යුරෝපා සංගමය රුසියාවෙන් බොර තෙල් ආනයනය නවතයි

519

යුක්රේනය ආක්‍රමණය කර ඇති රුසියාවෙන් සිය රටවලට බොර තෙල් ඇතුළු එම තෙල් නිෂ්පාදනයන් ආනයනය කිරීම මාස හයක කාලයක් සඳහා තහනම් කිරීමට යුරෝපා සංගමය විසින් තීරණය කර තිබේ.

 රුසියාවෙන් තෙල් ආනයනය කිරීම තහනම් කිරීමට මුල් වූ හේතුන් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ඇති යුරෝපා කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ඩර් ලෙයෙන් පවසා ඇත්තේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට යුක්රේනය ලෝක සිතියමෙන් අතුගා දැමීමට අවශ්‍යව ඇති බවත් එවැනි දෙයකට ඉඩ ලබා නොදීම සඳහා මෙම පියවර ගන්නා බවයි. සිය ඉන්ධන අවශ්‍යතාවන්ගෙන් සියයට 25 ක්ම රුසියාවෙන් සපුරා ගන්නා යුරෝපා සංගමයේ රටවලට මෙම තෙල් ආනයන තහනම දැඩි සේ බලපෑව ද රුසියාව යුක්රේනය ලෝක සිතියමෙන් අතු ගා දැමීමට ක්‍රියා කරමින් සිටීම නිසා එයට එරෙහිව රුසියාවේ ආර්ථිකය, යුද හමුදාව හා තොරතුරු පද්ධතිය ඉලක්ක කරගනිමින් මෙම තෙල් ආනයන තහනම ක්‍රියාත්මක කරන බව යුරෝපා කොමිසමේ සභාපතිනිය සඳහන් කර තිබේ.

 ‘යුක්රේනය විනාශ කිරීමට රුසියානු ජනාධිපතිවරයා දරන උත්සාහය කිසි දින සාර්ථක නොවන අතර විනාශ වී යනු ඇත්තේ ඔහුගේ රටයි. රුසියාවෙන් තෙල් ආනයනය නතර කිරීම හේතුවෙන් ඇති වන පාඩුව මගහැරීම සඳහා යුරෝපා සංගමයට විකල්ප තෙල් සැපයුම් මාර්ග කෙරෙහි අවධානය යොමු කිරීමට සිදු වනු ඇත. එහෙත් මෙසේ රුසියාවෙන් තෙල් ආනයනය කිරීම තහනම් කිරීමේ ක්‍රියාමාර්ගය මගින් ලෝක වෙළෙඳපළේ තෙල් මිලට ඇති විය හැකි බලපෑම අවම කළ යුතුව ඇතැයි’ ඇය වැඩිදුරටත් පවසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment