පසුගිය සතියේ පාර්ලිමේන්තු සතියක් නොවූ බැවින් මන්ත්‍රීවරු නිදහසේ තම තමන්ගේ වැඩ කටයුතුවලට මුල් තැනදී සිටියහ. එහෙත් විපක්ෂයේ බොහෝ දෙනෙක් නම් ඉදිරියේදී එන මැතිවරණ සම්බන්ධයෙන් යොදාගෙන තිබූ සංවිධාන කටයුතු නිසා සිටියේ කාර්යබහුලවය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහට ද එතරම් විවේකයක් වූයේ නැත. දැන් ඔහු රට පුරා තැනින් තැන සංචාරය කරමින් ඒ ඒ ප්‍රදේශවල සිදු කෙරෙන සංවර්ධන කටයුතුවලට සම්බන්ධ වෙමින් සිටියේය. ජනාධිපතිවරයා පසුගිය සතියේ සහභාගි වූ එවන් දැනෙන සංවර්ධන කටයුත්ත තිබුණේ අනුරාධපුරයේ මහකනදරාව ප්‍රදේශයේය. අනුරාධපුරයට පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා මහකනදරා වැව මුල්කරගෙන ආරම්භ කරන ලද පානීය ජල ව්‍යාපෘතිය විවෘත කිරීමට මෙම සතිය යොදාගෙන තිබිණි. එහෙත් ඊට ලොකු අභියෝගයක් එල්ල වී තිබීම නිසා බොහෝ දෙනෙක් සිතා සිටියේ ජනාධිපතිවරයා මෙම විවෘත කිරීමට සහභාගි නොවේ කියාය. මහකනදරාවට මොරගහකන්ද ජලාශයෙන් ජල සම්බන්ධතාවයක් ලබා දෙන තුරු මෙම පානීය ජල ව්‍යාපෘතිය විවෘත කිරීමට ඉඩ නොදෙන බව ගොවි සමිති කීපයක් දන්වා තිබිණි.

බොන්නට වතුරද වවන්නට වතුරද..!

එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය 15 වැනි බ්‍රහස්පතින්දා උදේ නිසි වේලාවට මෙම උත්සවයට සහභාගි වන්නට ගියේය. එක්තරා දේශපාලන පක්ෂයක් අහිංසක ගොවි පිරිසක් උද්ඝෝෂණකරුවන් ලෙස පාරට බස්සවා ජනාධිපති රනිල්ට විරෝධය පාන්නට වෙනම වැඩපිළිවෙළක්ද සූදානම් කර තිබිණ.

ඒත් ජනාධිපතිවරයා මහකනදරාවේ උත්සව බිමට පැමිණ ජල ව්‍යාපෘතිය විවෘත කළේය. උත්සව සභාව අවස්ථාවේ උතුරු මැද ආණ්ඩුකාර මහිපාල හේරත්, ශෂින්ද්‍ර රාජපක්ෂ, සෙහාන් සේමසිංහ, දුමින්ද දිසානායක, එස්. එම්. චන්ද්‍රසේන, කස්තුරි අනුරාධනායක ඇතුළු පිරිසක් මේ ගැන සාකච්ඡා කරමින් සිටියහ.

“මේ ව්‍යාපෘතිය කළේ ජපන් ආධාරවලින්. අවුරුදු විස්සකට පස්සේ ජයිකා එකේ චෙයාමන් මේ උත්සවය විවෘත කරන්න ආවා. ජපන් තානාපති ආවා. ඒ ගොල්ල අපට උදව් කරන්න ඇවිල්ල ඉන්න මොහොතක මේ වගේ උදව් කරන්න එපා කියලා ගොවියන්ව රවට්ටලා පාරට බස්සවන එක කොච්චර වැරදිද…” එක් අයෙක් කීවේය.

“ඔව් අනිත් එක… මේ පානීය ජලය දෙන්නේ කාටද කියලා හිතන්න ඕන. අනුරාධපුර දිස්ත්‍රික්කය වැඩිපුරම අපිරිසිදු ජලය බීල වකුගඩු අමාරුව හැදුනු අය ඉන්න පළාත් දෙක තමයි මැදවච්චිය හා රඹෑව. ඔන්න ඔය ගම් දෙකේ පවුල් විසිපන්දහසකට තමයි මේකෙන් වතුර දෙන්නේ. ඒකද මේ එපා කියන්නේ. පවුල් 25000කට පානීය ජලය දෙන්න වැවෙන් වතුර ගත්තා කියලා ගොවියන්ට වගා කරන්න වතුර නැති වෙන්නේ නෑ. අපරාදෙ නිකං ගොවියන්ව අවුස්සලා විදේශ රටවල්වලින් මේ පළාත්වල ජනතාවට ලැබෙන උදව් උපකාර නැති කරනවා…” කස්තුරි අනුරාධනායක ප්‍රශ්නයේ ඇතුලාන්තය කොළඹින් ගොස් සිටි දේශපාලනඥයන්ට හා නිලධාරීන්ට පැහැදිලි කළේය. ඒ අතර ජනාධිපතිවරයා උත්සවයේ වැඩ කටයුතු අවසානයේ කතාවක් ද කර උද්ඝෝෂණයේ නිරත ගොවි පිරිස් ඉන්න ප්‍රදේශයට ගොස් ඔවුන් සමග ද කතාබස් කර ඔවුන්ගේ සැකය දුරු කරන්නට උත්සාහ කළේය.

“පානීය ජලයට වැවේ වතුර ගත්තහම ඊළඟ යල කන්නයට අපිට වතුර කෝ…” ජනතාව ප්‍රශ්න කළේය.

“වාරිමාර්ග එක කතාවක් කියනවා. ජල සම්පාදනය තව කතාවක් කියනවා. මේ ආයතන දෙකම ජනතාව මුලා කරනවා. කවදාවත් මේ දෙගොල්ලෝ එකට ඇවිත් ජනතාවට ඇත්ත පැහැදිලි කරලා නෑ.” එතන සිටි ගැමියෙක් කීවේය.

“අන්න ඒකයි වැරැද්ද… මේ වගේ වැඩක් කරනකොට ඕගොල්ලෝ දෙගොල්ලෝ ඇවිල්ලා ජනතාවත් එක්ක සාකච්ඡා කරලා අනවබෝධ තැන් නිරවුල් කරගන්න. එතකොට මේවට දේශපාලන අවස්ථාවාදීන් ඇඟිලි ගහන එක අඩු වෙනවා…” ජනාධිපතිවරයා වාරිමාර්ග හා ජල සම්පාදන බලධාරීන්ට උපදෙස් දුන්නේය.

ලෙනින් කියපු දේ රනිල් කර පෙන්වලා

ජෛකා සභාපති, ජපන් තානාපති ඇතුළු විශේෂ ආරාධිතයින් සමග ජනාධිපතිවරයා එදා දිවා ආහාරයට ගියේ අනුරාධපුර ජනාධිපති මන්දිරයටය. දිවා භෝජනය අවස්ථාවේ බොහෝ දෙනෙකුට එතන නිදහසේ කතාබස් කරන්නට අවස්ථාව ලැබිණි.

“ලෙනින් කොමියුනිස්ට්වාදය ගැන කතා කළේ රුසියානු විප්ලවයට පස්සෙ ද ඉස්සෙල්ලාද..?” ඒ ප්‍රශ්නය ඇසුවේ ජනාධිපතිගෙනි.

“ඔයාලා දන්නවද… ලෙනින් කිව්වා මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා ඉටුකරන තුරු කොමියුනිස්ට් වාදය ගැන කතා කරලා වැඩක් නැහැ කියලා. මූලික අවශ්‍යතා තුනක් එයා තේරුම් ගත්තා. එකක් තමයි විප්ලවයෙන් පස්සේ සාමය. දෙවැනි එක ඉඩම්වල අයිතිය ජනතාවටදීම. තුන්වෙනි එක තමයි පාන්. පාන් කියන්නේ ප්‍රධාන ආහාරය. ඔන්න ඔය ප්‍රශ්න තුනට පස්සේ තමයි ලෙනින් කොමියුනිස්ට්වාදය ගැන කතා කළේ.

“මෙහේ කතාවක් තියෙනවා ජනාධිපතිතුමා 2022 අරගලය පටන් ගන්න කොට ආහාර තිබුණේ නෑ. සාමය තිබුණෙත් නෑ. ඉඩම් අයිතිය තිබුණෙත් නෑ කියලා.” දුමින්ද කීවේය.

“දැන් එතකොට රටේ සාමයක් තියෙනවා. ජනාධිපතිතුමා ඔප්පු දීල ජනතාවට ඉඩම් අයිතියත් දෙනවා. අස්වැසුම නිසා කන්නත් තියෙනවා. ලෙනින්ගේ පොටෝ ගහගෙන දෑකැත්තයි මිටියයි අරන් යන අයට වඩා මට පේන්නේ ජනාධිපතිතුමා කොමියුනිස්ට්වාදය දන්නවා…” සේමසිංහ එසේ කියද්දී ජනාධිපති ඊට සිනාසුනා මිස කිසිවක් කියන්නට ගියේ නැත.

සජිත්ට මල් මිටක් දුන් යුරෝපා තානාපතිනිය

පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජයිකා සභාපති හා ජපන් තානාපති සමග දවස ගෙවද්දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව ආශ්‍රිත රටවල් භාර තානාපතිනිය කාමන් මෝරේනෝ මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් සමග සාකච්ඡාවක සිටියේය. ඔවුන්ගේ මාතෘකාව වූයේ වර්තමානයේ පවතින සමාජ ආර්ථික දේශපාලන තත්ත්වය මත රට හා ජනතාව මුහුණ පා ඇති අභියෝගයි.

“මේ වෙලාවේ රටේ තත්ත්වය යහපත් කරගන්න අපට යුරෝපා සංගමයේ උපකාරය හා මැදිහත්වීම අවශ්‍යයි. විශේෂයෙන්ම අපනයනය කේන්ද්‍ර කොටගත් නිෂ්පාදන හා කර්මාන්ත අද ගැටලු රැසකට මුහුණ දීලා. ක්‍ෂුද්‍ර හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අද බිඳ වැටිලා. ජන සංඛ්‍යාලේඛන දත්තවලට අනුව දෙලක්ෂ හැට තුන්දාහක් සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත නතර වෙලා. 2021 ඉඳලා මේ බිඳ වැටීම පෙන්නුම් කරනවා. මේ නිසා එම ක්ෂේත්‍රයේ රැකියාවල් කරපු අය ලක්ෂ දෙකකට සෘජුවම රස්සාව නැතිවෙලා.” විපක්ෂ නායකවරයා ඒ පිළිබඳ හොඳ පැහැදිලි කිරීමක් කළේය.

“රටේ අපනයන ආර්ථිකය හා රැකියා නියුක්තිය ගැන මේ තරම් අවධානයකින් යුතුව පක්ෂ පාට භේදයක් නොමැතිව ඉදිරිපත් වී කතා කිරීම ගැන යුරෝපා සංගමයේ නියෝජිතයෝ විපක්ෂ නායකවරයාට ප්‍රශංසාවක් ද කළේ මේ අවස්ථාවේය. මෙම සාකච්ඡාව කර්මාන්තකරුවන් සමග දිගින් දිගටම ඇදී ගියේය.

මේ අතර සමගි ජන බලවේගයේ දේශපාලන කටයුතු ගැන පසුගිය සතිය වන විට රට තුළ පුළුල් සාකච්ඡාවක් විවෘත වී තිබුණි. ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයක් ඉලක්ක කරගෙන සමගි ජන බලවේගය නායකයා ඇතුළු සංවිධායකයෝ ගෙනගිය ප්‍රචාරක ව්‍යාපෘති ඊට ඉවහල් විය. ඔවුන් ජනතාව අතරට යමින් ජනතාවගේ ප්‍රශ්න කතාබස් කරමින් රටේ පවතින උණුසුම් ආර්ථික වාතාවරණය යටතේ ජනතාව දැඩි අසීරුවෙන් හා අපහසුතාවයෙන් ජීවත්වන ආකාරය ගැන සාකච්ඡා කරමින් සිටියහ. තමන්ගේ රජයකදී මෙම දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සොයන ආකාරය විමසමින් සිටියහ. රටේ ජනතාව අතර බිම් මට්ටමටම ගොස් කරන මෙවන් මහජන හමුවීම්වලදී සමගි ජන බලවේගයට ආණ්ඩුවෙන් පොහොට්ටුවෙන් හෝ ආණ්ඩු පක්ෂයට සම්බන්ධ කිසිදු කණ්ඩායමකින් අභියෝගයක් වූයේ නැත. බිම් මට්ටමේදී ඔවුන්ට අභියෝග එල්ල වූ එකම පාර්ශ්වය ජනතාව විමුක්ති පෙරමුණ පමණක්ම විය. සමගි ජන බලවේගයේ කථිකයෝ ජවිපෙටත් ජවිපෙ කථිකයෝ සමගි ජන බලවේගයටත් නිතරම අභියෝගයක් වූයේ බිම මට්ටමේදීය.

ඒ අතර ජනතා විමුක්ති පෙරමුණ හෙවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට ලැබුණු ඉන්දියානු සංචාරය පිළිබඳව ද රටේ පොදු දේශපාලන කරළියේ වෙනම සාකච්ඡාවක් ඇති විය. එම සාකච්ඡාව තුළ නම් සමගි ජන බලවේගය පමණක් නොව, ආණ්ඩු පක්ෂයේ පාර්ශ්ව කීපයේ ක්‍රියාකාරීහුද සක්‍රීයව සිටින අපට දැක ගත හැකි විය. කලකට පෙර ඉන්දීය ව්‍යාප්තවාදය හා ඉන්දීය බලහත්කාරය ගැන පුළුල් මහජන දැනුවත් කිරීම් කරමින් ඉන්දියාවට එරෙහිව ජනමතය ගොඩනගමින් සිටි අතීත ජවිපෙ වර්තමානයේ ඉන්දියාව කෙරෙහි මිත්‍ර ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ කෙසේදැයි මෙම පාර්ශ්වයන් ප්‍රශ්න කරමින් සිටියහ. එහෙත් ජවිපෙ හෙවත් ජාතික ජන බලවේගයේ මතය වූයේ ඉන්දියාව සම්බන්ධයෙන් තමන් තුළ ඇත්තේ හොඳ නිරීක්ෂණයක් හා අවබෝධයෙන් සිටීමක් අධ්‍යයනයක් මිස යටහත් පහත් හිතවත්කමක් නොවන බවකි. මේ නිසා පසුගිය සතිය පුරාම සමාජ මාධ්‍යයන්හි හා යම් යම් මාධ්‍යවලින් අපට දැක ගත හැකි වූයේ අනුර කුමාරගේ ඉන්දියානු සංචාරය සම්බන්ධ විවේචන හා ඒවාට ජවිපෙ පාර්ශ්වයෙන් ලබාදෙන පිළිතුරු හා සාධාරණ කිරීමේ ව්‍යාපෘතීන් රැසකි.

කවුරුන් කෙසේ කීවත් ආණ්ඩු පක්ෂයට රටේ දේශපාලන සම්බන්ධයෙන් තිබෙන ලොකුම වාසිය වූයේ විපක්ෂයේ බලවත් පක්ෂ දෙක අතර තිබෙන මෙම විරසකයයි. ඔවුන් එම විරසකය ඉතා පහසුවෙන් නඩත්තු කරමින් සිටින බවක් පැහැදිලිවම දැක ගත හැකි විය.

සන්ධානය මාර්තු අග මහපුටු චන්ද්‍රිකා අනුර

විපක්ෂයේ දැවැන්තම බලවේග දෙක වන සමගි ජන බලවේගයේ හා ජාතික ජන බලවේගයේ මෙම විරසකය අතරේ විපක්ෂයේ සිටින තවත් කණ්ඩායමක් විපක්ෂය සමගි කරන්නට දරන උත්සාහයක් ගැනද පසුගිය සතියේ ලොකු කතා බහක් ඇති විය. ඇත්ත වශයෙන්ම මෙම ව්‍යාපෘතියේ අරමුණ විපක්ෂය සමගි කිරීමක් ද එසේ නැත්නම් ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට පුළුල් ජාතික සන්ධානයක් ගොඩනැඟීමේ ව්‍යාපෘතියක් ද කියා සැකයක් මතු විය. මන්ද මේ සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් වැනි වැඩපිළිවෙළක් එළිදැක්වීමට පසුගියදා කොළඹ ලක්ෂ්මන් කදිර්ගාමර් මධ්‍යස්ථානයේ පැවැත්වුණු විශේෂ සාකච්ඡාවට’ ආණ්ඩුවේ නියෝජනය කරන පාර්ශ්ව කිහිපයකටද ආරාධනය කර තිබූ නිසාය. ඇත්ත වශයෙන්ම මේ සඳහා ආරාධනය කර නොතිබුණේ මේ රටේ රාජපක්ෂ කඳවුරේ හෝ එම කඳවුර නියෝජනය කරන ප්‍රබල පුද්ගලයන්ට හා ප්‍රබල පාර්ශ්වවලට පමණි. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, කොමියුනිස්ට් සමසමාජ පක්ෂ, කුඩා කුඩා දෙමළ, මුස්ලිම් සුළු ජාතික පක්ෂ ඇතුළු ලංකාවේ දේශපාලනයේ සිටින අනෙකුත් සියලුම බලවේගයන්ට මේ කතාබහට ආරාධනයක් තිබිණි.

මෙම සාකච්ඡාව සංවිධානය කර තිබුණේ චම්පික රණවක ඇතුළු එක්සත් ජනරජ පෙරමුණ නමැති පක්ෂයේ සංවිධායකවරුන් විසිනි. ප්‍රධාන ආරාධිතයා ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායකට ආරාධනය කර තිබූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ද ආරාධනයක් තිබිණි. රාජපක්ෂවරුන්ට හැර ජනතා විමුක්ති පෙරමුණට ද ඊට ඉඳුරාම සටන්වාදී ස්ථාවරයක සිටින සමඟ ජන බලවේගයට ද මේ සාකච්ඡාව තුළ ආරාධනයක් තිබීම විශේෂත්වයක් විය.

මේ පිළිබඳ කරුණු විමසීමකදී කරුණාරත්න පරණවිතාන මෙහි අරමුණ පැහැදිලි කළේ වාක්‍ය කීපයකිනි.

“නෑ නෑ මේක පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දක්වනවා නෙවෙයි. අපි මේ කියන්නෙ මේ රටේ ආණ්ඩුවක් පිහිටුවන්න පුළුල් සන්ධානයක් මත ඒකරාශී වන කණ්ඩායමක් ඉන්නව නම් අන්න ඒගොල්ලෝ මෙන්න මේ කියන ප්‍රස්තුත මත සාකච්ඡා කරලා ස්ථිර එකඟතාවයක් මත එකතු විය යුතුයි කියන එකයි. ඒ සඳහා සැකසුණු ප්‍රස්තුත යෝජනාවලියක් තමයි අපි දක්වන්නේ…”

14 වෙනි බදාදා කලට වේලාවට මේ සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා පැමිණියාය. ජවිපෙ තමන්ට ඊට සහභාගී වන්නට නොහැකි යැයි දන්වා තිබිණි. ඇමරිකාවේ සංචාරයක නිරත වීම නිසා මෛත්‍රී ජනාධිපතිවරයා පැමිණ සිටියේ නැත. ඒ හැරුණු විට සමගි ජන බලවේගය වෙනුවෙන් රංජිත් මද්දුම බණ්ඩාර, කබීර් හෂීම්, හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පාලිත රංග බණ්ඩාර, ආණ්ඩුවේ ඇමැතිවරු වන සුසිල් ප්‍රේම්ජයන්ත, මහින්ද අමරවීර ජාතික නිදහසේ ඩලස් අලහප්පෙරුම, චරිත හේරත් සහ කරු ජයසූරිය ආදී දේශපාලන විවිධත්වයකින් ආරාධිතයන් පැමිණ සිටියහ. පලනි දිගම්බරම්, මනෝ ගනේෂන්, ෆේරියල් අශ්රෆ්, චන්ද්‍ර කුමාරන් ඇතුළු සුළු පක්ෂවල නියෝජිතයෝ ද ලොකු පිරිසකි.

චම්පික මැද අසුනේය. දෙපැත්තෙන් කරු හා චන්ද්‍රිකා සිටියහ. සෑම ආසනයක්ම ඒ ඒ දේශපාලනඥයින්ගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව නමට වෙන්කර තිබිණි. චම්පික අරමුණ පැහැදිලි කරමින් කතා කර තම දේශපාලන න්‍යාය පත්‍රය ඉදිරිපත් කළ අතර සෙසු නායකයන්ට අදහස් දක්වන්නට ද අවස්ථාවක් ලබාදී තිබිණි. බොහෝවිට චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ නායකත්වයෙන් ආරම්භ විය හැකි මේ පුළුල් සන්ධානය ඒ ඒ පක්ෂවල නායකයන් ඇතුළත් නායකත්ව මණ්ඩලයක් තුළින් පාලනය වන බව පැහැදිලි විය. කතාබහේ හැටියට ලබන මාර්තු මස අවසානයේදී නිලධාරීන් පත්කර නායකත්ව මණ්ඩලය පිහිටුවා මෙම පුළුල් සන්ධානයේ වැඩකටයුතු අවසන් කරන්නට නියමිත බව කියවිණි. කිසි තැනක නම කිලිටි නොකර ගත් ප්‍රවීණ දේශපාලනඥ අනුර ප්‍රියදර්ශන යාපා බොහෝ විට මේ සන්ධානයේ මහලේකම්වරයා විය හැකි බව ඇතුලාන්තයේ රහස් දත් ප්‍රවීණයෙක් පුවත්පත් මාධ්‍යවේදියෙකුට හෙළි කළේ මේ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීමකදීය.

එතකොට මෛත්‍රීගේ ඉරණම කුමක්ද…?

එතකොට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ තත්ත්වය කුමක්වනු ඇත්දැයි රැස්වීම අවසානයේ බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් විය. ඔහු නායකත්ව මණ්ඩලයේ නිසැක සාමාජිකයෙක් බව කියවිණි.

හිටපු ජනාධිපති මෛත්‍රී හිටියේ ඇමරිකාවේය. ඔහු මෙම 15 වැනිදා ඇමෙරිකාවේ වොෂින්ටන් ඩී.සී.හි පිහිටි විශ්ව සාම සම්මේලනයේ ජාත්‍යන්තර කාර්යාලයේ පැවති විශේෂ රැස්වීමකට සහභාගී වන්නට ගොස් සිටියේය. විශ්ව සාම සම්මේලනයේ මහ ලේකම් ලැරී මොෆිඩ් ඇතුළු නිලධාරීන් රැසක් සමග හිටපු ජනාධිපතිවරයාට සාකච්ඡා වට ගණනාවක්ම යෙදී තිබීම විශේෂත්වයකි.

දසබල සේනා කොයිබින් කොතනටද

පසුගිය සතියේ දේශපාලන කරළියේ එතරම් කතාබහකට ලක් නොවුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව සිය පක්ෂයේ දේශපාලන කටයුතු ගම් මට්ටමෙන් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ ඉතා හොඳින් ගම වෙත ගෙන යමින් සිටියේය. ඒ පිළිබඳව ද ලොකු පැහැදිලි කිරීමක් විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජනාධිපති පුටුවේ වාඩිවීමට මහෝපාකාරී වූ අරගලය නමින් හැඳින්වුණු කැරැල්ල මුළුමනින්ම රටේ ක්‍රියාත්මක වූයේ රාජපක්ෂවරුන්ට එරෙහි කැරැල්ලක් හැටියට ය. රාජපක්ෂවරුන් හා ඔවුන් සමග සිටින දේශපාලන බලවතුන් ඉලක්ක කර ගනිමින් ගම්මට්ටමින් ඇතිවූ කලහකාරී තත්ත්වයන් හා දේපල ජීවිත හානි කිරීම නිසා ගම්වල වෙසෙන පොහොට්ටු පාක්ෂිකයෝ මුළුමනින්ම නිහඬව සිටිති. ඔවුන් එළිපිට කිසිදු දේශපාලන කටයුත්තකට සහභාගි නොවන තරම්ය.

එහෙත් මෙම තත්ත්වයට පිළියමක් යෙදිය යුතු යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්, නාමල් රාජපක්ෂ ඇතුළු සංවිධායකයෝ පිරිසක් කල්පනා කළහ. ගම්වලවල සැඟවී මුළුගැන්වී සිටින ප්‍රබල පාක්ෂිකයන් බල ගන්වා ඉදිරියට ගැනීමට ඔවුන් වෙනම ව්‍යාපෘතියක් සංවිධානය කළහ. තමන්ට එරෙහිව මැරබලයක් පැමිණියහොත් ඒවාට නිසි විසඳුම් දෙන්නට ද සූදානම් විය යුතු බව ඔවුන්ගේ මතය වූහ. “දස බල සේනා” යනුවෙන් පොහොට්ටුව ආරම්භ කළ ව්‍යාපෘතිය ගම්බිම් බලා ගියේ එසේ මුළුගැන්වී සිටින පාක්ෂිකයන් සවි බල ගැන්වීමටය. නාමල් රාජපක්ෂ, සාගර කාරියවසම්, රෝහිත අබේගුණවර්ධන, සංජීව එදිරිමාන්න ඇතුළු සංවිධායකයෝ පසුගිය කාලයේ ගමින් ගම ගමට ගොස් මේ සවි බල ගැන්වීම දියත් කිරීම ආරම්භ කළහ.

ඒ අනුව පසුගිය සතියේ නාමල්, සාගර හා සංජීව කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ආසනයේ ගම්බිම්වල සංචාරයක නිරතව සිටියහ. ඒ අතරතුර ඔවුන් සංජීවගේ මග පෙන්වීම අනුව දැල්කිට් වත්ත නම් වූ විශේෂ වතු යායකට අවතීර්ණ වූහ.

“මේ අපි යන වත්තෙන් ගියපාර අපිට ඡන්ද ලැබුණේ 23යි. ඔක්කොම ඉන්නේ වතුකම්කරු දෙමළ ජනතාව. අපේ ආසනේ දුර්වලම ඡන්ද පෙට්ටිය තියෙන්නේ මෙතන. හැබැයි ඒ ඉස්සර. දැන් මම ගිහිල්ලා මේ වත්තට බැහැලා මිනිස්සුත් එක්ක කතා කරල කරුණු අවබෝධ කෙරුවට පස්සෙ දැන් මේ මුළු ගමම ඉන්නේ අපිත් එක්ක. ගිහිල්ලම බලන්නකො තත්ත්වේ.” සංජීව ඒ පූර්ව හැඳින්වීම කළේ දැල්කිට් වත්තේ පෙර තිබූ තත්ත්වය ගැනයි. පුදුමයකි. එහි වතු කම්කරු ජනතාව සාගර, නාමල්, සංජීව ඇතුළු අමුත්තන් පිළිගැනීමේ උත්සවය සූදානම් කර තිබුණේ පපර බෑන්ඩ් එකක් ද සමගය. පිළිගෙන පෙරහැරකින් ඔවුන්ව ගම්මානයට රැගෙන යන්නට වතු කම්කරුවෝ පියවර ගත්හ.

“මේ පැත්ත හරිම ලස්සනයිනෙ අයියේ… මං මේ ආවේ පළවෙනි වතාවට” කියමින් වටපිට බලමින් ඉතා සතුටින් වත්තේ ඇවිද ගියේය. ඔවුන් හමුවී පවත්වන ලද රැස්වීමෙන් අනතුරුව දෙමළ ඌරුවේ ආහාර පාන සහිත සංග්‍රහයක් භුක්ති විඳින්නට ද අමුත්තන්ට අවස්ථාව උදාවිය.

නව සන්ධානයේ මීළඟ පියවර ගැන…

නව සන්ධානයේ කොළඹ මහජන රැලියේ සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එහි දේශපාලන මණ්ඩල කමිටුව පසුගියදා රැස්වූහ.

සුසිල් ප්‍රේමජයන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා, නලින් ප්‍රනාන්දු, නිමල් ලාන්සා, සිරිපාල අමරසිංහ, සුගීශ්වර බණ්ඩාර ඇතුළු කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන නව සන්ධානයේ සංවිධායකයන් පිරිසක් ඒ සඳහා එක්ව සිටියහ.

“කොහොමද දැන් රැස්වීමට එන මිනිස්සුන්ට අවශ්‍ය පහසුකම් ටික, අපේ වැඩේ ගැන කතා කළාම මොකද කියන්නේ” නිමල් ලන්සා මන්ත්‍රීවරයා ලබන 24 වැනිදා කොළඹ හයිඩ් පිටියේ පැවැත්වෙන නව සන්ධානයේ දෙවන මහජන රැලිය පිළිබඳව තොරතුරු විමසන්නට විය.

“මේ ටිකේම අපි ආසනවල දුවනවා ඇමැතිතුමා, ජාඇල අපේ පළවෙනි වැඩේ හොඳටම තිබ්බ නිසා කොළඹ ජනතාවගේ ලොකු උනන්දුවක් තියනවා. පළාත් පාලන මන්ත්‍රීවරු බර ගාණක් කතා කරනවා දැනටමත්” සුගීශ්වර විස්තරයක් කළේය.

“ජාඇල වැඩේට මාලිමාවත් හොඳටම බය වුණා මොකද අපි සෙනඟ ගෙනල්ල පෙන්නුවේ ඒ අය රැස්වීම තිබ්බ තැනමනේ, වෙන කිසි පක්ෂෙකට බැරි වුණා එතන රැස්වීමක් තියාගන්න” නලින් ප්‍රනාන්දු කීවේය.

“කොළඹත් අපි රැස්වීම තියන තැන කට්ටිය රැස්වීම් තියන්න ටිකක් බයයි, සෙනඟ එන්නේ නැති වෙයි කියල, අපි ඒ අභියෝගයත් භාරගත්ත” ලන්සා සිනාසෙමින් කීවේය.

අනුර සහ නාමල් ඉන්දියාවේ ගිය හැටි

අනුර කුමාර ඉන්දියාවේ සිටින අතරතුර නාමල් රාජපක්ෂද ඉන්දියාවේ කෝවිලක් වඳින්නට ගිය බවට කතාවක් ලංකාවේ පැතිර ගියේය.

“අපේ නායකතුමා ගිහිල්ලා ඉන්දියාව දියුණු කරපු’ ආයෝජකයෝ ව්‍යාපාරිකයො හමුවෙනවා. ඒත් අර රාජපක්ෂ කුමාරයා ගිහිල්ලා දේවාල ගාණේ වැඳ වැඳ යනවා” ඇතැම්හු සමාජ මාධ්‍ය තුළින් මත පළ කරමින් සිටියහ.

කතාව කෙසේ වුවත් නාමල් දේවාලයකට ගිය කතාවේ නම් ඇත්තක්ද තිබුණි. මීට අවුරුදු දෙකකට පෙර කුෂි නගර් ගුවන්තොටුපළ අගමැති මෝදි විසින් විවෘත කරපු වෙලාවේ ශ්‍රී ලංකාවේ දූත පිරිසක් සමග නාමල්ද ඉන්දියාවට ගොස් සිටියේය. එහිදී මෝදි නාමල්ට යෝජනාවක් කළේය.

“මම මෙතනම රාම් කෝවිලකුත් හදනවා. ඒක විවෘත කරන දවසටත් ඔයා එන්න ඕන…” තතු දත් ආරංචි මාර්ගවලට අනුව නාමල් එදා කුෂිනගර් රාම කෝවිලට ගොස් තිබුණේ ඒ ආරාධනාව අනුවය.

මේ අතරතුර නාමල් ඉන්දියාවේ ලක්නව් පැමිණි බව එහි ප්‍රාන්ත මහ ඇමැති යෝගී ආධිත්‍යයා දැනගත්තේය. යෝගීවරයකු වූ ආදිත්‍යා නාමල්ට එහි එන්නයි ආරාධනා කළේ ය.

යෝගී ආදිත්‍යා හමුවන්නට ඒ අනුව ගිය නාමල්ට ඔහුගේ පිළිගැනීම් මැද රසවත් අතීත කතා ගණනාවක් අසා දැනගන්නට ඉඩ ලැබිණි. ලංකාවේ ඉන්දියාවේ සම්බන්ධතා හා අතීත රාම සීතා වතගොත මෙන්ම රාවනා ගැන ද එහිදී ඔහුගෙන් නාමල්ට අහන්නට සිදුවූයේ දිගු ඒත් රසවත් දේශනාවකි.

මේ වගේ ළඟ ළඟ සිද්ධස්ථාන තියෙනවා වගේ තමයි අපෙත් තියෙනවා අනුරාධපුරේ අටමස්ථානය කියල තැනක්. මෝදි අගමැතිතුමාත් ඇවිල්ල අටමස්ථානය වැඳ පුදා ගත්තා. හින්දු අය බලන්නම ඕන ප්‍රදේශයක් තමයි අටමස්ථානය. ඔබතුමාත් කොහොම හරි ඇවිල්ලා ඒක බලන්න…”

නාමල්ගේ ආරාධනය පිළිගත් යෝගී ආදිත්‍යා කීවේ අප්‍රේල්වල මහ ඡන්ද ඉවර වූ පසුව දිනක් යොදාගෙන ලංකාවට පැමිණෙන බවකි.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment