දේහ ලක්ෂණ වලින් මිනිසුන් හඳුනාගන්න

4917

අප ජීවත්වන මනුෂ්‍ය ලොව තුළ හොඳ මිනිසුන් මෙන්ම බොහෝ නරක මිනිසුන් ද ජීවත්වේ. වැඩිහිටියන් වී සමාජය තුළට අනුගත වීමේදී එම හොඳ හා නරක යන කොටස් දෙක වෙන වෙනම වෙන්කර ගැනීම ජීවිතයේ යහපැවැත්මට බොහෝ සෙයින් උපකාරී වේ. එසේ හඳුනාගැනීමට ඇති ක්‍රම 3ක් ඇත.

  1. එම පුද්ගලයාගේ නිවැරැදි ජන්ම පත්‍රය
  2. එම පුද්ගලයාගේ හස්තය
  3. එම පුද්ගලයාගේ ශරීරයේ ඇති අංග තුළින් කැපී පෙනෙන ලක්ෂණයන්ය.

මුලින්ම පුද්ගලයෙකු ආශ්‍රයට ලැබුණුවිට ඔහුගේ ජන්ම පත්‍රය ඉල්ලා බැලීමට නොහැක. ඔහුගේ හස්තය ද ඉල්ලා රේඛාවල පිහිටීම්, ඇඟිලිවල පිහිටීම් බැලිය නොහැක. නමුත් එම පුද්ගලයාගේ ශරීර අංග ගණනාවක් පිටතට දෘෂ්‍යමාන වේ. අංග ලක්ෂණ විiාව දන්නා අයෙකුට එම පුද්ගලයා ලෙස එක් වරක් හිසේ සිට පාදය තෙක් බැලීමෙන් බොහෝ දේ වටහා ගත හැක.

මා මේ ලිපිය තුළින් දේහ ලක්ෂණ විiාවේ මුලින්ම කියැවෙන ස්ත්‍රී වර්ග 4 හා පුරුෂයින් වර්ග 4ක් හඳුනාගන්නා ආකාරය ලිවීමට සිතුවෙමි. මෙය බොහෝ විට වැදගත් වන්නේ විවාහවීමට තම සහකරු හෝ සහකාරිය සොයාගැනීමටය.

ලෝකයේ ජීවත් වන සියලුම ස්ත්‍රීන් පද්මිණි, චිත්‍රිණි, ශාමිණී හා හස්තිනී ලෙස ද ලොව ජීවත්වන සියලුම පුරුෂයින් ශශ, මෘග, වෘෂභ හා අශ්ව යන 4 ආකාරයට ද වෙන් කර ඇත.

මුලින්ම කාන්තාවන් අතර ඉතාම උත්තම ගණයේ ලා සැලකෙන පද්මිණි වර්ගයේ ස්ත්‍රිය ගැන සලකා බලමු.

පද්මිණි ගණයේ ස්ත්‍රීන් සොයා ගැනීම ඉතා විරලය. යම් පුරුෂයකුට පද්මිණි වර්ගයේ ස්ත්‍රියක් සමග විවාහ වීමට ලැබේ නම් ඔහු මහා භාග්‍යවන්තයි. පෙර පිං කළ අයෙකි. මෙම උතුම් ස්ත්‍රිය දුටු විගස හඳුනා ගත හැකි ආකාරය පහත වේ.

මෙම ස්ත්‍රියගේ ඇසේ අග රතු පැහැතිය. වරලස කළු දිගටිය, ප්‍රියකරු වරලස රැලි සහිතය. මෘදුය, තම කටහඬ සිහින්ය. උකුල පළල්ය. කෙණ්ඩා යුවළ මසින් පිරී ඇත. පාදයේ නහර ඉලිප්පී නැත. අල්ල ළා රතු පැහැතිය. ඇඟිලි සිහින්ය, දිගය. විලිබිය ඇතිව ඇඳුම් පැළඳුම් ආදියි. ඇවිදිනවිට අගපසඟ නොසොලවයි. නාසයේ සිදුරු කුඩාය. පියයුරු එකට තදවී පිහිටයි. ලම්භකරණ ආකාරයේ කන් ඇත. ඇහි බැම පටන් ගැන්ම මහත්වී අවසානය සිහින්ය. නිතර කලබල වූ මුවෙකු සේ අවට දෙස බලයි.

පද්මිණිය වූ කලී තම ජීවිතයට ආදරය ලෙස සලකන තම සැමියාට අසීමිතව ආදරය කරන, ලද දෙයින් සතුටු වන ගෘහ ජීවිතයේ තමාට හිමි තැන පමණක් ගන්නා, සැමියාගේ අඩුපාඩු කථා නොකරන අයෙකි. පද්මිණිය වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම පතිනියකි. සීතාවකි. තම සැමියාට මාතෘ භාර්යාවකි.

පද්මිණියට පමණක් දෙවැනි වන ඊළඟ උතුම් ස්ත්‍රිය ගැන දැන ගනිමු. ඒ චිත්‍රිණියයි. ඇය වූ කලී බොළද වදනින් කථා බහේ යෙදෙන කථා විලාසයෙන් අන්‍යයන් තමා වෙත ඇද බැඳ තබා ගන්නා, පිරිමි සිත් ඇඳ බැඳ තබා ගන්නා රුවක් හිමි ඕනෑම අයෙකු තමාගේ වචනයට නම්මා ගත හැකි අයෙකි.

වඩා උස් නොවුණත් වඩා මිටි නොවුණත් මධ්‍ය ප්‍රමාණයේ සිරුරකට හිමිකම් තියන ඈ නිල්වන් පැහැ ඇස් යුවළක් ද සිනාසෙනවිට අලංකාර මුඛයක් ද දර්ශනීය පුළුල් උකුලක් ද බෙල්ලේ රේඛා 3ක් ද මසින් පිරී ගිය කලවක් ද ඝන හිසකෙස් හා ඇහි බැම ද ඇති ඕනෑම දෙයක් දෙස තියුණු තීක්‍ෂණ බැල්මක් හෙළන සැබැවින්ම කරුණාවන්ත ස්ත්‍රියකි.

මෙම චිත්‍රිණිය ඇඳුම් ඇඳීමේදී තම සිරුරේ හැඩය ප්‍රදර්ශනය වන ආකාරයට හැඳ පැලඳීම සිරිතයි. අසරණයන්ට උදව් කිරීමේදී තමන්ට හානියක් වුවද එය නොතකයි. උස් පහත් බේද නොසලකා කොයි දේ ලැබුණත් ජීවිතයේ සතුට නොමැති වුව ද එම ජීවිතය අපායක් සේ නොසලකන තම සැමියාට ඉතා කීකරු හිතවත් තම සැමියාගේ වරදට මවක මෙන් සමාව දෙන රාග සිතින් තම සැමියා දෙස නොබලන, සැමියාට මුළු ජීවිතයේම සහය වන කල්‍යාණ මිතුරියකි.

මුලින් සඳහන් කළ වාසනාවන්ත ශුභ ස්ත්‍රීන් දෙදෙනාට අමතරව අශුභ ගණයේ ලා සැලකෙන ස්ත්‍රීන් වර්ග ද 2 කි. පුරාණ ඍෂිවරු ශාමිණී හා හස්තිණී යන ස්ත්‍රීන් කිසිදු පුරුෂයකු විසින් විවිහා කර නොගත යුතු යැයි පවසා ඇත. මෙම ස්ත්‍රීන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වධක භාර්්‍යාවන් වේ.

ශාමිණිය වූ කලී ශරීරයට සාපේක්ෂව පියවුරු වල ප්‍රමාණය කැපී පෙනෙන ලෙස විශාල හෝ කුඩාය. ඉතා කෘෂ ශරීරයක් හෝ ඉතා ස්ථුල ශරීරයක් ඇත. ඇඟිලි වැහිරී ඇත. උඩුපතුලේ නහර ඉලිප්පී ඇත. වරලස රළු බුරුසුවක් මෙනි. නළල පටුය. අත්වල රෝම කැරකී ඝනව වැඩී ඇත. කටහඬ මඳක් රළුය. ගොරෝසුය. යටිතොලට සාපේක්ෂව උඩුතොල සිහින්ය. උදරය මත රැලි පිහිටයි. අඩ නිරුවතින් යුක්ත ඇඳුම් අඳියි. අකාරුණිකය. ඉතා මුවහත් කථා විලාසයක් ඇත. ගෙදර මුල් තැන අර ගනී. තම සැමියා පහත් කර සලකයි. ශාමිණිය තමන් ගැන නිතර ආඩම්බරයෙන් කථා කරයි. සැමියාට ආදරය නොකර සැමියාගෙන් ආදරය බලාපොරොත්තුවේ.

කඩවසම් පිරිමියකු දුටුවිට කාමාශාව ඇවිස්සෙන රතියට ඉතා ආශා කරන, ද්විත්ව චරිත රඟපාන, සිනහ සෙනවිට ඉතා ශබ්ද නඟා සැම දෙනාගේ අවධානය යොමුවන ලෙස සිනාසෙන යහපත් ආචාර ධර්ම නැති අයෙකි.

මෙවන් චරිත ලක්ෂණ හිමි ශාමිණිය විවාහ කර ගන්නා පුරුෂයා පෙර බෙහෙවින් පවුකම් කළ අයෙක් යැයි පුරාණ ඍෂිවරු පවසා ඇත.

අශුභ ස්ත්‍රීන් දෙදෙනාගෙන් ඉතාම අශුභ ස්ත්‍රිය ගණයේ ලා පුරාණ පොත පතෙහි සඳහන්ව ඇත්තේ හස්තිණියයි.

හස්තිනිය වූ කලී රතු පැහැති ලොකු ඇස් ඇති නාස් පුඩු ලොකු විශාල තට්ටම් සහිත මහත ශරීරයකට හිමිකම් කියන අයෙකි.

නිතර රාග ගින්නෙන් පෙළෙන, දුරාචාරයේ යන, පිරිමින්ට ඇලුම් කරන, තම සැමියා ප්‍රිය නොකරන වයසින් බාල අය සමග විවාහ වන තම ආශාවන් කෙසේ හෝ සපුරා ගන්නා හස්තිනිය ගැන පුළුල්ව විග්‍රහ කළහොත් නිතර මැසිවිලි කියන, සෑම දේම අශුභවාදීව සිතන අද වැඩේ හෙටට කල් දමන, නින්දට ප්‍රිය කරන තම දරුවන්ට බෙහෙවින් ආදරය කරන නමුත් තමාට අවශ්‍ය ආකාරයට දරුවන් නොසිටියහොත් ඔවුන්ව ද අතහැර දමන, ආත්මාර්ථකාමී ස්ත්‍රියකි. තවද මෙවන් ස්ත්‍රීන් ගේ ඇස් වල නිදිබර ගතියක් ඇත. නළල පළල් සිරුර පුරා රෝම වැවී ඇත. නමුත් වයසට යත්ම ශරීරයේ ඇති සියලුම රෝම හැළී යයි. නිතර දිවෙන් තොල් තෙමයි. බොහෝ විට පාදයේ හෝ හස්තයේ ඇඟිලි වක්‍රවී ඇත.

හස්තිනි වර්ගයේ ස්ත්‍රියක් විවාහ කර ගන්නා පුරුෂයකුට හැඟෙනුයේ තමා හතුරෙකු සමඟ සබඳකම් පවත්වන බවයි. මෙවන් පුරෂයින්ට දීර්ඝායුෂව සිටීමට වරම් තිබුණ ද අකාලයේ මිය යෑම වැළකිය නොහැක.

ඔබත් ඔබේ ජීවිතයේ එක්වරක් පමණක් තෝරා ගන්නා ඔබේ බිරිඳ හොඳින් සිතා ඉහත ස්ත්‍රී වර්ග ද සලකා බලා තෝරා ගන්න. නොඑසේ නම් ඔබේ ජීවිතය ඔබට ද එපාවී සමාජයට ද ඵල ප්‍රයෝජනයක් නැති හිස් අයකු බවට පත්වීමට පුළුවන.

ශෂ, මෘග, වෘෂභ හා අශ්ව යන පුරුෂ වර්ග අතරින් ඉතාම වැදගත් පුරුෂ වර්ගය වනුයේ ශශ වර්ගයේ පුරුෂයාය. මොවුන් ඉතා කරුණාවන්තය. තම භාර්යාවට බොහෝ ආදරය දක්වන පවුල වෙනුවෙන් යුතුකම් ඉටුකරන බොහෝ නිහඬ රාගාදී අදහස් අඩු කළගුණ දත් ගුණවත් අයෙකි.

ශශ වර්ගයේ පුරුෂයින්ගේ මුහුණ වටකුරුය. මධ්‍යම ප්‍රමාණයේ කඩවසම් සිරුරක් හිමිය. ඇස් වටකුරුය. රතු පැහැතිය. දෙතොල් සිහින්ය. දත් අතර හිඩැස් නැත. අත්ල මෘදු තඹ පැහැතිය. ඇඟිලි සිහින් දිගය. නියපොතු රෝස පාටය. දණහිස් මසින් පිරී නැත.

ගුණවත්කමින් පිරිපුන් ශශ පුරුෂයින්ට විවාහය සඳහා ගැළපෙනුයේ පතිභාවයෙන් උතුම් පද්මිණි වර්ගයේ ස්ත්‍රීන් වේ. මොවුන් දෙදෙනාගේ යුග දිවිය ඉතා සාර්ථක වේ.

ශශ වර්ගයේ පුරුෂයාට පමණත් දෙවැනි වන මෘග වර්ගයේ පුරුෂයා ගැන දැන ගනිමු.

මෘග වර්ගයේ පුරුෂයින්ගේ දෑස නිතර කලබල ගතියකින් යුක්තය. නිතර සිනාසෙන මුව මඬලකින් හෙබි මොහු ආගම දහමටත් සංගීතයටත් එකසේ ප්‍රිය කරයි. මොවුන්ගේ දේහය ඉතා ශක්ති සම්පන්නය. අත් පා දිගින් යුක්තය. නිතර කෑම ගැනීමට ප්‍රිය කරයි. තම පවුලට හොඳින් සලකයි.

මෘග වර්ගයේ පුරුෂයින්ට විවාහය සඳහා යෝග්‍ය යැයි පුරාණ ඍෂිවරු පවසා ඇත්තේ චිත්‍රිණි වර්ගයේ ස්ත්‍රීන්ව පමණි. මෘග සහ චිත්‍රිණි විවාහය අතිසාර්ථක වේ.

අශුභ පුරුෂයින් දෙදෙනාගෙන් පළමු වැන්න වාෂභ පුරුෂයා ය. ඔහුගේ මුහුණ පළලින් වැඩිය. ඇඟට සාපේක්ෂව හිස විශාලය. කෙටි දත් සහිතය. ඇස් රතු පැහැතිතියි. බෙල්ලේ මස් පිරී ඇත. කන් පෙති ලොකුය. පපුව ඉදිරියට නෙරා ඇත. සිරුර මිටිය තරබාරුය. අත් පා පිරී ඇත. නිය පළල්ය. මහත ඇඟිලි සහිතය. ශරීරය මඳක් නැමුණු අයෙකි.

මොවුන් නිතර පාප ක්‍රියා කළ ද සිල්වත් ආකාරයෙන් හැසිරේ. දකින දකින ස්ත්‍රීන්ට ලොල්වේ. නිදා ගැනීම අඩුවෙන් කරයි. ඇහිපිය ඝනව වැඩී ඇත. ගුප්ත ශාස්ත්‍රවලට ප්‍රිය වේ. මසුරුය. කථාවෙන් අනුන් බිය වද්දයි. විලිබිය අඩු අයෙකි.

මොවුන්ගේ විවාහ ජීවිතය සාර්ථක වනුයේ ලිංගිකත්වයට ප්‍රිය කරන මහත් ආශාවක් දක්වන ස්ත්‍රියක් සමග විවාහක වුවහොත් පමණි. වෘෂභ වර්ගයේ පුරුෂයකුට විවාහවීමට සුදුසු වන්නේ ශාමිණී වර්ගයේ ස්ත්‍රියකි.

අශුභතාවය වැඩියැයි ඍෂිවරු පවසන පුරුෂ තෙම වන්නේ අශ්ව ගණයේ පුරුෂයාය. අශ්ව ගණයේ පුරුෂයා හා විවාහ වීමට සුදුසුම ස්ත්‍රිය වන්නේ හස්තිණී වර්ගයේ ස්ත්‍රියයි.

අශ්ව වර්ගයේ පුරුෂයාගේ හැඩරුව හා ගති ගුණ විමසා බලමු.

මුහුණ දිගටිය. අත්පා දිගටිය. හිසකෙස් ඝනය. අත්පා බෙල්ලේ නහර ඉලිප්පී ඇත. අත්ල විශාලය. සිරුර ශක්තිමත්ය. නිය කෙටිය, ශරීරය බොහෝවිට සිහින්ය, උසින් වැඩිය, සිරුරේ රෝම අඩුය. ඍජුව ගමන් කරයි. උරහිස පළල්ය. ශරීරය ගොරෝසුය. අත්පා උණුසුම්ය.

මොවුන්ගේ කටහඬ තියුණුය. උඩුඟුය. නිතර නිතර ආහාර හා ජලය පාවිච්චි කරයි. ආගම දහම විශ්වාස නොකරයි. අනුන්ගේ දොස් දකී. නිකරුණේ කාලය කා නොදමයි. ලිංගිකත්වයට ඉතා ප්‍රිය වේ. කාමාධික ගති මොහු තුළින් විද්‍යාමාන වේ. තම බිරිඳට ආදරය නොකරයි. වගකීම් ඉටුකිරීම ද ඉතා අඩුය.

මෙවන් පුරුෂයන් තම සැමියා වී යම් ස්ත්‍රියකට ලැබේ නම් එම ස්ත්‍රිය පෙර සසරේ බොහෝ පවුකල අයෙකි. මොවුන් අන් පිරිමින්ට වඩා රූප ස්වභාවයෙන් හා වැඩි කඩවසම් පෙනුමකින් යුත් බැවින් බොහෝ ස්ත්‍රීන් අශ්ව වර්ගයේ පුරුෂයින්ට හසුවී විඳින්නට ලැබූ ජීවිතය විඳවන ආකාරය මා සියසින් දැක ඇති වාර අනන්තය.

අද සමාජයේ බොහෝ විවාහ අන්තිම අසාර්ථක වීමට හේතුව ලෙස මා දකින්නේ නොගැළපෙන ස්ත්‍රීන් සමග නොගැළපෙන පුරුෂයින් විවාහ වීමයි.

මා මේ ලිපියෙන් කිසිදු ස්ත්‍රී වර්ගයකට හෝ පුරුෂ වර්ගයකට ගැරැහීමට නොසිතුවෙමු. නමුත් තමා මොන වර්ගයේ අයෙක්ද තමාට ගැළපෙන්නේ මොන වර්ගයේ කෙනෙක්ද යන්න සොයාගැනීමට පහසුවීම වස් මෙය ලියුවෙමි. සමාජයේ ජීවත්වන සෑම විවාහක යුවළක් සතුටෙන්, සමගියෙන් සහජීවනයෙන් ජීවත්වීම දැකීම මාගේ එකම අරමුණයි.

දේහ ලක්ෂණ වලින් මිනිසුන් හඳුනාගන්න

ජ්‍යොතිෂවේදී, දේශබන්දු, ආචාර්ය
මංජුලා පල්ලෙබැද්ද,
පානදුර.
දු. අංකය 0779-282653

advertistmentadvertistment
advertistmentadvertistment