කතරගම සිට තිස්ස උසාවියට කිලෝමීටර 15යි වැල්ලවායට කිලෝ මීටර් 67 යි…

බුත්තල-කතරගම මාර්ගයේ යාල මැදින් ගමන් කිරීම මරු කටෙන් යෑමක් වගෙයි…

පාන් කියාගන්න බැරි මිනිස්සුන්ට කිලෝ මීටර් 70, 80 ක ගමනක් ලොකු දුරක්…

මේ වෙනස කළොත් රුහුණු කතරගම මහා දේවාලයේ නමත් වෙනස් කරන්න වෙනවා…

කතරගම පුවත් මවන ගමකි. මේ දිනවල අලුත්ම පුවත තිස්ස, කතරගම ඇතුළු යාබද ප්‍රදේශවලට මත් කුඩු බෙදූ කතරගම ‘මහ කුඩ්ඩා’ යුක්තියට කොටු කරගැනීම නොවේ. කතරගම බල ප්‍රදේශයට අයත් උසාවිය වෙනස් කිරීමට යෑමෙන් මතුව ඇති ගැටලුවය. මෙතෙක් කාලයක් අධිකරණ කටයුතු සිදු කළ තිස්සමහාරාම උසාවිය වෙනුවට වැල්ලවාය අධිකරණයට කතරගම ප්‍රදේශවාසීන්ව යොමු කිරීමට වැඩ කටයුතු සංවිධානය වීමය. එම පුවතට තවම හරි හැටි තටු ලැබී නැත. කතරගම ප්‍රදේශවාසීන් පාරට බැස ගිනි පත්තු කර එම සිද්ධිය කරළියට ගෙනඒමට පෙර අපි ඒ පරිපාලන අවුල වාර්තා කිරීමට අදහස් කළෙමු.

ප්‍රාදේශීය සභාව ඌවට… පොලිසිය තංගල්ලට…කතරගම මිනිස්සු අසරණයි

‘රුහුණු කතරගම මහ දේවාලය’ නමට කියැවෙන්නේ ද එසේය. එහෙත් ගැටලුවක් තිබේ. පරිපාලන දිස්ත්‍රික් මායිම් මත පදනම්ව කතරගම ප්‍රාදේශීය සභාව අයත් වනුයේ ඌව පළාතටය. එහෙත් කතරගම පොලිස් ස්ථානය පාරිපාලනය වනුයේ තංගල්ල කොට්ඨාසයෙනි. ජල සම්පත් මණ්ඩලය, විදුලිබල මණ්ඩලය, ඩිපෝව ඇතුළු කතරගම ස්ථාපිත බොහෝමයක් රාජ්‍ය ආයතන පාරිපාලනය වනුයේ දකුණු පළාත් සභාවෙනි. ප්‍රාදේශීය සභාවේ පාලනය ඌවටත්, එම බල ප්‍රදේශය තුළ පිහිටි බොහෝමයක් රාජ්‍ය ආයතන දකුණට අයත්වීම පැහැදිලි ගැටලුවක් බව සැබෑය. එහෙත් එම ගැටලුවට පිළියමක් ලෙස කතරගම පොලිස් ස්ථානය තංගල්ල කොට්ඨාසයෙන් ඉවත්කොට මොනරාගලට පැවරීමෙන් කතරගම ප්‍රදේශවාසීන්ට ගැටලු රැසකට මුහුණදීමට සිදුවන බව සැබෑය. මේ ගැටලුව ගැන කතරගම ශාසනාරක්‍ෂක බල මණ්ඩලය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිඛිතව දැනුම් දී තිබෙන බව ද වාර්තා වේ. එම බලමණ්ඩලයේ ලේඛකාධිකාරී කතරගම අභිනවාරාම මහා විහාරාධිපති ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස හාමුදුරුවෝ එම ගැටලුව සම්බන්ධයෙන් අපට ද කරුණු පැහැදිලි කළහ.

“කතරගම පොලිස් ස්ථානය මෙතෙක් කාලයක් පාලනය කෙරුණේ තංගල්ල කොට්ඨාසයෙන්. කතරගමට ආසන්නතම උසාවිය තිස්සමහාරාම අධිකරණය. කතරගම ජනතාව නීති කටයුතුවලට ගියේ තිස්ස උසාවියට. දුර කිලෝ මීටර් 15 යි. ඒත් පහුගිය දිනවල වැඩබලන පොලිස්පතිතුමා නිකුත් කර ඇති ලිපියකට අනුව කතරගම පොලිස් ස්ථානය ඌව පළාත් සභාවට මාරු කරන්න සූදානම් වෙනවා. එහෙම වුණොත් උසාවි කටයුතු සඳහා වැල්ලවායේ උසාවියට හෝ මොණරාගල උසාවියට යන්න වෙනවා. සමහර වැඩ කටයුතු කරගැනීමට බදුල්ලටත් යන්න සිදු වෙනවා. විශාල දුරක්. කතරගම ඉඳලා ළඟම නගරය වැල්ලවායටත් කිලෝ මීටර් 67 ක් විතර තියෙනවා. ඒකත් යාල මැදින් වැටුණු බුත්තල, කතරගම මාර්ගයෙන් බුත්තලට ගිහින් වැල්ලවායට ගියොත්. බස් දෙකක ගමන් කරන්න වෙනවා. ප්‍රවාහන සේවය අතිශය දුර්වලයි. ඒකත් නෙමෙයි ප්‍රධාන ගැටලුව. යාල කැලේ මැදින් ගමන් කිරීම. නිතර වන අලි ගැවසෙනවා. යතුරුපැදියකින් නම් යන්නම බෑ. අලි ගහනවා. ඒ වගේම උසාවියට ප්‍රමාද වී යන මිනිසුන්ට අධිකරණය මගින් දඩ ගැසීම් පමණක් නෙමෙයි, නිරපරාදේ බන්ධනාගාරගත කිරීම් ද කරන්න පුළුවන්. අධිකරණයට වරදක් කියන්නත් බෑ. කොට, කොට යන බස්කාරයන්ට දොස් කියන්නත් බෑ. පොදු ප්‍රවාහනයේ හැටි එහෙම තමයි. පාරෙ අලි ඉන්නකොට සමහර බස් රථ පැය ගණන් එක තැන නතර කරගෙන ඉන්න අවස්ථා තියෙනවා. ඒ වගේම මේ වෙනස කළොත් රුහුණු කතරගම මහා දේවාලයේ නමත් වෙනස් කරන්න වෙනවා. ඒ නිසා භික්‍ෂූන්වහන්සේ, රාජ්‍ය නිලධාරීන් සාමාන්‍ය ජනතාව ඇතුළු කතරගම ජීවත් වෙන සියලුම දෙනා මේ වෙනස් කිරීමට විරුද්ධයි. කාලෙකට පෙරත් මේ වෙනස කරන්න යනකොට අපි විරුද්ධ වෙලා නතර කර ගත්තා. වෙනස්කම් කළාට ගැටලුවක් නෑ. ප්‍රදේශවාසීන්ට සාධාරණයක් වෙන ආකාරයට ඒ දේවල් වෙන්න ඕනෑ. මේ වෙනස ක්‍රියාත්මක වෙන්න විශාල මහජන කැළැඹීමක් මතු වෙන්න ඉඩ තියෙනවා. දැනටත් දවසකට තිහ, හතළිහක් පන්සලට ඇවිත් මේ ප්‍රශ්නය ගැන කතා කරනවා. ඒ මිනිස්සු ගැන අනුකම්පා කරලා තමයි මාධ්‍යයට කතා කරන්න අදහස් කළේ…” ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස හාමුදුරුවන්ගේ අදහස් දැක්වීමෙන් අනතුරුව ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී කතරගම වැඩසිටි කන්ද විහාරාධිපති ශාස්ත්‍රපති හීල්ලේ ක්‍දාණානන්ද නායක හාමුදුරුවෝ ද සිදු කිරීමට පිඹුරුපත් සකසන ‘පොලීසි මාරුව’ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළහ. උන්වහන්සේ දැක් වූ අදහස්වලින් පැහැදිලි වූයේ ද සිදු කිරීමට යන පොලිස් මාරුවට විරුද්ධ බවය. කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති චානක අමිල් රංගන සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලහිරු මධුසංඛ ද පෙළගැසෙන කතාවට කරුණු ඉදිරිපත් කළහ. මේ ඔවුන්ගේ පොදු හඬය.

“කතරගම ප්‍රශ්න පත්තරයක්. ඉඩම් ගැටලු එමටයි. පොඩි, පොඩි ප්‍රශ්නවලටත් ආරවුල් ඇති කරගන්න මිනිස්සු ඉන්නවා. ඒ සමහර ආරවුල් පොලිසිය හරහා අධිකරණයට යොමු කරනවා. ආරවුල් ඇති කරගත්තට ඒ මිනිස්සු සන්තකයේ පිච්චිය නෑ. උසාවියට නොගිහින් වරෙන්තු වුණොත් හිරේ විලංගුවෙත් වැටෙන්න වෙනවා. කතරගම පොලිසියෙන් විසඳුමක් නොලැබෙන ප්‍රශ්න ඒ.එස්.පී මහත්තයා ළඟට අරගෙන යන්න වෙනවා. දැනට ඒ.එස්.පී කාර්යාලය තියෙන්නෙ වීරවිල. පොලිස් ස්ථානය මොණරාගලට මාරු වුණොත් කතරගම මිනිස්සුන්ට මොණරාගලට යන්න වෙනවා. කිලෝ මීටර් 15 ක ගමන. 70 ක් විතර වෙනවා. ලොකු දුරක්. කතරගම දුප්පත් මිනිස්සු ගැන අනුකම්පා කරලා පොලිසිය, උසාවිය වෙනස් කරන එක නතර කරයි කියලා අපි විශ්වාස කරනවා. පොලිසියට යුක්තිය ඉටු කරන්න කතරගම නතර කළ යුතු ජාවාරම් එමට තියෙනවා. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම. ‘ඊෂි කෑෂ්’ ක්‍රමයට කතරගම පුරා කුඩු, අයිස් බෙදාහරිනවා. කොල්ලො, කුරුට්ටො දවසින්, දවස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙනවා. හැම තැනම මත්ද්‍රව්‍ය. ඒවා ගැනත් පොලිසියේ අවධානය යොමු වෙනවා නම් ඉතා හොඳයි. ඒ වගේම වැල්ලවාය, මොණරාගල උසාවිවලට යන්න වුණොත් බුත්තල, කතරගම මාර්ගයේ යාල කැලේ මැදින් යෑම විශල ගැටලුවක් වෙනවා. අලි, විතරක් නෙමෙයි, දැන් කොටිත් නිතර ඒ පාරෙ ගැවසෙනවා මිනිස්සු දැකලා තියෙනවා. ඒ සතුන් මිනිස්සුන්ගේ ප්‍රශ්න දන්නෙ නෑ. උන්ට හිරිහැරයක් වෙයි කියලා හිතුණොත් පැන, පැන කනවා. අලි නම් උස්සලා පොළොවේ ගහල චප්ප කරලා දායි. එතකොට කතරගම මරණත් වැඩි වෙයි. මානුෂීය නිලධාරියෙක් විදිහට පොලිස්පතිතුමා මේ ගැටලුව දිහා නම්‍යශීලීව බලයි කියලා අපි හිතනවා…” කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාගේ සහ මන්ත්‍රීවරයාගේ අදහස් දැක්වීම ද පැහැදිලිය. ප්‍රදේශවාසීන් කිහිපදෙනෙක් ද අදහස් දක්වමින් කියා සිටියේ කතරගම වෙනස් කළ යුත්තේ පොලිසිය නොව, වල්මත් වූ සමාජ පසුබිම බවය. කුඩු, ගංජා, කසිප්පුවලින් වැපිරෙන කතරගම නීතිය දෙකේ කොළයට වැටී ඇති බවත් ඔවුහු පෙන්වා දුන්හ. ඒ අතුරු කතාවලට විරාමයක් ලබාදුන් අපි වැල්ලවාය, මොණරාගල උසාවියට ගමන් කිරීමට තිබෙන දුෂ්කර මාවත දෙසට අවධානය යොමු කළෙමු.

ප්‍රාදේශීය සභාව ඌවට… පොලිසිය තංගල්ලට…කතරගම මිනිස්සු අසරණයි

බුත්තල කතරගම මාර්ගය කිලෝමීටර් දහහතක් සම්පූර්ණයෙන්ම දිවෙනුයේ යාල කලාප අංක තුන, හතර, පහ ප්‍රදේශ මැදිනි. තවත් කිලෝ මීටර් තුනක් ගෝනඅංආර ප්‍රදේශයේදී මාර්ගයේ එක් පසෙක මහා කැලෑව සහ අනෙක් පස නිවාස මැදින් දිවෙනු ඇත. එම මාර්ගයේදී කැලෑවට පිවිසුමේ අටවාගෙන තිබෙන පලතුරු තට්ටුවල වෙළෙඳුන් පාරෙ ඉන්න අලින්ට කොමඩු, කෙසෙල් නොදී යන්න බැරි බව පවසමින් වන්දනාවේ යන මිනිසුන්ව බියට පත් කර පලතුරු විකුණන අයුරු ද අප දැක තිබේ. එම වෙළෙඳුන්ගේ වහසි බස්වලට බිය වන නොදන්නා මිනිසුන් පාරෙ ගැවසෙන අලින්ට පලතුරු ලබාදීමට ගොස් කරදරෙ වැටෙන අවස්ථා ද එමටය. එමෙන්ම යාල මහ වන මැදින් දිවෙන එම මාර්ගය දෙපස සිටින ඇතැම් වන සතුන් මිනිසුන්ගේ අනුකම්පාව හමුවේ හුරුතල් වෙමින් සිටින බවද සැබෑය. පැණි රසට ගිජු වූ වන අලි කෑම නොදුන් විට පාරෙ යන වාහන පෙරළා දමන තත්ත්වයට දඩබ්බර වෙති. එවැනි අලි ඇතුන් පහරදී වීදුරු කුඩු කර දැඩි අලාභහානි සිදු කළ වාහන එම මාර්ගයේ කොතෙකුත් දැකගත හැකිය. එමෙන්ම එම මාර්ගයේ ධාවනය වන ඇතැම් වාහන වන අලි විසින් කණපිට පෙරළා කෑම සොයන අවස්ථා ගැන ද නිරන්තරයෙන් මාධ්‍යයට වාර්තා වන බව සැබෑය. වාහනවල ගමන් කරන මිනිසුන්ට අලි, ඇතුන් පහරදුන් අවස්ථා ද එමටය. වන සතුන්ගේ වස භූමි මැදින් පාරවල් තෑනූ විට එවැනි අකරතැබ්බයන්ට මුහුණදීමට සිදුවීම අහම්බයක් නොවේ. බුත්තල – කතරගම මාර්ගයේ ගමන් කරනවිට එවැනි අවදානමක් බලාපොරොත්තුවෙන් යා යුතුය. වනජීවී නිලධාරීන් පවසන ආකාරයට බුත්තල – කතරගම මාර්ගයේ ගමන් කරන වාහන සියයකින් දෙක, තුනක් අනිවාර්යෙන්ම අලින්ගේ පහරකෑමට ලක් වෙති. බුත්තල – කතරගම මාර්ගය දිගට මේ දිනවල අලි, ඇතුන් දහයකට වැඩි සංඛ්‍යාවක් නිතර ගැවසෙන බව වනජීවී නිලධාරීහු පැවසූහ. ඒ අතරින් අලි හතරදෙනෙක් අඛණ්ඩව එම ප්‍රදේශයේ ගැවසෙති. ඉතිරි වන අලි ඇතැම් කාලයකට පාරට එන අලි, ඇතුන්ය. නේවාසිකව සිටින අලි හතරදෙනාගෙන් එක් අලියෙක් නිරන්තරයෙන්ම වාහනවලට පහරදෙති. කාලෙන්, කාලයට එන යන අලි ඇතුන්ගේ හැසිරීම ගැන නිශ්චිතව කිව නොහැක. එවැනි පසුබිමක අදාළ රාජ්‍ය ආයතනවලින් සිදු කළ යුත්තේ එම මාර්ගයේ ධාවනය වන වාහන ප්‍රමාණය අවම කිරීමට කටයුතු කිරීම මෙන්ම වන සතුන්ට කෑම ලබාදීම, හිංසාව නතර කිරීමට නීතිරීති දැඩි කිරීමය. එහෙත් පවතින රජයේ ආරක්‍ෂක අංශවලින් සිදු කරමින් සිටිනුයේ බුත්තල – කතරගම මාර්ගයේ ගමනාගමනය තව, තවත් වැඩි කිරීමය.

කතරගම සිට වැල්ලවායට ගමන් කිරීමට ලුණුගම්වෙහෙර, තණමල්විල හරහා දිවෙන මාර්ගයක් තිබේ. ඒ මාර්ගය දුර ය. පොදු ප්‍රවාහනයේ පැය 2 ට ආසන්න ගමනකි. එමෙන්ම එම මාර්ගයේ පොදු ප්‍රවාහන සේවය ද දුර්වලය. මොණරාගල අධිකරණයට යෑමට සිදු වුණොත් ඊටත් වඩා දුරය. කතරගම ප්‍රදේශවාසීයෙක්ට නීතිමය කටයුත්තක් සඳහා වැල්ලවාය හෝ මොණරාගල උසාවියට යෑමට අවශ්‍ය වූ විට පසුදා එම ප්‍රදේශයට ගොස් ලැගුම්හලක හෝ ඥාති නිවසක එදින රාත්‍රිය ගත කර තම නීතිමය කාර්ය ඉටු කරගෙන සවස් වුණොත් එදින රාත්‍රිය ද එම ප්‍රදේශයේ තෝරාගත් ස්ථානයක පහන් කර පසුදා හිමිදිරියේ කතරගමට පැමිණිය හැකිය. එම මාර්ගවල සවස් කාලයට පොදු ප්‍රවාහනය වැඩ නැත. එමෙන්ම යතුරුපැදියක් තිබුණත් යාල කැලේ මැදින් දිවෙන මාර්ගය ඔස්සෙ ගමන් කළ නොහැක. ලුණුගම්වෙහෙර, තණමල්විල අලි කරදර අඩු නැත. යතුරුපැදි අලින්ට වහ කදුරු වැනිය. එමෙන්ම පෞද්ගලික වාහනයක හෝ යතුරුපැදියකවත් ගමනක් බිමනක් යෑමට නොහැකි තරමට ඉන්ධන වියදම වැඩි වී තිබේ.

එවැනි පසුබිමක කතරගම දේවාලයට බැතිමතුන් පැමිණියොත් කුස පිරෙන්න වේලක් කන හෝ තම වගා බිම් සරුවුණොත් මුහුණෙ සිනහ රැල්ලක් උපදින කතරගම ප්‍රදේශවාසීන්ට පයින් ඇවිදගෙන යෑමට කෙටි දුරකින් පිහිටි තිස්සමහාරාම අධිකරණය තිබියදී, කිලෝ මීටර් 67 ක් දුර වැල්ලවාය උසාවියට හෝ ඊටත් දුර මොණරාගල අධිකරණයට එම ප්‍රදේශවාසීන් යොමු කිරීම ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වැනි ක්‍රියාවක් බව සැබෑය. කතරගම දේවාලයේ, පූජා භූමියේ සිදුවන අකටයුතුකම් මෙන්ම රටේ පවතින ආර්ථික අහේනිය නිසා කාලයක සිට බැතිමතුන්ගේ පැමිණීම ද විශාල වශයෙන් අඩු වී තිබේ. පැමිණෙන බැතිමතුන් ද දින ගණන් කතරගම නතර වී නොසිටින බව ද වාර්තා වේ. අධිවේගයේ පැමිණ කිරිවෙහෙර, මහ දේවාලය වන්දනා කර අධිවේගයෙන්ම පිටත් වෙන බව ද ආරංචිය. කතරගම හෝටල්, අවන්හල්, පූජා වට්ටි වෙළෙඳසල් ඇතුළු විවිධ කඩ මැස්සො ඇහිරෙන ගානය. භාගෙට, බාගයක් වෙළෙඳාම නතර වී ඇති බව ද වාර්තා වේ. එමෙන්ම කතරගම ජීවත්වන බහුතරය අන්ත දුගී පවුල්ය. යතුරුපැදියක් තිබුණත් ඉන්ධන යෙදවීමට වත්කමක් නැති මිනිසුන් සිටින බව වාර්තා වේ. එවැනි පසුබිමක අසල්වැසි නගරයේ උසාවියක් තිබියදී කිලෝ මීටර් ගාණක් දුරක පිහිටි උසාවිවලට ඒ මිනිසුන්ව යොමු කිරීම මහා අපරාධයකි.

ප්‍රාදේශීය සභාව ඌවට… පොලිසිය තංගල්ලට…කතරගම මිනිස්සු අසරණයි

වල් වැදී තිබෙන මෙරට ඇතැම් නීති වෙනස් විය යුතු බව සැබෑය. පළාත් දෙකකින්, දිස්ත්‍රික්ක දෙකකින් පාලනය වන ප්‍රාදේශීය බල ප්‍රදේශවල පාරිපාලනය නිවැරැදි විය යුතු බව ද සැබෑය. එහෙත් එම වෙනස් කිරීම් සිදු කළ යුත්තේ මානුෂීය ස්වරූපයෙනි. කබලෙන් ළිපට වැටී සිටින මේ රටේ පුරවැසියන්ව තවත් ගිනි පත්තු නොකළ යුතුය. කතරගමට ආසන්නම තිස්සමහාරාම උසාවිය නම්, පැවැතගෙන ආ ආකාරයට එම අධිකරණයෙන්ම නීතිමය කටයුතු සිද්ධ කරගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරමින් පාරිපාලන අවුල විසඳීමට රජයේ අදාළ නිලධාරීන් දක්‍ෂ විය යුතුය.

කතරගම ජීවත්වන පවුල් 15000 ට වැඩි සංඛ්‍යාවට පමණක් නොව මෙරට සියලු ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ විවිධ වැඩ කටයුතු සිදු කරගැනීමට දුර බැහැර ප්‍රදේශවලට යෑම අවම කළ යුතුය. මාර්ගගත ක්‍රමය උපරිමයෙන් භාවිත කළ යුතුය. ආර්ථික පරිහානියේ පතුළට වැටී සිටින මිනිසුන්ට දුරබැහැර ගමන් යෑමට, කඩවලින් කෑමට දැන් වත්කමක් නැත. ඇත්ත කතාව ඒකය. පිළිගැනීම රාජ්‍ය නිලධාරීන්ට භාරය.

තරංග රත්නවිර

advertistmentadvertistment
advertistmentadvertistment