වාසනා දුවේ දෙපා අහිමි වුවත් නුඹ රටටම වාසනාවන්….

2352

පියාට මවට රැකියාවක් නෑ… ඉන්න හරියට නිවසක් නෑ… ඒත්… බාධක රැසක් මැද සාපෙළ කඩඉම ඉහළින්ම ජයගත්
දියණියගේ දිවි සරු කරන්න අපට කවුරුන් හෝ නිවසක් තනා දෙනවා නම් ලොකු පිනක් – පියා කියයි

ගාල්ල උඩුගම අධ්‍යාපන කලාපයේ ගෝණදෙනිය කනිෂ්ඨ විද්‍යාලයේ ඩබ්ලිව්. එම්. රුවනි වාසනා දියණිය උපතින්ම දෙපා අහිමි දියණියකි. ඇය මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දී විශිෂ්ට සම්මාන හතක් සමග (ඒ 7 බී 1 සී 1) විභාගය ඉතා ඉහළින් සමත්වී ඇත.

රුවනි වාසනාගේ මවට හෝ පියාට රැකියාවක් නොමැත. ඇයගේ නිවස පිහිටා තිබෙන්නේ උඩුගම දවුල්හේන ප්‍රදේශයේ ඉතා දුෂ්කර මාර්ගයකය. තම දියණියගේ අධ්‍යාපන කටයුතු කර ගැනීගැනීම සඳහා නිවසක් සාදා ගැනීමට ත්‍රීවීලරයක් හෝ හැකි ප්‍රදේශයක ඉඩම් කොටසක් පරිත්‍යාගශීලියකු ලබා දෙන්නේ නම් එය මහඟු‍ පිනක් බව ඇයගේ පියා ඩබ්ලිව්.එම්. තිලක් ප්‍රදීප් කුමාර මහතා පවසයි.

රුවනි වාසනා දියණිය අප සමග මෙසේ කීවාය. “ මට කොච්චර බාධක තිබුණත් මම මහන්සි වෙලා වැඩ කළා. කරදර අමතක කරලා වැඩ කරන්න. එතකොට හැම දෙනාටම ජයග්‍රහනය කරන්න පුලු‍වන්. ඉස්කෝලේ ලොකු සර් වගේම ගුරුවරු මට හුඟාක් උදව් කළා. යාලු‍වෝ මගේ අයියලා මල්ලිලා වගේ මට උදව් කළා.

“මෙවර විභාගයෙන් අපේ පාසල ඉතා හොඳ ප්‍රතිඵල පෙන්වා තිබෙනවා. ඒ අතර මේ දියණියගේ ප්‍රතිඵලය ඉතාම වටිනවා. මෙතරම් බාධක තිබුණ්ත් ඒ දියණිය අන් අයට ආදර්ශයක් දෙමින් විභාගය ඉතා ඉහළින් සමත්ව අපේ පාසලට ගෞරවයක් ලබා දී තිබෙනවා යැයි විදුහල්පති යසරත්න එන්. ගමගේ මහතා පැවසීය.
හිනිදුම රවීන්ද්‍ර චන්ද්‍රලාල්, ලලිත් චාමින්ද සහ එස්.කේ. කලු‍ආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment