බදුල්ලේ මාර්ගවලින් මිලියන 24ක් ගසාකෑ කොන්ත්‍රාත්කරුට අත්හිටුවූ සිර දඬුවම්

56

බදුල්ලේ වතුකර ප්‍රදේශවල පිහිටි වතු මාර්ග සංවර්ධනය කිරීමට යටිතල පහසුකම් අමාත්‍යාංශය සමග ගිවිසුම් ගතවී රුපියල් මිලියන 53.7ක මුදලක් ලබාගෙන ඉන් රුපියල් මිලියන 24කට ආසන්න මුදලක් වංචා කිරීමේ චෝදනාවට වරද පිළිගත් මාර්ග සංවර්ධන කොන්ත්‍රාත්කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (04දා) රුපියල් පන් ලක්‍ෂ පනස් දහසක දඩයක් හා වසර 15කට අත්හිටුවූ මාස 27ක සිරදඬුවමක් නියම කළේය.

එයට අමතරව එලෙස වංචා කළේ යැයි කියන රුපියල් දෙකෝටි හතළිස් එක් ලක්‍ෂයකට අධික මුදල වන්දියක් ලෙස රජයට ගෙවීමට ද විත්තිකරුට නියම කළ විනිසුරුවරයා එකී වන්දිය නොගෙවන්නේ නම් වසර දෙකක අමතර සිරදඬුවම් ලබාදීමට ද නියෝග කළේය.

එකී දඩ හා වන්දි මුදල ගෙවා අවසන් වනතුරු අනුර කුමාර ජයසේකර නමැති එම විත්තිකරුට විදේශ ගමන් වැළැක්වීමේ නියෝගයක් ද නිකුත් කළ විනිසුරුවරයා එම නියෝගය වහාම ආගමන විගමන පාලකවරයා වෙත යැවීමට ද නියෝග කළේය.

2006.06.01 හා 2006.09.30 අතර කාලයේදී සිදුවී ඇතැයි කියන එම වංචාව සම්බන්ධයෙන් එම විත්තිකරු ඇතුළු විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් 2018 වසරේදී කොළඹ මහාධිකරණය හමුවේදී එම නඩුව පවරා තිබිණි.

එකී නඩුව පැවරීමෙන් පසුව එලෙස රජයට සිදුවී ඇති අලාභය වන රුපියල් මිලියන 53.7කට ආසන්න මුදලින් රුපියල් තුන්කෝටි හතළිස් නව ලක්‍ෂයකට ආසන්න මුදලක් ආපසු ගෙවා ඇති බවත් ඉතුරු මුදල ද වසරකට ලක්‍ෂ 25 බැගින් වූ වාරිකවලින් ගෙවා නිම කිරීමට පොරොන්දු වන බවත් කියමින් එම විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හේෂාන් ද සිල්වා මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරුවරයා නඩු විභාගය ආරම්භයේදීම අධිකරණයේ වටිනා කාලය මිඩංගු නොකර වරද පිළිගැනීම, වංචා කළ මුදලින් අඩකටත් වඩා මුදලක් නැවත ගෙවා තිබීම යන කරුණු සලකා එලෙස ලිහිල් දඬුවම් නියම කළේය. දඩ ගෙවීම සඳහා එම නඩුව අද (05දා) යළි කැඳවීමට ද නියම කළ විනිසුරුවරයා විත්තිකරු රුපියල් ලක්‍ෂ 50ක ඇප බැඳුම්කරයක් මත මුදාහැරීමට ද නියම කළේය. එම නඩුවේ දෙවන විත්තිකරු නඩු කටයුත්තෙන් මුදාහැරීමට ද විනිසුරුවරයා නියෝග කළේය. රජයේ අධිනීතිඥ චතුරි විජේසූරිය මෙනෙවිය පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතර දෙවන චූදිත වෙනුවෙන් නීතිඥ දිනේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment