10 දා පක්‍ෂ සම්මේලනයේදී එජාප ව්‍යවස්ථාව වෙනස් කරනවා – එජාප සභාපති වජිර අබේවර්ධන

110

ලබන 10 වැනිදා පැවැත්වෙන මහා සම්මේලනයේදී එක්සත් ජාතික පක්‍ෂ ව්‍යවස්ථාව වෙනස් කිරීමට පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරනු ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

නව ලෝකයත් සමඟ ඉදිරියට යා යුතු බවත් ඒ අනුව යමින් පක්‍ෂ ව්‍යවස්ථාව වෙනස් කිරීමට කටයුතු කරනු ඇති බවත් පක්‍ෂ සංවිධායකවරුන් දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් හෙතෙම පැවසීය.

රට කරදරයකට පත් වූ සෑම අවස්ථාවකම රට බේරා ගැනීමට එක්සත් ජාතික පක්‍ෂය කටයුතු කළ බවත් මේ අවස්ථාවේදීත් රටට අවශ්‍ය කරන ලෙස පක්‍ෂය වෙනස් විය යුතු බවත් ඒ මහතා කීය.

සිය පක්‍ෂය රට ගොඩනඟන සෑම අවස්ථාවකම ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය නැතිනම් වෙනත් විදෙස් බලපෑම්වලින් රට වට්ටන බවත් මෙවරත් යළි එම වැරැද්ද කළහොත් වසර 10 ක් යන විට මේ රට ආපසු සිඟමන් යදින ජාතියක් බවට පරිවර්තනය විය හැකි බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවත් මන්ත්‍රීවරයා කීය.

එක්සත් ජාතික පක්‍ෂ සම්මේලනය එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) ඉදිරිපිට පිහිටි රථගාල පරිශ්‍රයේදී ලබන 10 දා සවස 2.00 ට පැවැත්වේ. මේ සඳහා 15,000 ත් 20,000 ත් අතර පිරිසක් සහභාගිවීමට නියමිතය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment