‘කාක් පාක්’ රෙසිඩන්සියේ බඹර ගේම!

87

එක්තරා වනාන්තරයෙක් මධ්‍යයෙන් විශාල නදියක් ගලා බැස්සා. මේ වනාන්තරයේ ජීවත් වූ සියලු සතා සීපාවන්ගේ ජල අවශ්‍යතාවන් ඉටු කර දුන්නේ කිසිකලෙකත් නොසිඳෙන මහා ඉස්කාගාරයක් බඳු වූ මේ නදී තොමෝ යි. හිරු බැස යන හැන්දෑවෙක ගංතෙරට රැස්වෙන කුරුලු කොබෙයියන් නගන කිචි බිචිය හරියට ඔය දවල් එකොළහට විතර ලෝකයම අතැඹුලක් සේ ගත් සුරඟනන් බඳු වූ ටීවී ප්‍රසන්ටර්ලා නගන කිචිබිචිය වගේ බොක්කටම වදිනවා. සමහර කුරුලු කොබෙයියන් උන්ට පාක් කරන්න ගහක් නැතිව කැලෑ පාළුවන් කපා ගෙන ගිය ගස් කොටවල වාඩි වෙලා කිචිබිචි ගාන්නේ හරියට ෆේස්බුක් එකේ ජෝඩු ජෝඩු එකතු වෙලා චැට් කරනවා වගේ.

වනාන්තරයේ මධ්‍යට කිට්ටුව තාමත් කැලෑ පාළුවන්ගෙන් බේරුන විශාල කුඹුක් ගසක් තිබුණා. හතර අතට අතු විහිදී ගිය මේ කුඹුක හරියටම කිව්වොත් අර නෙලුම් කුලුන වගේම තමයි. බඩට බස්සා ගන්නා පලයක් නොහැදුනත් මේක මුළු වනාන්තරයේම ඉන්න කුරුලු කොබෙයියෝ තමන්ගේ නයිට් පාර්ක් එක හැටියට පාවිච්චි කළා. ඔය ටවුමේ එක එක රෙසිඩන්සීස් කියලා කියන ඒව, සිද්ධවෙන ජල්තර ගේම් දිහා බලපුවාම මේක නියම නීතියක් රෙගුලාසියක් විනයක් ඇතුව පාලනය වෙන තැනක්. වැඩිපුරම මේ කුඹුකේ පාක් කෙරුවේ කපුටන් නිසා සමහර එවුන් මේකට ‘කාක් පාක්’ කියලා කිව්වා.

මේ විදිහට විනයක් නීතියක් ඇතුව පැවතීම ටික කාලයක් යන කොට චේන්ජ් වුණා. දවල් වරුවේ හතර දිග් භාගයේ කරක් ගහපු එවුන් ඒ පැති වල තියෙන නස් කූනි සිරිත් විරිත් මේ කාක් පාක් එකටත් අරගෙන ඇවිත් මේක වන කරලා. වැඩේ සීරියස් වෙන්න කලිං මේ සිටුවේෂන් එකට ඉන්ජෙක්ෂන් පාරක් නොදුන්නොත් බාල පරම්පරාවත් මේ ඒරියල්ස් එකත් හබක්. ෳ ඕන්න දැන් තටු වකුටු කරගෙන ඉස්සර වගේ අහසින් යන්න බැරි නාකි පොරවල් ටිකක් එකතු වෙලා කාක් පාක් රෙසිඩන්සියේ උන්ගේ විනය පාලනය කරන්නටත් පාක් කරන උන්ගේ ආරක්ෂාව සඳහාත් සිකියුරිටි කාරයෙක් බඳවා ගන්නට තීරණය කළා. හරියට ඔය දේශපාලන පක්ෂ වල මධ්‍යම කාරක සභා රැස්වීමක වගේ කෂිලි බිෂිලි ජල් බරි මැද්දේ සික්කෙක් රෙක්රූට් කරන යෝජනාවක් සම්මත වුණා.

මේ තනතුරට පත් කර ගත්තේ කපුටෙක් ! රියල් පොරක්. හරිම ස්ට්‍රික්ට්. වැනෙන්නේ නෑ. ඇනෙන්නේ නෑ. වේලාවට වැඩ ! හමුදාවේ ඉඳලා පැන්ෂන් ගිය බඩුවක් ! මිනිහා ආවට පස්සේ හරියට රෑ දහය වෙනකොට ඔක්කොම සයිලන්ස් එකේ නිදාගන්න ඕනේ… රෑ දහය දොළහ වෙනකං එහෙන් මෙහෙන් මල් පැණි ගෙනල්ලා පාටි බජව් බෑ. පාන්දර හතර වෙනකොට සික්කා ‘කාක්’ ගානවා. ඔක්කොම නැගිටින්න ඕනේ… යන දිහාවක යන්න පුළුවන්… රෙසිඩන්සියේ කාට හරි කරදරයක් කෂිලියක් ආවොත්ි‘පට්’ගාන කොට මෑන්ස් මැදිහත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ! හැමදාම රෑට මුළු කුඹුක පුරාම සර්ච් පාරක් දානවා ! පාර්ක් කරලා ඉන්න එවුන්ගේ සැපදුක් විමසනවා. අසීරු අමාරුකම් වලට උපදෙස් දෙනවා !

‘කොහොමද සැප සනීප?’

‘නියමයි’

‘කොහොමද ඉන්න බ්‍රාන්ච් එක’

‘විශිෂ්ටයි සර්’ පාර්ක් කරලා ඉන්න එවුන් උත්තර දෙනවා.

‘කොහොමද සැප පහසුව’

‘අති විශිෂ්ටයි සර්’ වැඩිකල් නොගොසින්ම සික්කා කාක් පාර්ක් එකේ පොපියුලර්ම පොර බවට පත්වුනා. හැම එකාගේම ඕනෑ කුණු ගොඩක් අවුස්සන එක මූගේ සිරිත නිසා මේ තනතුරට බඳවා ගෙන සිටින්නේ නියමම සුදුස්සා බව සික්කාගේ නවෝත්පාදක වැඩවලින් හැමෝම තේරුම් ගත්තා.

මෙහෙම ටික දවසක් ගෙවිලා යනකොට කුඹුකට මාර හෙනයක් පාත් වෙන්න ආවා. ඒ කිව්වේ පළාත් සභා මන්ත්‍රී කෙනෙකුයි මෑන්ස් ගේ හෙංචයියලා කට්ටියකුයි ඇවිත් කුඹුකට ගේමක් දෙන්න ප්ලෑන් කරනවා.

‘මට පේන්නේ මේක අතින් කයිට් බිස්නස් එකක් වෙයි වගේ බං… හම්බවෙන ගාන කී දෙනෙකුට බෙදන්නද වනජීවි එකට, දිසාපති කාර්යාලයට, පොලීසියට… මං කියන්නද මේ ලයින් එකේ තියෙන ඔක්කොම ගස් ටිකට දෙමු ගේම ! අල්ල ලෙව කන්න ගේම් දෙන එකේ තේරුම මොකක්ද? මේක ආරංචි වුන කූඹුක් වාසි හැම එකාම තක් බීර් වෙලා මොකද කරන්නේ කියලා ගැහෙන්න වුණා. සමහර එවුන් වෙන නයිට් පාර්ක් එකකට යන්න ඩිස්කස් කළා.

‘උඹලා එකෙක්වත් බය වෙන්න වත් මෙහෙන් යන්නවත් ඕනෑ නෑ… ඒ ඔක්කොම මං බලා ගන්නං’ මේ කතාව ඇසූ කපුටු සික්කා කිව්වා

‘අපිට පුළුවන් අපේ සම්පත් වලින්ම මේ කුඹුකට ගේම දෙන්න එන එවුන් පරලොව යවන්න උඹලා බයනැතුව හිටපල්ලා’

‘මෙසේ කියූ කපුටු සික්කා කුඹුක මුදුනට මං ගැච්චුවා ! උඩම බ්‍රාන්ච් එකේ තිබුණ බඹර ගේම් කොම්පැණියේ ලොක්කා මුණ ගැසුණා.

‘මලේ උඹලෑ බොස් ඉන්නවද’

‘පොඩ්ඩ්ක් ඉන්න… වොෂ් රූම් එකට ගියා දැන් එයි’

‘ටික වේලාවකින් බොසා නොහොත් රජ බඹරා වොෂ් රූම් එකෙන් එලියට ආවා ! සික්කා ෆුල් ෆ්‍රෙඩා ලෙවල් එකෙන් බඹර ලොක්කාට ටෝක් එක දුන්නා

‘මචාං උඹනේ මෙතන බොසා මට උඹෙන් පොඩි සපෝට් එකක් ඕනේ… ඇත්තම කියනවා නම් මේක උඹලාටත් වැදගත් ! ඒ කියන්නේ පළාත් සභා මන්ත්‍රී කෙනෙකුයි උගේ හෙංචයියලයි එකතුවෙලා මේ කූඹුකට ගේම දෙන්න හදනවා ! කෙරෙන්න ඕනෑ මෙච්චරයි… උන් මෙහෙට ආපු ගමන් මම පහළ බ්‍රාන්ච් එකේ ඉඳලා ‘කාක්’ ගානවා උඹට තියෙන්නේ මචං ස්ලිං ගාන කොට ප්ලැටුන් එක එවන්න !! පට් පට් ගලා ගේම දුන්නා මාරු වුණා !’

සික්කා ගේම් ප්ලෑන් එක බඹර කොම්පැනියේ සී. ඊ. ඕ. ට විස්තර කෙරුවා !

‘හරි මල්ලි… වැඩේ වුණා කියලා හිතා ගනිං’

ඕන්න සුමානයකට විතර පස්සේ පළාත් සභා මන්ත්‍රී මෑන්ස්ගේ ගැන්සියත් අරගෙන කුඹුකට ගේම දෙන්න ආවා ! කපුටු සික්කා ‘කාක්’ ගෑවා.

වන් මිනිට් ! බඹර ප්ලැටූන් එක ස්ලිං ගාන කොට සීන් එකට ඇන්ටර් වුණා

බඹරෙක් ආවා නිරිත දිගේ යා තවකෙක් ආවා දකුණු දිගේයා… හතර අතින් රෑනක් ආවා… දුන්නා ඇටෑක් එක කෝමද දන්නවද ෆුල් සීරියල් ෂෝ එකක් වගේ !

පළාත් සභා මන්ත්‍රී ඇතුළු හෙංචයියලා ගැන්සිය තත්පරෙන් කුඹුක යට වැටිලා ඉන්නවා පෙනුනා. මේ ආරංචියට බලන්න ආපු හුඟ දෙනෙක් නං කිව්වේ ‘මුං ඔක්කොම සමාදානයෙන් සැතපිලා’ කියලා.

ආදර්ශය : කුඹක් ගස්වලට ගේම් දෙන්න යන පළාත් සභා මන්ත්‍රීලාට බඹර ඇටෑක්වලට මුහුණ දීමට සිදුවේ

සරත්චන්ද්‍ර පත්තඩුවන

advertistmentadvertistment
advertistmentadvertistment