඉසිඹුලා ඉන්නාහු නොවෙත්. අදත් අඛණ්ඩව ගීත රචනයෙහි යෙදෙමින් එහිලා නව මං සොයන ඔහුගේ ගීත ගැඹුරින් හදාරා – විමසා බලන්නට විද්වත් රසික ජනයාට ඇරයුම් කරනු පිණිස මූලික උත්තේජයක් හෝ මෙමගින් සැපයිණි නම් අපි ඉන් තුටු වම්හ. ඔහු ලියූ ගී තවදුරටත් ඔහුට ම අයත් නොවන බැවිනි. ඒවා රසික ජනයාට හිමි කොට දී ඇති බැවිනි.

ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment