ආර්ථික පීඩාව ඉවසන්න බැරිව දෙදරු පියා දුම්රියට පැන දිවිනසා ගනී

1369

නිවස සින්න වුණා: ණය බර දරා ගන්න බැහැ

ජීවත්වූ නිවහන සින්න වීමත් ගෙවිය යුතු ණය සම්භාරයත් නිසාවෙන් දෙදරු පියකු දුම්රියට පැන දිවිනසා ගැනීමේ අනුවේදනීය පුවතක් නිට්ටඹුව පින්නගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ නිට්ටඹුව පින්නගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි හතළිස් එක් හැවිරිදි දෙදරු පියෙකි.

ආර්ථික පීඩාව ඉවසන්න බැරිව දෙදරු පියා දුම්රියට පැන දිවිනසා ගනී

ගම්පහ සහ දාරළුව දුම්රිය ස්ථානයන් අතර දී ඉකුත් 22 වැනිදා පෙරවරු 9.10 ට පමණ රඹුක්කන සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියට පැන ඔහු සියදිවි නසාගෙන ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.

දුම්රියේ ගැටීමෙන් හිස වෙන් වී තිබූ අතර මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය අනතුර සිදුවූ දුම්රියෙන් ම ගම්පහ දුම්රිය ස්ථානය වෙත ගෙනැවිත් තිබුණි.

මියගිය පුද්ගලයා විසින් ඔහුගේ බිරිඳට සහ දරුවන් දෙදෙනාට මෙන්ම මිතුරන්ට ද ලියා තැබූ ලිපියක් ද මියගිය පුද්ගලයාගේ මුදල් පසුම්බියේ තිබී පොලිසිය සොයා ගැනිණි.

‘ඔයා මාත් එක්ක අවුරුදු දාහතක් ම හැම දුක සැපක්ම විඳදරා ගත්ත ගැහැනියක්. ඒ දරා ගැනීම ගැන මම අදටත් පුදුම වෙනවා. ඔයාට මේකත් ඒ වගේම දරාගන්න පුළුවන් වෙයි. සමාවෙන්න මේ මගේ ගොං මෝඩ තීරණයට. මට තවත් ඉවසන්න බැහැ. මං දන්න එකම දෙයක් තියෙනව. ඒ මං ඔයාට ගොඩක් ආදරෙයි.’ යනුවෙන් මියගිය පුද්ගලයා ඔහුගේ බිරිඳට එම ලිපියේ ලියා තිබිණි.

සිය දියණියට ද එම ලිපියේ ම මෙවැනි සටහනක් ද ලියා ඇත.

ආදරණීය සෙසදි

‘ඔයාට ගොඩක් බැන්නට මං ඔයාට ගොඩක් ආදරෙයි. අම්මවයි මල්ලිවයි බලාගන්න. හොඳට ඉගෙන ගන්න. අම්මට කවදාවත් බොරුවක් කරන්න එපා. එයාට තවත් දරාගන්න හයියක් නෑ. මට වෛර කරන්න එපා කියලා කියන්න බෑ. ඒත් පුළුවන් නම් මට සමාවෙන්න.’

මියගිය පුද්ගලයා සිය බිරිඳ සහ දරු දෙදෙනා සමඟ පදිංචිව සිටි නිවස පෞද්ගලික ආයතනයකට උගස් තබා තිබූ බවත් පසුව එම නිවස සහ ඉඩම එම ආයතනයට සින්න වීම හේතුවෙන් ඔවුන්ට එම නිවසෙන් යෑමට සිදුව ඇති බවත් මියගිය පුද්ගලයාගේ බිරිඳ පොලිසියට ලබාදුන් ප්‍රකාශයේ සඳහන් ව ඇත.

‘දරු දෙදෙනා සමග වස කාල අපි ඔක්කොම මැරෙමු කියා මහත්තයා මාත් එක්ක කිව්වා. ඒ වෙලාවේ මම කිව්වා දරුවන් දෙදෙනාට පව්. ඒ නිසා එහෙම කරන්න බෑ කියලා යනුවෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳ පොලිසියට ලබාදුන් ප්‍රකාශයේ සඳහන්ව ඇත.

සිය නිවස තමාට අහිමි වීමත් විශාල මුදලක් තවත් සමාගමකට ණය වීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් සිය ජීවිකාව තවදුරටත් ගෙන යෑමට නොහැකි වීම මත මෙම දෙදරු පියා දුම්රියට පැන සියදිවි හානි කර ගන්නට ඇතැයි මූලික පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.
වේයන්ගොඩ – ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment