සිසුවාට අතවර කළ ටියුෂන් ගුරා හිරේ යවන තීන්දුව අභියාචනාධිකරණයෙනුත් තහවුරු කරයි

978

ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම සඳහා සිය උපකාරක පන්තියට පැමිණි දස හැවිරිදි සිසුවකුට අවස්ථා තුනකදී බරපතල ලිංගික අතවර කිරීමේ චෝදනා තුනකට වරදකරු කරමින් ඇඹිලිපිටිය මහාධිකරණය විසින් ඉංග්‍රීසි අමතර පන්ති ගුරුවරයකුට නියම කොට තිබූ බරපතල වැඩසහිත වසර 12 ක සිරදඬුවම හා රුපියල් ලක්‍ෂ දෙකක වන්දි ගෙවීමේ තීන්දුව අභියාචනාධිකරණය තහවුරු කරමින් තීන්දුවක් නිකුත් කළේය.

2022 වසරේදී ඇඹිලිපිටිය මහාධිකරණය විසින් නියම කළ එකී දඬුවම් නියෝගය බලරහිත කර තමන් නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකාර අමතර පන්ති ගුරුවරයා විසින් ගොනුකර තිබූ අභියාචනා පෙත්සම විභාග කළ සම්පත් අබේකෝන් හා ප්‍රභාකරන් කුමාරරත්නම් යන විනිසුරු මඬුල්ල විත්තිකාර අභියාචකගේ පෙත්සමේ ඉල්ලීම් ප්‍රතික්‍ෂේප කරමින් එම තීන්දුව නිකුත් කළේය. විත්තිකාර අමතර පන්ති ගුරුවරයා 2010 වසරේදී එම සිසුවා ඔහුගේ කාර්යාලය තුළට කැඳවා අවස්ථා තුනකදී එලෙස ලිංගික අතවර කර තිබූ නමුත් ඒ බව සිය දෙමාපිය වැඩිහිටියන්ට ප්‍රකාශ කර නොතිබූ සිසුවා එම පන්තියට යෑම ප්‍රතික්‍ෂේප කර තිබිණි. මේ අතරතුරදී සමීපතමයන්ගෙන් සිදුවන ලිංගික අතවරවලින් ආරක්‍ෂා වන ආකාරය පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඔහු ඉගෙනුම ලැබූ පාසලේ පැවැත්වීමෙන් අනතුරුව ඒ පිළිබඳ අවබෝධයක් ලබාගත් සිසුවා තමන්ට සිදුවූ ලිංගික අතවරය පිළිබඳ පන්ති භාර ගුරුවරියට පවසා ඇති බවත් පාසල් ගුරු භවතුන් ඒ පිළිබඳ පොලිසියට පැමිණිලි කර ඇති බවත් පැමිණිල්ලෙන් කියැවිණි.

අමතර පන්තියේදී සිසුවකුගේ මුදල් කැටයක තිබූ මුදලක් අතුරුදන්වීම නිසා එකී සිසුවා පන්ති කාමරයට ගෙන්වා ඇඳ සිටි කලිසම පහත් කර පරීක්‍ෂා කිරීම නිසා තමන්ට එරෙහිව අසත්‍ය චෝදනාවක් නඟා ඇතැයි විත්තිකාර ගුරුවරයා ඉදිරිපත් කළ විත්ති වාචකය ප්‍රතික්‍ෂේප කළ විනිසුරු මඬුල්ල පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන එම පාසලේ නොපැවැත් වූයේ නම් එම අපරාධය සදහටම යටපත් වීමට තිබූ බවද සිය තීන්දුව නිකුත් කරමින් පෙන්වා දුන්නේය.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ උදාර කරුණාරත්න මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment