ගුවන්තොටුපළ පොලිසිය ඇතුළේ මාස්ටර් ගේමක් – වෙස්ගත්තෝ පොලිසිය අන්දවා මිනීමරුවා මුදාගෙන – හරක්කටාගේ නියෝගයෙන් ඝාතන 19ක් කරලා

574

ගුවන්තොටුපළ පොලිසියේ ඕඅයිසී ඇතුළු 3කට ඇප: සැරයන් රිමාන්ඩ්

කටුනායක ගුවන්තොටුපළ පොලිසිය භාරයේ සිටියදී ඉකුත් 24 වැනිදා රාත්‍රි කාලයේ පලාගිය ‘හරක්කටා’ නමැති පාතාල නායකයාගේ කල්ලියේ කුලී මිනීමරුවා ලෙස හඳුන්වන ‘රවිඳු වර්ණ රංග’ නමැත්තා සහ ඔහුට පලායෑමට සහාය දුන් චීවරධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ‘දිවයින’ ට පැවැසීය.

මිනිස් ඝාතන ගණනාවක් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ මෙම පාතාල ප්‍රබලයා ව්‍යාජ නමක් පාවිච්චි කර ඩුබායි රාජ්‍යයට පලායෑමට උත්සාහ කරද්දී කටුනායක ගුවන්තොටුපළ ආගමන විගමන නිලධාරීන් විසින් අල්ලාගෙන කටුනායක ගුවන්තොටුපළ පොලිසිය වෙත භාර දී තිබුණේ ඉකුත් 24 වැනිදා රාත්‍රි කාලයේදීය.

මෙම පාතාල ප්‍රබලයා ගුවන්තොටුපළ පොලිසියේ රඳවා සිටියදී එහි පැමිණි චීවරධාරීන් දෙදෙනකු පොලිස් නිලධාරීන් මුලාකර ඉතාම සූක්‍ෂ්ම ආකාරයට මොහු රැගෙන පලාගොස් ඇත.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ විමර්ශන පැවැත්වූ විශේෂ පොලිස් කණ්ඩායමක්, පාතාල මැරයාට පලායෑමට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ ගුවන්තොටුපළ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් සිව්දෙනකු අත්අඩංගුවට ගන්නා ලදී.

සැකකාර නිලධාරීන් සිව්දෙනා පෙරේදා (25 දා) සවස මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව කාර්යභාර සැරයන්වරයා ලෙස කටයුතු කළ (59359) ඩබ්ලිව්. කේ. සේනාරත්න නමැත්තා ලබන 03 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ගුවන්තොටුපළ පොලිසියේ ස්ථානාධිපති ජනක කුමාර සේනාධීර, කොස්තාපල්වරුන් වන ඇතුගල්ගේ අනුෂ ප්‍රසාද් සහ ආර්. එස්. රත්නායක යන අය රුපියල් ලක්‍ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

මේ අතර පාතාල ප්‍රබලයා පලායෑම සම්බන්ධයෙන් මෙම නිලධාරීන් සිව්දෙනාට එරෙහිව පොලිස් මූලස්ථානය මගින් වෙනම විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මේ අතර මෙම පාතාල ප්‍රබලයා රැගෙන පලා ගිය චීවරධාරීන් දෙදෙනා පාතාලයට සම්බන්ධ අපරාධකරුවන් බවත්, ඔවුන් චීවරවලින් සැරසී වෙස්වලාගෙන පැමිණ මෙම ක්‍රියාව කරන්නට ඇති බවටත් පොලිසිය සැක පහල කරයි.

මෙසේ පලාගිය පාතාල ප්‍රබලයා දැනට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින මිදිගම නඳුන් චින්තක හෙවත් ‘හරක්කටා’ නමැති පාතාල නායකයාගේ කල්ලියේ ප්‍රබලයකු බව පොලිසිය හඳුනාගෙන ඇත.

හරක්කටාගේ නියෝග අනුව මොහු මිනිස් ඝාතන 10 කට ආසන්න ප්‍රමාණයක් සිදුකර ඇති බවට තොරතුරු පොලිසිය වෙත ලැබී තිබේ.

මීට දින කීපයකට පෙර හංවැල්ලේ වෙළෙඳසලකට කඩාවැදී සිය සිඟිති දරුවා බලා සිටියදීම එම වෙළෙඳසල හිමි ව්‍යාපාරිකයාට වෙඩිතබා ඝාතනය කර පලා ගියේ ද මෙම අපරාධකරු බවට හඳුනාගෙන තිබේ.

හරක්කටා මෙම පාතාල ප්‍රබලයා ඩුබායි රාජ්‍යයට ගෙන්වා ගැනීමට අවස්ථා කීපයකදීම උත්සාහ කළ ද එය ව්‍යාර්ථ වී තිබිණි.

මෙවර ද ඔහු මෙම පාතාල ප්‍රබලයා ඩුබායි රාජ්‍යය වෙත ගෙන්වා ගැනීමට උත්සාහ කිරීමේදී මොහු ආගමන විගමන නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබිණි.

කෝරළේ කංකානමලාගේ රවිඳු වර්ණ රංග නමැති 28 හවිරිදි, දකුණු කළුතර, දූව පන්සල පාරේ පදිංචි මෙම පුද්ගලයා මෙසේ පොලිස් අත්අඩංගුවෙන් මිදී පලාගොස් තිබේ.

ඉහත නම මොහුගේ ජාතික හැඳුනුම්පතේ මෙන්ම ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රයේත් එසේම මොහුට එරෙහිව අධිකරණය විසින් පනවා ඇති ගුවන් ගමන් තහනම් නියෝගයේ ද සඳහන්ව තිබේ.

කලක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කර, පසුව ඉන් පලාගිය පුද්ගලයකු වන මොහු තනිවම මිනීමැරුම් 09 ක් සිදුකර ඇති අතර තවත් පුද්ගලයන් සමඟ හවුල් වෙමින් තවත් මිනීමැරුම් 10 ක් සිදුකර ඇති බව කටුනායක ගුවන්තොටුපළ පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබේ.

පසුගිය 24 දා රාත්‍රි 06.30 ට ඩුබායි බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ. එල්. 225 දරන ගුවන්යානය සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත මෝටර් රථයකින් පැමිණ තිබේ. ඔහු සමඟ පිටත්ව යෑම සඳහා තවත් පුද්ගලයකු ද වෙනත් මෝටර් රථයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

පසුව මොවුන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ ආගමන විගමන දෙපාර්තමේන්තු කවුළුව වෙත පැමිණි අතර, එහිදී මෙම පුද්ගලයාට එරෙහිව ගුවන් ගමන් තහනමක් පනවා ඇති බව එම දෙපාර්තමේන්තු පරිගණක ජාලයේ සඳහන්ව ඇති බැවින්, මොහුට තවදුරටත් ගුවන්තොටුපළ තුළ ඉදිරියට යෑමට ඉඩ නොදී කටුනායක ගුවන්තොටුපළ පොලිසිය වෙත මේ පිළිබඳ දැනුම්දීමක් සිදුකර තිබේ.

මේ සියල්ල කටුනායක ගුවන්තොටුපළ ආරක්‍ෂිත කැමරාවල සටහන්වී ඇති අතර පසුව එදිනම රාත්‍රි 06.00 ට පමණ කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය වෙත ගුවන්තොටුපළ පොලිසියේ නිලධාරීන් පැමිණ, මොහු අත්අඩංගුවට ගෙන, පොලිසිය වෙත රැගෙන ගොස් තිබේ.

ඉන් පසුව භික්‍ෂූන් වහන්සේ දෙනමක ලෙස සැරසී පැමිණි පුද්ගලයන් දෙදෙනකු කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ මොහු නිදහස් කරගැනීම පිළිබඳව පොලිසිය සමඟ සාකච්ඡා කර තිබේ.

අල්ලාගෙන සිටින මෙම තරුණයා තම පන්සලේ ආවතේව කටයුතු කරන අහිංසකයකු බවත් මෙය ආගමන විගමන නිලධාරීන්ට සිදුවූ අත්වැරදීමකින් සිදුවූවක් බවත් කියමින් චීවරධාරීන් දෙදෙනා පොලිස් නිලධාරීන් නොමඟ යවා ඇත.

පසුව චීවරධාරීන්ගේ ඉල්ලීම මත අත්අඩංගුවේ සිටි පාතාල මැරයාගේ මාංචු ගලවා දමා ඔහු පුටුවක වාඩිකර තැබීමට පොලිස් නිලධාරීන් කටයුතු කර ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

ඒ අතර මෙම චීවරධාරීන් ඉතාම සූක්‍ෂ්මව පාතාල මැරයා රැගෙන පලායෑමට කටයුතු කර ඇත.

අත්අඩංගුවේ සිටි තරුණයා මිනීමැරුම් ගණනාවකට සම්බන්ධ පාතාල ප්‍රබලයකු බව පොලිස් නිලධාරීන් ඒ වනවිටත් දැන නොසිටි බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

කොළඹ අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.
හේමන්ත රන්දුණු, ටී. කේ. ජී. කපිල, ටෝනි කරුණානායක සහ මීගමුවේ විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment