හොඳම ගමනාන්ත 20 අතරට ශ්‍රී ලංකාව නම්වෙලා: උද්ඝෝෂණ කර සංචාරක ව්‍යාපාරය විනාශ කරන්න එපා – ඇමැති මනුෂ නානායක්කාර

168

එජාපය ඇතිකළ මහවැලිය එහි නායකයාම විනාශ කරනවා – නලින් බණ්ඩාර (සජබ)

හොඳම ගමනාන්ත 20 අතරට ශ්‍රී ලංකාව නම්වී ඇති මේ වෙලාවේ උද්ඝෝෂණ කර සංචාරක ව්‍යාපාරය විනාශ නොකරන ලෙස ඉල්ලා සිටින බව කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන ඇමැති මනුෂ නානායක්කාර මහතා ඊයේ (2 දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (02 දා) පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණ. නිවේදන, ලිපිලේඛන, වාර්ෂික වාර්තා ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව, 27/2 යටතේ පක්ෂ නායකයන් විසින් විශේෂ ප්‍රශ්න විමසීම හා ඒවාට පිළිතුරු සැපයීමෙන් අනතුරුව අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ විය.

ඒ අනුව පරිසර, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය, සංචාරක හා ඉඩම් යන අමාත්‍යාංශ සහ ඊට අදාළ දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂයන් පිළිබඳ විවාදය ආරම්භ කරමින්,

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා (ස.ජ.බ) –

ලංකාවේ වනජීවී උද්‍යාන 26ක් තිබෙනවා. දේශීය සංචාරකයින් වැඩි වශයෙන් යන්නේ විල්පත්තුවටයි. නමුත් ඒ අයට නිසි පහසුකම් තිබෙනවාද කියන ප්‍රශ්නය තිබෙනවා. යාල වනෝද්‍යානයට පිවිසෙන ස්ථාන කිහිපයක් තිබෙනවා. ඒවාට පැමිණෙන මාර්ග හොඳ තත්ත්වයේ නෑ. ඒ වගේම අනෙකුත් පහසුකම් පිළිබඳවත් සෑහෙන්න බෑ. වනජීවි අමාත්‍යංශයට විශාල කාර්යභාරයක් පැවරෙනවා. ඒ කටයුතු සඳහා ලෙහෙසියෙන්ම හමුදා සාමාජිකයන් යොදවා සිදුකර ගත හැකියි. එතකොට ඔය හමුදා සාමාජිකයන්ගේ ප්‍රමාණය වැඩියි කියන අයගේ කටවල් වැහෙයි. අලි මිනිස් ගැටුම තමයි විශාල ප්‍රශ්නයක් වෙලා තිබෙන්නෙ. මම ඇමැතිවරයා කාලෙ පියවර රාශියක් ආරම්භ කළා. ඒත් ඒවා අතරමඟ නැවතිලා. වන ජීවීන්ගෙන් වගාවට විශාල හානියක් වෙනවා. රිළවුන්ගෙන් තමයි මේ සඳහා ලොකුම බලපෑම එල්ල වෙන්නේ. ඒ සත්තුන්ට වැක්සින් ගහන්නත් බෑ. ඒ කාලේ මම මේ සතුන් මරනවාට විරුද්ධ වුණා. ගොවීන් වායු රයිෆල් ඉල්ලනවා. නමුත් මේවා වැරැදියට පාවිච්චි කරලා දරුවෙක් මැරිලා තිබුණා. කෙහොම වෙතත් ඉදිරියේදී මේ ගැන ආණ්ඩුවට තීරණයක් ගන්න වෙයි.

ඇමැති මහින්ද අමරවීර මහතා – මේ ගැන අපි සාකච්ඡා කළා මාස දෙකකදී වගේ මේ සම්බන්ධයෙන් මම තීරණයක් අරගෙන වැඩපිළිවෙළකට යන්න වෙනවා. අපි වනජීවී සංගම් සමගත් මම සාකච්ඡා කළා. විදෙස් රටවල් මේ සම්බන්ධයෙන් අරගෙන තිබෙන පියවර සලකා බලනවා.

සරත් ෆොන්සේකා මහතා – අලි මිනිස් ගැටුම් විශාල වශයෙන් සිදු වෙනවා. මේ ප්‍රශ්නය විසඳන කෙනාගේ නම ඉතිහාසයේ රන් අකුරෙන් ලියවේවි. අලි ඝාතනය කරන අයට නීතියෙන් දඬුවම් දෙන්න ඕන. ඒ වගේම අලින්ට කැලෑ තුළ ආහාර සහ වතුර අනිවාර්යයෙන්ම සපයන්න ඕන. ගම් වදින අලින්ගේ ප්‍රමාණය 1000ක් පමණ වෙනවා. ඒක නවත්වන්න විදුලි වැටවල් ගහන්න වෙනවා. නමුත් විදුලි වැටවල් ගහන්න මිලියන 90ක් විතරයි වෙන් කරලා තිබෙන්නෙ. ඒක ප්‍රමාණවත් නෑ අලි වැටවල් කිලෝමීටර් 2500ක් හැදෙන්න ඕනා. ඒත් හැදිලා තිබෙන්නේ කිලෝමීටර් 150ක් විතරයි. අලි මිනිස් ගැටුමට අගල් කැපීමේ යෝජනාව මෝඩ ව්‍යාපෘතියක්.

විමලවීර දිසානායක මහතා-

අගල් කැපීම මෝඩ වැඩක් කිව්වා. ඒත් එයා මොකක්ද කළේ අලි මිනිස් ගැටුම නවත්වන්න.

නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී සී. බී. රත්නායක මහතා –

අද කෘෂි කර්මාන්තයට හානි කරන සතුන් විශාල ප්‍රමාණයක් සිටිනවා. අලි විතරක් නොවෙයි. ඌරා, රිලවා, කළවැද්දා වාගේ සත්තුත් ඉන්නවා. මේ අමාත්‍යාංශවල කැපවීමෙන් වැඩකරන නිලධාරීන් ඉන්නවා. ඒ අය වෙනුවෙන් කතා කරන්න කවුරුවත් නෑ. අපට මතකයි කළු දිවියා අපට නැතිවුණා. ගම්පොළ සිට නිලධාරීන් යනකොට ප්‍රමාදයි. මේ ක්ෂේත්‍රයට ලැබෙන මුදල් ප්‍රමාණය දෙස බැලුවහම නිලධාරීන්ට නවතින්න තැනක් නෑ. නිදාගන්න තැනක් නෑ. මගේ කාලයේ වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් වරියක් තමයි හිටියේ. නමුත් ඊට මඩ ගැහුවා. දැන් වනජීවි අධ්‍යක්ෂ ජෙනරාල්වරයකු පත් කරලා කටයුතු කරගෙන යනවා. සංචාරක බංගලා, හෝටල් තිබෙනවා වනජීවියට. නමුත් ඒවා සුන්දර නෑ. ඒවායින් කෑම කෑවහම බඩඑළිය යනවා. ටොයිලට්වල දොරවල් නෑ. මේවා ගැන බලන්න ඕනා.

(වීරසුමන වීරසිංහ මහතා මූලාසනයට පැමිනේ)

මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් (දෙ.ජා.ස.) –

මෙරට තුළ වන සංරක්ෂණය සහ වනජීවී ගැන කතා කරනකොට මේවා සඳහා නිසි ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් හදන්න ඕන. මේවායේ වැඩ කරන නිලධාරීන්ට නිසි උසස්වීම් ලැබිලත් නෑ. ඒ වගේම පහසුකමුත් නෑ. අරහෙන් අලි එනවා කියනකොට මෙහෙන් නිලධාරී දුවනවා. සමහර ෂතුන් පන්නවානේ අපට කරදර කරනවා. අලි කොරිඩෝ හදන්න ඕනා. හරක් යනවා අපි දකිනවා වනයට. මේවා ගැන නිසි ජාතික වැඩ පිළිවෙලක් හදන්න ඕනා. මම කියන්න ඕන භූ විද්‍යා හා පතල් කරමාන්ත දෙපාර්තමේන්තුව ගත්තොත් මේකට දාලා තියෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉංජිනේරු සංගමයේ අයෙක්. ඔහු අනුර වල්පොල. ඒත් අපි මේ ආයතනයට කෝප් එකට එන්න කිව්වහම සභාපති මාරුකළා. මංජුල කියලා. ඒ ගැන ජනාධිපතිත් දන්නේ නෑ. ඒ ආයතනය ඉතාම දූෂිතයි. සභාපති ඉඳලාම එහෙමයි. ඒ සභාපති ෂාෆි නගර් කියන ස්ථානයේ සිට වැලි කැණීම් කරන්න පුළුවන් හෙක්ටයාර 28ක ස්ථාන තිබෙනවා. ඒ ස්ථානවල වැලි කියුබ් ලක්ෂයකට වඩා පටවන්න තිබෙනවා. වැලි කියුබ් තුනහමාරක වාහනයකින් පැටෙව්වොත් බලන්න වැලි කියුබ් ලක්ෂයකට කීයද මුදල කියලා. මේ සභාපතිට පර්ම්ට් එකක් තිබෙනවා වැලි පටවන්න. වැලි ආරක්ෂා කරන්න ඉන්න කෙනා වැලි අදින්න පර්මිට් එකක් දාගෙන. පළාත් අධ්‍යක්ෂවරිය දන්නෙත් නෑ. වැලි ගබඩා කරන්නත් පර්මිට් එකක් එයාට තිබෙනවා. වත්මන් ජනාධිපති පරිසර සමුළුවලට යනවා. ඒත් මෙහේ වැඩ වෙන්නේ මෙහෙමයි. ඒ නිසා වහාම මේ මංජුල කියන සභාපති වහාම ඉවත් කරන්න. ඒ වගේම එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයාත් දූෂිතයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක (ජාජබ) –

අලුත් පළාත් පාලන ආයතන මාර්තු 20 ට පෙර පිහිටුවිය යුතුයි. ඊට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම නිකුත් කළ යුතුයි.

මැතිවරණ කොමිසම නීතිපතිගේ කරුණු විමසිය යුතු නැහැ. යම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක මැතිවරණ කොමිසම නිරත වෙනවා. කොමිසමට හෙට වුවත් නිවේදනය නිකුත් කළ හැකියි.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතුයි කොමිසමට ගැටලුවක් නැති බවට. කොමිසම ආණ්ඩුවෙන් සංඥාවක් එනතුරු ඉන්නවා. සභාපතිවරයාගේ දේශපාලනය අපි දන්නවා. යටි කුමන්ත්‍රණයෙන් කොමිසමේ සභාපතිවරයා හවුල්. දේශපාලනඥයන්ගේ උවමනාවකට නැවත නටපු කොමිසමක් බවට මැතිවරණ කොමිසම පත් වී තිබෙනවා.

භූ විiා, පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්‍ෂවරයා එහි වෘත්තීය සමිති විසින් ආයතනයේ අඩුපාඩු මාධ්‍ය සාකච්ඡාවක දී පැවසූ බව කියමින් ඒ මාධ්‍ය හමුවේ සිටි සියලුදෙනාගේ වැඩ තහනම් කරලා. එහෙම කරන්න අධ්‍යක්‍ෂවරයාටය බලයක් නෑ. මූලික පරීක්‍ෂණයක්වත් කර නෑ.

සිෆිනගර්වල වැලි ඉවත් කිරීමට ව්‍යාපෘතියක් තිබුණා. එසේ තිබිය දී මිරිස් වගා කිරීමේ ව්‍යාපෘතියකට ඉල්ලුම්පත් භාර ගත්තා. මිරිස් වගාවක් කිව්වට වැලි කැණීමකට අවසර දුන්නා. මේ ගැන අමාත්‍යාංශ ලේකම් පරීක්‍ෂණයක් කළා. එහි වැරදිකරු වූ සමාගමේ අයෙකුට භූ විiා කාර්යාංශයේ ලොකු පුටුවක් දීලා. ඔහුට එවැනි පත්වීමක් ලබන්න බැහැ.

අද මේ ආයතනයේ උසස් නිලධාරීන් කිහිපදෙනෙකුට සේවය කිරීමට අසීරු බව පවසමින් ඉවත්ව ගොස් තිබෙනවා.

සාෆිනගර්වල වැලි කැණීමට දුන් බලපත්‍රය සභාපතිම අරගෙන. අධ්‍යක්‍ෂකත් ඊට හවුල්. මේ හොරකම්වලට දේශපාලන රැකවරණ තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරපැම (සජබ) –

භූ විiා පතල් කාර්යාංශය කරන්නේ පස් වැලි කැණීම විතරයි. වංචා දූෂණ රැසක් සිදුවන භූ විiා කාර්යාංශයේ වංචා නැවැත්වීමට ඇමැති කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නෑ.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක (සජබ) –

මහවැලි ඉඩම් බෙදාදීම ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීම වැරදි තීරණයක්. මේ මගින් මහවිලි ඉඩම් අනාරක්‍ෂිත වෙනවා. ප්‍රාදේශීය ලේකම්වරුන්ට මේ කටයුතු නිරවුල්ව කරගෙන යන්න බැරිවෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ව්‍යාපාරය කඩා වැටිලා. සංචාරක ව්‍යාපාරයේ යෙදුණු සමහර අය තම වත්කම් විකුණලා. වහාම ඔවුන්ට සාධාරණය ඉටුකරන්න.

රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ –

නයිට් ලයිෆ් ක්‍රමය ගැන මම කතා කළාම විවේචනය කළා. ලංකාව සංචාරක පාරාදීසයක්. සංචාරකයන් ගෙනෙන ඩොලර් වියදම් කරවා ගැනීමට අවශ්‍ය වාතාවරණය ඇති කළ යුතුයි. රෑ 11 න් පස්සේ බාර් වහලා. හැම තැනම ආයතන වහලා. සිංගප්පූරුව, මැලේසියාව පැය 24 ම රට ඇරලා. ලොව රටවල් දියුණු වී ඇත්තේ රාත්‍රි ආර්ථිකය පවතින නිසා. කෞතුකාගාරය සවස 5 ට වහලා. ඒවා රෑට ඇරලා තිබිය යුතුයි. රටක දියුණුවට රාත්‍රි ආර්ථිකය අත්‍යවශ්‍යයි.

උතුරේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට අවශ්‍ය පියවර ගත යුතුයි. අම්පාර, පොතුවිල්, පාසිකුඩා, යාපනය එක්කර සංචාරක ව්‍යාපාරය දියුණු කළ යුතුයි.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම්. චන්‍ද්‍රසේන –

ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීම ගැන යළි ජනාධිපති සමඟ සාකච්ඡා කරනවා. ජනතාවට අවශ්‍ය කෙනාට නෙවෙයි ඉඩම් යන්නේ. දූෂණයට වංචාවට ලක්වෙනවා. අමාරු වෙලාවල ගෙනාපු අයවැයක්. 2023 හොඳ ආර්ථිකයක් ඇතිවන බව මහ බැංකු අධිපතිත් කිව්වා.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි –

සංචාරකයන් රටට එන බව පෙන්වනවා. ඔවුන් පැය කිහිපයක් ඇතුළත රටින් යනවා. රටට සංචාරකයන් ගෙන්වීමට ක්‍රියා කළ යුතුයි. සංචාරක හෝටල් වහලා. ප්‍රශ්න රැසක් ඇතිවෙලා.

සංචාරක කලාප හැර තවත් කලාපවල සංචාරකයන් යනවා. ඒ ප්‍රදේශවල විදුලිය කපනවා.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී චමල් රාජපක්‍ෂ –

කිරි නිෂ්පාදනය කරන ගොවීන් රැසක් හම්බන්තොට ඉන්නවා. මොවුන්ට තෘණ භූමි නෑ. ඔවුන් රක්‍ෂිත භූමිවලට තමන්ගේ ගවයන් යවනවා. මේකට ක්‍රමවේදයක් හදන්න. ස්ථිර විසඳුමක් කිරි නිෂ්පාදන ගොවීන්ට අවශ්‍යයි.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර – (සජබ) –

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව, නිකවැරටිය, යාපහුව ප්‍රදේශ වල්අලි තර්ජණයට ලක්වෙලා. අලි කොරිඩෝ අවහිරවීම නිසයි ප්‍රශ්න ඇති වී තිබෙන්නේ සංවර්ධනයට ඉඩම් නිවැරදිව හඳුනාගත යුතුයි. අලි ගැවසෙන තැන් ඒවාට ගන්න එපා.

මහවැලි ඉඩම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පැවරීම ඉතා වැරදි තීන්දුවක්. මේ මගින් මහවැලි ඉඩම් දේශපාලන හෙංචයියන්ට නිකම්ම ලබාගන්න පුළුවන්. ඉතා බල සම්පන්න මහවැලි අධිකාරිය බිඳ වැටෙනවා. එජාප පාලනය ඇති කළ මහවැලිය එජාප නායකයා ම කඩා විසුණු කරනවා.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජයන්ත සමරවීර –

මේ වෙඩිකලතිව් ජාතික රක්‍ෂිතය විනාශ වෙමින් පවතිනවා. එය වළක්වා ගැනීමට වහාම මැදිහත් විය යුතුයි. ඒ තරම් රටට වටින රක්‍ෂිතයක්. ඒ ප්‍රදේශවල මැති ඇමැතිවරුන් මේ ගැන අවධානය යොමු කරන්න.

කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන ඇමැති මනුෂ නානායක්කාර මහතා :

නැව්වලින් ආපු සුද්දන්ට කොළඹ උද්ඝෝෂණ නිසා කෞතුකාගාරයකටවත් යන්න බැරි වුණා. අරගල කරන්න එපා ඇවිත් රට කරලා පෙන්වන්න. ඡන්ද ඉල්ලන්න එපා. මීට වඩා වෙනස් ක්‍රම තියෙනවා නම් කරලා පෙන්වන්න. හොඳම ගමනාන්ත 20 අතරට ශ්‍රී ලංකාව නම්වෙලා. ලංකාවට ආපු නැති ගුවන් යානා එනවා. ඒවා නතර කරන්නද අවශ්‍ය. දැන් ගාල්ලේ සංචාරකයෝ වැඩිපුර එනවා. එහෙත් රතු තොප්පිකාරයෝ උද්ඝෝෂණ කරනවා.

ලංකාවට එන්න ඉන්න විදේශිකයන් මාලදිවයිනට හා වෙනත් රටවලට යනවා. රටේ සංවර්ධනය වෙනුවෙන් සියලු අමාත්‍යාංශ එක්විය යුතුයි. වගා කිරීමට ඉඩම් වෙන් කරගත යුතුයි. රටේ අවශ්‍යතාවට රටේ සම්පත් පාවිච්චි කළ යුතුයි. රෑට විදේශිකයන්ට එළියට යන්න විදියක් නෑ. රාත්‍රි ආර්ථිකයක් නෑ. අපි දැන්වත් නිවැරදි දේ කළ යුතුයි.

පාර්ලිමේන්තුව අද (03 දා) පෙරවරු 9.30ට යළි රැස්වේ.

අකිත පෙරේරා, අනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment