ක‍්‍රීඩාවට බාධාවක් නැහැ ඇෆ්ගන් ක‍්‍රිකට් විධායක නිලධාරී – රට වැසියන් විනාශ කරන්න එපා – රෂීඞ් ඛාන්

1099

ඇෆ්ගනිස්ථාන ජාතිකයන් විනාශ නොකරන ලෙසත් ඝාතනය නොකරන ලෙසත් තමන්ව ව්‍යාකූල තත්ත්වයකට පත් නොකරන ලෙසත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ තුන් ඉරියව් ක‍්‍රීඩක රෂීඞ් ඛාන් ඇෆ්ගනිස්ථානයේ දැන් උදාවී තිබෙන තත්ත්වය පිළිබඳ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී.

මේ වන විට පන්දු 100 තරගාවලියට ක‍්‍රීඩා කරමින් එංගලන්තයේ රැදීසිටින රෂීඞ් ඛාන් එම තරගාවලියේ වැඩිම කඩුලූ ලාභීයා ලෙස පෙරමුණට පැමිණ සිටී. පසු ගිය මාසයේ ඔහු මෙම තලේබාන් ආක‍්‍රමණය ගැන සඳහන් කර සිටියේ ක‍්‍රීඩකයකු ලෙස රට තුළ සිදුවන දෙය දරා ගැනීමට බැරි තරම් දුකක් බවයි. කෙසේ වෙතත් ජනතාවගේ දුක තරමකින් හෝ තුනී කිරීමට ක‍්‍රීඩාවෙන් කළ හැකි සෑම දෙයක්ම සිදු කරන බවත් රෂීඞ් එහිදී ප‍්‍රකාශ කර තිබිණි.

කෙසේ වෙතත් රෂීඞ්ගේ පෙරේදා (16 දා) ට්විටර් පණිවිඩයට පසු දිනම තලේබාන් ආක‍්‍රමණිකයන් විසින් ඇෆ්ගනිස්ථානයේ අගනුවර වන කාබුල් නුවරද සිය ග‍්‍රහනයට නතු කර ගත්තේය.

පන්දු 100 ක‍්‍රිකට් තරගාවලියට සම්බන්ධ වී සිටින හිටපු එංගලන්ත ක‍්‍රිකට් නායක කෙවීන් පීටර්සන් විදෙස් මාධ්‍යයට සඳහන් කර තිබුණේ රෂීඞ් ඛාන් ඇතුළු ක‍්‍රිකට් ක‍්‍රිඩකයන්ගේ පවුල්වල පිරිස් ඇෆ්ගනිස්ථානයෙන් පිටවීමට නොහැකිව ඔවුන් එරට තුළ සිරවී සිටින බවයි.

පකිස්ථාන ක‍්‍රිකට් කණ්ඩායම සමග තරග 3 කින් යුත් එක්දින තරගාවලියක් සඳහා සහභාගි වීම පිණිස ඇෆ්ගනිස්ථාන ක‍්‍රිකට් කණ්ඩායම මේ මස අවසානයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබිණි.

අදාළ තරගාවලිය සැප්තැම්බර් මස 01 වැනිදා සිට 05 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර මේ තත්ත්වය මත එම තරගාවලියද අවිනිශ්චිත මට්ටමකට පත්ව ඇත. කෙසේ වෙතත් ඇෆ්ගනිස්ථාන ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ විධායක නිලධාරි හමීඞ් ශින්වාරි පවසා ඇත්තේ එරට තුළ දැන් සිදුවන දේවල් ක‍්‍රිකට්වලට අහිතකර ලෙස බලනොපානු ඇති බවත් ශ‍්‍රී ලංකාවේ සංචාරයට මෙන්ම ලෝක කුසලාන තරගාවලියට එම කණ්ඩායම සහභාගි වන බවයි.

කුෂාන් සුබසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment