‘හඳයාගේ’ කොන්ත්‍රාත්තුවට හෝමාගමදී ‘චමිල කොටාත්’ ඝාතනය කරලා – හොරම්පැල්ල දී වෙඩි කෑවේ අපරාධ රැසක වෙඩික්කරුවෙක්

963

පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් ඊයේ (20 දා) අලුයම මිනුවන්ගොඩ හොරම්පැල්ල ප්‍රදේශයේ දී එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පාතාල ලෝකයේ ප්‍රබලයකු ඝාතනයට ලක්වී ඇත.

විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සහ පාතාල ප්‍රබලයා අතර වෙඩි හුවමාරුවක් ද සිදුවී ඇති අතර විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු ද එහිදී තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මෙම ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ මිනිස් ඝාතන කප්පම් ගැනීම් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බව කියන 29 හැවිරිදි කසුන් ලක්‍ෂිත නමැති අයෙකි. මොහු සතුව තිබී ටී. 56 ගිනි අවියක් ද විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත. පාතාල ප්‍රබලයා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ප්‍රහාර එල්ල කර ඇත්තේ මෙම අවියෙන් බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

ඝාතනයට ලක්වූ පාතාල ප්‍රබලයා නාවික හමුදාවේ සේවය කර ඉන් පලා ගිය අයකු වන අතර මොහු නාවික හමුදාවේ දක්‍ෂ වෙඩික්කරුවකු බවද පොලිසිය පවසයි.

මෙම පාතාල ප්‍රබලයා මෙරට පාතාලයේ ප්‍රබල නායකයෙක් බව කියන ගණේමුල්ලේ සංජීව හීනටියන, මහේෂ් ඩුබායි වරුණ නමැති අය සමග සමීපව කටයුතු කළ අයෙකි.

ඉකුත් ජුනි මස 20 වැනිදා හෝමාගමදී ‘චමිල කොටා’ නමැති අයට ටී 56 අවියෙන් වෙඩි තබා ඝාතනය කර ඇත්තේ කසුන් ලක්‍ෂිත විසින් බව පොලිසිය පවසයි. පාතාල ලෝකයේ ‘හඳයා’ නමැති පුද්ගලයා ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය සිදුකර ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

කසුන් ලක්‍ෂිත නමැති මෙම පාතාල ප්‍රබලයා මිනුවන්ගොඩ ප්‍රදේශයේ කිසියම් අපරාධයක් කිරීමට සැඟවී සිටින බවට ලැබුණු තොරතුරක් මත විශේෂ කාර්ය බළකායේ විශේෂ මෙහෙයුම් ඒකක (1) නිලධාරින් ඊයේ අලුයම මිනුවන්ගොඩ හොරම්පැල්ල ප්‍රදේශයේ නිවසක් වටලා තිබේ. ඒ අවස්ථාවේ නිවසේ සැඟවී සිටි පාතාල ප්‍රබලයා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට වෙඩි ප්‍රහාර එල්ල කර ඇත.

එහිදී විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් පාතාල ප්‍රබලයා මරුමුවට පත්විය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර මහතාගේ මෙහෙය වීමෙන් ප්‍රධාන පොලිස් පරීක්‍ෂක විජේරත්න ඇතුළු නිලධාරීහු මෙහෙයුම ක්‍රියාත්මක කළහ.

හේමන්ත රන්දුනු, ප්‍රභාත් විතාන, ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment