ඉක්වදෝරයේ බන්ධනාගාරයක ගැටුමකින් 68ක් මරුට

191

බන්ධනාගාරවල සිරකරු කණ්ඩායම් අතර නිතර ගැටුම් හටගන්නා දකුණු ඇමරිකානු රාජ්‍යයක් වන ඉක්වදෝරයේ බන්ධනාගාරයක් තුළ හටගත් නවතම ගැටුමකින් සිරකරුවන් 68 දෙනකු මියගොස් තවත් 25 දෙනකුට පමණ තුවාල සිදුව තිබේ. ඉක්වදෝරයේ ගුවායක්විල් නගරයේ ‘‘ලිටොරල් පෙනිටෙන්ෂරි” බන්ධනාගාරයේ ඉකුත් සිකුරාදා (12දා) දිනයේ හටගත් සිරකරු කණ්ඩායම් කිහිපයක් අතර ගැටුමකදී මෙම අනතුර සිදුව ඇත.

 මෙම ගැටුම මර්දනය කිරීම සඳහා බන්ධනාගාරයේ ගොඩනැගිලි තුළට පැමිණි පොලිස් කණ්ඩායම්වලට එහි තිබී ගැටුම සඳහා යොදා ගත් තුවක්කු, පුපුරන ද්‍රව්‍ය හා බ්ලේඞ්තල තොගයක් සොයා ගැනීමට හැකි වී තිබේ. ඉකුත් සැප්තැම්බර් මාසයේ ගුවායක්විල් නගරයේ පිහිටි බන්ධනාගාරයක හටගත් මේ හා සමාන වූ ගැටුමකින් සිරකරුවන් සිය ගණනක් මිය ගොස් තිබිණි. ඉකුත් සිකුරාදා හටගත් ගැටුමට මුල් වී ඇත්තේ එක්තරා සිරකරුවන් කණ්ඩායමක නායකයෙකු කලින් නිදහස් කිරීම හේතුවෙන් කණ්ඩායම් අතර පැවති ආරවුලකි. පෙරේදා (13දා) දිනයේද බන්ධනාගාර සිරකරු කණ්ඩායම් අතර ගැටුම් ඇවිලී ඇති අතර තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් හා යුද හමුදා නිලධාරීන් සිය ගණනක් බන්ධනාගාරය තුළ ආරක්ෂාව සඳහා යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. සිද්ධිය පිළිබඳව සැළ වීමත් සමගම බන්ධානාගාරයේ සිටින සිරකරුවන්ගේ පවුල්වල ඥාතීන් විශාල පිරිසක් බන්ධනාගාර භූමියෙන් පිටත රැස් වී සිටි බව එම වාර්තා කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment