දේව් ආනන්ද්ගේ ශතකය

66

හින්දි සිනමාවේ එවර්ග්‍රින් සුපස්ටාර් (Evergreen Super star) යන අන්වර්ත නාමයෙන් හඳුන්වන දේව් ආනන්ද්ගේ 100 වන ඡන්ද දිනය පසුගිය සැප්තැම්බර් 26 වැනි දාට යෙදී තිබිණි. දශක හයකට අධික කාලයක් පුරා තම ජනප්‍රියත්වය රැකගත් දේව් ආනන්ද්, 2011 දී දිවි සිනමාවෙන් සමුගෙන ගියත් ඔහුගේ 100 වන ජන්ම දිනය පවා සිනමා ලෝලීන්ට අමතක නොවීමෙන් පැහැදිලි වන්නේ ඔහු තවමත් සිනමා අම්බරයෙන් බැස නොගිය සිනමා තාරකාවක් වන බවයි.

දේව් ආනන්ද් වර්තමාන පාකිස්තානයට අයත් ලාහෝර් ප්‍රාන්තයේ ගුදර්ස් පුනර් හිදී ජන්ම ලාභය ලබා ඇති අතර, ඔහුගේ උප්පැන්න සහතිකයේ සඳහන් නාමය වන්නේ ධරම්දේව් පිශොර්මාල් ආනන්ද්ය. ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ උපාධිධාරියකු වන ඔහු නව යොවුන් වියේදීම සිනමා නළුවකු වීමේ අපේක්ෂාවෙන් බොම්බාය වෙත සංක්‍රමණය වී ඇත. නළුවකු වීමේ චේතනාවෙන් සංක්‍රමණය වූ තරුණයන්ගෙන් කිසිදිනෙක තොර නොවන බොම්බායේ දේව්ට පළමුවෙන්ම වෙනත් රැකියාවක නිරත වීමට සිදුවී ඇත. නමුත් ඉතා කෙටි කාලයක් තුළදීම සිනමා සමාගමක ප්‍රධානියකුගේ අවධානයට ලක්විම නිසා ඔහුව 1946 දී නිෂ්පාදනය වූ ‘හම් එක් හේ’ සිනමා පටයේ ප්‍රධාන නළුවා ලෙස රඟමින් තම සිහිනය සැබෑ කර ගැනීමට අවස්ථාව උදා වී ඇත. එතැන් සිට 2011 වසරේදී තිරගත වූ “චාජ් ශිට්” සිනමා පටය දක්වා ඔහු සිනමාපට 116 ක පමණ රඟපා ඇති අතර ඒ සැම සිනමා පටයකම ඔහු රඟපා ඇත්තේ ප්‍රධාන චරිතයයි. තම පුත්‍රයා වූ සුනිල් ආනන්ද් සිනමාවට හඳුන්වාදීම සඳහා දේව් විසින් අධ්‍යක්ෂණය කළ “ආනන්ද් ධර් ආනන්ද්” සිනමා පටයේ ද ප්‍රධාන චරිතය රඟපා ඇත්තේ ඔහු විසිනි. ශාරුක් ඛාන් විසින් 2007 වසරෙදී නිෂ්පාදනය කරන ලද ‘ඕම් ශාන්ති ඕම්’ සිනමා පටයේ නළු නිළියන් පෙනී සිටින දර්ශනයක රඟපෑමට එක්වන ලෙස, ශාරුක් විසින් දේව් ආනන්ද්ට ආරාධනා කර ඇති අතර, තමන් චිත්‍රපටවල ප්‍රධාන චරිතය පමණක් රඟපාන බව ප්‍රකාශ කරමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

දීලීප් කුමාර් සහ රාජ් කපූර් දේව් ආනන්ද්ගේ සමකාලීන නළුවන්ය. එසේ වුව ද ඔවුන් තිදෙනාට වෙනස් වූ අනන්‍යතාවන් ඇත. දීලීප් කුමාර් හින්දි සිනමාවේ ශෝකාන්ත නළුවා ලෙස හඳුන්වන අතර රාජ් කපූර් හඳුන්වන්නේ ප්‍රහසන නළුවකු ලෙසය. ඒ අතර දේව් ආනන්ද් හඳුන්වන්නේ හින්දි සිනමාවේ රොමෑන්ටික් (Romantic) එසෙත් නොමැති නම් චමත්කාරජනක ප්‍රේමණිය නළුවා ලෙසය. සමහර සිනමා ලේඛකයන් ඔහු හඳුන්වා ඇත්තේ හින්දි සිනමාවේ සදාතනික පෙම්වතා ලෙසය. එසේ වුවත් දේව් පෙම්වතාගේ චරිතය රඟපාන අතරම ජුවෙල් තීෆ්, එවිල් විදීන් වැනි චිත්‍රපටවල ඊට වෙනස් වූ චරිතයන්ට ද පණපොවා ඇත. ටැක්සි ඩ්‍රයිවර්, කාලා, පාති, ගයිඩ්, හම් දෝ තෝ, ජුවෙල් තීෆ්, ජොනී මෙරා හම්, තෙරේ ගර්කේ සාමනේ, ජබ් ජයාර් කිසිසේ හොතාහේ, ඇසිල් බිසිල්, හරේ රාමා හරේ ක්‍රිෂ්ණා ඔහු රඟපෑ චිත්‍රපට අතර අතිශයින්ම ජනප්‍රිය වූ චිත්‍රපට කිහිපයක් ලෙස සඳහන් කළ හැක.

එම චිත්‍රපටවල කළ රඟපෑම් මෙන්ම උපතින්ම දයාදයක් සේ ලැබුණු කඩවසම් රූපකාය මෙන්ම විවිධ ඇඳුම් මෝස්තරවලින් සැරසි සිටීමට ඔහු දැක්වූ උනන්දුව ද ඔහුගේ ජනප්‍රියත්වයට මෙන්ම එම ජනප්‍රියත්වය දිගු කාලයක් පුරා ආරක්ෂා වී පැවතීමට හේතු වී ඇති බව පැහැදිලිය. එමෙන්ම ඔහු රඟපෑ චිත්‍රපටවල අඩංගු වූ ගීතමය ජවනිකා ද ඔහුගේ අතිශය ජනප්‍රියත්වයට හේතු වී ඇති බව පැහැදිලිය. මෙරට තුළ ද ජනප්‍රිය වී ඇති ඔහු පෙනී සිටිය ගීතමය ජවනිකා ලෙස සඳහන් කිරීමේදී පැහැදිලි ලෙසම සඳහන් කළ හැක්කේ ඊට තරගයක් දිය හැක්කේ රාජෙශ් ඛන්නාට පමණක් බවයි. හේ අපනා දිල් තුරා වාරා, සෝ සාලේ පැහැලේ, (ජබ් ජයාර් කිසිසේ හෝතා හේ), දිල්සේ ජයාරේ පාර් පුනා (තෙරේ ගර්කේ සාමනේ), මුජේ ජීවන්සේ සොරිකේ (ඇසිල් බිසිල්), කංචිණේ කංචිරේ (හරේ රාමා හරේ ක්‍රිෂ්ණා), කොයා කොයා චා යන ගීත මෙරට තුළදී ද අතිශයින්ම ජනප්‍රිය වී ඇති ගීත ලෙස සඳහන් කළ හැක. දේව් 2011 දෙසැම්බර් 03 වන දින ලන්ඩනයේ හෝටල් කාමරයක් තුළදී නින්දේදීම ඇති වූ හෘදයාබාධයකින් මියගියත් අදත් ඔහු ඉන්දියානු රසිකයන් තුළ අමරණීයත්වයට පත් වි ඇත්තේ නළුවන් කිහිපදෙනකුම විසින්ම ප්‍රසංගවලදී දේව් අනුකරණය කරමින්, ඔහුගේ ඇඳුම් මොස්තරවලින් සැරසි ඉදිරිපත් කරන රඟපෑම් හේතුවෙනි.

දේව් ආනන්ද්ගේ සිනමා දිවිය නළුකමට පමණක් සීමා වී නැත. චිත්‍රපට නිෂ්පාදනය කිරීමේ චේතනාවෙන් ඔහු 1949 වසරෙදීම “නාව්කේතන්” සිනමා සමාගම පිහිටුවා ඇත්තේ ඒ සඳහා ය. ඔහු රඟපෑ අතිශයින්ම ජනප්‍රිය වූ ටැක්සි ඩ්‍රයිවර්, හරේ රාමා හරේ ක්‍රිෂ්ණා වැනි චිත්‍රපට නිෂ්පාදනය කර ඇත්තේ එම සමාගම විසිනි. ටැක්සි ඩ්‍රයිවර් චිත්‍රපටය ඔහුගේ එක් සහෝදරයකු වන චෙනන් ආනන්ද් විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර අනෙක් චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ දේව් ආනන්ද විසින්මය. දේව් රඟපෑ ගයිඩ්, ජොන් මෙරා තාම් ඇතුළු චිත්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කර ඇත්තේ ඔහුගේ තවත් සහෝදරයකු වන විජය ආනන්ද් විසිනි.

එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment