මලල පිටියට පැටව් බෝ කරන වලල විදුහල

1705

මහවැලියෙන් වටවුණු දුම්බර නිධානය සොයා ගිය ගමනක්

ජාත්‍යන්තරය තුළ මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවේ නාමය බබළවන්නට මලල ක්‍රීඩාවේ ආධිපත්‍යය පතුරුවන්නට, අනාගත ඔලිම්පික් බලාපොරොත්තුවක, සිහිනය සැබෑ කරන්නට මලල ක්‍රීඩාවේ රජුන් රැජිනියන් දැයට දායාද කරන හරි පුදුම ඉස්කෝලේ වන වලල ඒ රත්නායක මධ්‍ය මහා විදුහල් බිම බැබලෙන්නේ රටටම ආදර්ශයක් සපයමිණි. අභියෝග හමුවේ නොසැලී දිරියෙන් ඉදිරියට යමින් මලල ක්‍රීඩාවේ ආධිපත්‍යය පාසල් තරග බිමේ සිට ජාතික හා ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගබිම දක්වා ගෙන යන්නට මේ පිං බිමෙන් දායාද කර ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස අති මහත්ය. දිවයින අද අපි වලලට යන්නේ එම ක්‍රීඩා ආධිපත්‍යයයේ අතීත හා නූතන තතු සොයා බැලීමටය.

කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මැණික්හින්න ග්‍රාමයේ පිහිටා ඇති වත්තේගම අධ්‍යාපන කලාපයට අයත් ශ්‍රී ලංකා පාසල් ඉතිහාසයේ දුම්බර සරසවිය ලෙස ප්‍රකට වූ වලල විද්‍යාලය ආරම්භ වන්නේ වර්ෂ 1926 දී ය. ඉතිහාසය පිළිබඳව කීර්තිමත් මහාචාර්යවරයකු වූ තෙන්නකෝන් විමලානන්ද මෙහි මුල්ම විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කළ අතර සිසුන් 54 දෙනකු සමග පොල් අතු මඩුවකින් ආරම්භ වූ මෙම පාසල ගම්වැසියන්ගේ අනුග්‍රහය මත පවත්වාගෙන ගොස් ඇත.

නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘ ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගරයන්ගේ මධ්‍ය මහා විද්‍යාල සංකල්පය අනුව වර්ෂ 1944 ජනවාරි 24 වන දින වලල මධ්‍ය මහා විද්‍යාලය නමින් මෙය ස්ථාපිත විය.

වලල මධ්‍ය මහා විද්‍යාලය බිහි කිරීමේ පුරෝගාමියෙකු වූ දුම්බර මිටයාවතෙන් බිහිවූ ශ්‍රේෂ්ඨ මානව හිතවාදියෙක්, රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, දාර්ශනිකයෙක් අධ්‍යාපනඥයෙක් මෙන්ම එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දුම්බර නියෝජනය කළ මන්ත්‍රීවරයාද වූ ආචාර්ය ඒ රත්නායක මැතිඳුන්ගේ නමින් 1979 වර්ෂයේ පෙබරවාරි මස 19 වන දින සිට මෙම පාසල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලය නමින් හැඳින්වීම ආරම්භ විය.

මලල පිටියට පැටව් බෝ කරන වලල විදුහල
විදුහල්පති එච්. එම්. ඩී. ඒ. හේරත් මහතා

අංග සම්පූර්ණ විද්‍යාගාරයක්, ගුරු විවේකාගාරයක්, පුස්තකාලයක් සෞන්දර්ය අංශයක්, තාක්ෂණ ඒකකයක්, ගෘහ විද්‍යාගාරයක් සහ බාලිකා නේවාසිකාගාරයක් ද සහිත පාසලේ 06 ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා වූ 2000 කට ආසන්න සිසු පිරිසක් මේ වන විට මෙහි අධ්‍යාපනය ලබති පාසලේ ආචාර්ය මණ්ඩලයේ සංඛ්‍යාව සියයකි. නියෝජ්‍ය විදුහල්පතිවරුන් දෙදෙනකු සහ සහකාර විදුහල්පතිවරුන් සිව් දෙනකු සිටින පාසලේ විසිදෙවැනි විදුහල්පති වරයා වන්නේ වත්මන් පාසල් පරිපාලනයේ නියමුවා වන එච්. එම්. ඩී. ඒ. හේරත් මහතාය 6 වැනි ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා ද්වි භාෂා මාධ්‍යයෙන් අධ්‍යාපන කටයුතු කෙරෙන අතර උසස් පෙළ සඳහා කලා, විද්‍යා වාණිජ, තොරතුරු සන්නිවේදන තාක්ෂණ යන විෂය ධාරාවන් යටතේ අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ද උදා කර දී ඇත. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලදී ඉතා විශිෂ්ට ප්‍රතිඵල පෙන්වා වත්තේගම අධ්‍යාපන කලාපය තුළ හොඳම සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වාර්තා කරමින් කීර්තිමත් නාමයක් අත්කරගත් විද්‍යාලයක් ලෙස වලල ඉදිරියෙන්ම සිටී. වෛද්‍ය, ආරක්ෂක, නීති ක්ෂේත්‍ර, පරිපාලන, හා විධායක යන විවිධ ක්ෂේත්‍රයන්හි මෙන්ම දෙස් විදෙස්හි තානාන්තර දරන උගතුන් වසර 78 ක පාසල් ඉතිහාසය තුළ ඒ රත්නායක විදුහලින් බිහි වී ඇත. විෂයන්ට බාහිර සමගාමී ක්‍රියාකාරකම් ලෙස බාලදක්ෂ, ශිෂ්‍යභට, පරිසර භට, පෙරදිග අපරදිග තූර්ය වාදක, සංගීත, නර්තන, නාට්‍ය ආදී අංශයන්ගෙන් දිවයිනේ සෙසු පාසල් අභිබවා කලාප, පළාත් හා සමස්ත ලංකා මට්ටමේ තරග වලින් විශිෂ්ට ජයග්‍රහණ රැසක් ලබා ගැනීමටද ගැනීමටද වලල මැදි විදුහල සමත් වී ඇත. මාධ්‍ය ඒකකය, විද්‍යා සංගමය, ඉංග්‍රීසි භාෂා සංගමය, කලා සංගමය, තාරකා විද්‍යා සංගමය සහ ශාන්ත ජෝන් ගිලන් රථ සේවය වැනි සංගම් මඟින් ද සිසු කුසලතා හා ආකල්ප ඇතුළු හැකියාවන් දියුණු කර ගැනීමට මෙම විදුහල සමත් වී ඇත.

වලල ඒ රත්නායක මැදි විදුහලෙහි වූ මෙම කීර්ති නාමය දෙස් විදෙස්හි බැබළවීමට සුවිශේෂී හේතුවක් ඇති වන්නේ ක්‍රීඩා පාසල් සංකල්පය ආරම්භ කිරීමත් සමගය. පාසල් දරු දැරියන් ක්‍රීඩාවට වඩ වඩාත් ආකර්ෂණය කර ගැනීම සඳහා ක්‍රීඩා අධ්‍යාපන බලධාරීන් විසින් හඳුන්වා දුන් ජාතික ක්‍රීඩා පාසල් සංකල්පය යටතේ 1995 අගෝස්තු 03 වැනි දින සිසුන් 30 දෙනකුගෙන් ආරම්භ කරන ලද පළමු ක්‍රීඩා පාසල වන්නේ ද වලල ඒ රත්නායක මැදි විදුහලය. මෙලෙස ආරම්භ වූ ජාතික ක්‍රීඩා පාසල් සංකල්පය දිවයිනේ පළාත් නවය සඳහා ම ව්‍යාප්ත කිරීම සිදු කර ඇති අතර ඒ අනුව දිස්ත්‍රික්කයකට ක්‍රීඩා පාසල බැගින් ස්ථාපිත කිරීම සිදු වූ අතර මධ්‍යම පළාතේ ක්‍රීඩා පාසල් තුනක් මේ වන විට ස්ථාපිත කොට ඇත.

වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයෙන් පළමු වරට ක්‍රීඩකයෙක් සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගයකට සහභාගි වන්නේ 1990 වසරේ දී ය. ඒ එම වසරේ පැවති මධ්‍යම පළාත් පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ දී වයස අවුරුදු 19න් ඉහළ වයස් කාණ්ඩයේ මීටර් 400 ඉසව් නියෝජනය කළ පී. රඹුක්වැල්ල ක්‍රීඩකයා ය. සමස්ත ලංකා තරගාවලියට සුදුසුකම් ලබා තරග වැදුණ ද, එහිදී ඔහුට ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි වන්නේ නැත. අනතුරුව 1991 වසරේ දී සමස්ත ලංකා තරගාවලියේ දී එක් ඉසව්වක ජයග්‍රහණයක්ද, 1992 වසරේ දී සමස්ත ලංකා මට්ටමින් ජයග්‍රහණ රැසක්ද එනම් ජයග්‍රහණ 5ක් දක්වා ද, ලබා ගනිමින් ක්‍රීඩා කෞශල්‍යයන් වර්ධනය කර ගැනීමට මෙම දුම්බර ක්‍රීඩකයෝ සමත් වෙති. 1993 වසරේ දී වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලය තම ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලබන්නේ එම වසරේ දී පැවති මධ්‍යම පළාත් පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ දී ඔවුන් මධ්‍යම පළාතේ සමස්ත බාලිකා ශූරතාව හිමි කර ගැනීමට සමත් වීමෙනි. එය වලල දිනූ පළමු පළාත් සමස්ත ශූරතාව විය.

1995 වසරේ දී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියක් නියෝජනය කිරීමට වලල විදුහල සුදුසුකම් ලබා ගනියි. වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයෙන් පළමු වරට ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගි වීමට වරම් ලබා ගන්නේ සමන්ත පෙරේරා ය. ඒ චීනයේ පැවති කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කිරීමට ය. අනතුරුව එම වසරේදීම ඩී. ඒ. ඉනෝකා ඉන්දියාවේ පැවති 7 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මැරතන් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්නීය. ඇය එම ඉසව්වේ දී රිදී පදක්කම දිනා ගනිමින් ජාත්‍යන්තර තරගයකදී පදක්කමක් දිනා ගත් පළමු දුම්බර සරසවි දියණිය වන්නට සමත් වූවාය.

වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලය විසින් සමස්ත ලංකා ශූරතාවක් පළමු වරට දිනා ගන්නේ 1998 වසරේ දී ය. ඒ ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේදී ජ්‍යෙෂ්ඨ බාලිකා ශූරතාව දිනා ගනිමිනි. එම තරගාවලියේ බාලක ශූරතාව තියුණු අවසානයකින් පසුව කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සමඟ සමසේ බෙදා ගැනීමට සිදුවිය. අනතුරුව 2001 වසරේ දී සමස්ත ලංකා ජාතික පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ දී දිවයිනේ සියලුම පාසල් අභිබවා යමින් බාලක සහ බාලිකා සමස්ත ශූරතාවන් දිනා
ගැනීමට ද පළමු වරට වලල මැදි මහ විදුහල සමත් වන්නේ ය.

එපමණකින් නතර නොවූ ඔවුහු ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙලේ ජාතික සහාය දිවීමේ තරගාවලියේ දී බාලක සහ බාලිකා ශූරතා දිනා ගැනීමටද සමත් වූහ. එම ශූරතාවන් ඒ ආකාරයෙන්ම පිට පිටම වසර ත්‍රිත්වයක් දිනා ගැනීමට ඔවුන් සමත් වීමත් සමඟ වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාල නාමය මලල ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂි සන්ධිස්ථානයකට ඔසවා තැබිණි.

ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩා පාසල් සංකල්පය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ ද යන ප්‍රශ්නයට පිළිතුරු සපයන්නේ ද වලල ඒ රත්නායක මැදි විදුහල වීම ද විශේෂත්වයකි.

මලල පිටියට පැටව් බෝ කරන වලල විදුහල

මේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ත ලංකා මට්ටමින් බාලක බාලිකාවන් වෙනුවෙන් සමස්ත ලංකා මට්ටමින් පවත්වනු ලබන ක්‍රීඩා තරගාවලි තුනක් වාර්ෂිකව සංවිධානය කෙරේ. ඒ අනුව සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල, ශ්‍රීමත් ජෝන්ටාබට් මලල ක්‍රීඩා තරගාවලිය සහ සමස්ත ලංකා පාසල් සහය දිවීමේ තරගාවලිය මේ අතර ප්‍රමුඛ වේ. මෙකී සමස්ත ලංකා මට්ටමේ මලල ක්‍රීඩා තරගාවලිවල දී බාලක හා බාලිකා ශූරතාවන් 96ක් දිනා ගැනීමට වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලය සමත්වී ඇත. ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩා ඉතිහාසයේ නොබිඳින වාර්තා රැසකට උරුමකම් කියනු ලබන වලල ඒ රත්නායක විදුහල සමස්ත ලංකා මට්ටමේ තරගාවලි වලදී බාලක බාලිකා ද්විත්ව ශූරතාවන් දහ නමයක් 19 ක් හිමිකර ගනිමින්ද, එකම තරගාවලියකදී ද්විත්ව ශූරතාවන් ලබා ගනිමින් එවැනි දක්ෂතාවක් පෙන්නුම් කළ අප රටේ එකම පාසල ලෙස ද, ඉතිහාසයේ රන් අකුරින් අකුරින් ලියැවෙන ආකාරයේ කිසිම පාසලකට නොබිඳිය හැකි වාර්තාවක් පිහිටුවීමට සමත්ව ඇත.

වලල මැදි මහා විදුහලේ නාමය ජාත්‍යන්තර තලයට ගෙනයෑමට ශක්තියක් වෙමින් 1990 වර්ෂයේ සිට මේ දක්වා පාසලේ ප්‍රධාන මලල ක්‍රීඩා පුහුණුකරු වශයෙන් කටයුතු කරනු ලබන්නේ ක්‍රීඩා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ සුසන්ත ප්‍රනාන්දු මහතාය. ක්‍රීඩාවේ පරිපූර්ණත්වය ලොවට විදහා පාමින් මේ ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා උපදේශකවරයාගේ පුහුණුවීම් යටතේ ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරය ජය ගෙන ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව අති විශාල වන අතර, ඔහු ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා ක්‍ෂේත්‍රය වෙනුවෙන් අත්කර දී ඇති කීර්ති නාමය ද මිල කළ නොහැකිය.

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල, ලෝක මලල ක්‍රීඩා තරගාවලිය, දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උලෙළ, ආසියානු මලල ක්‍රීඩා උළෙල” ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය, ලෝක යොවුන් කනිෂ්ඨ ක්‍රීඩා උළෙල, යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල හා ඔලිම්පික් ක්‍රීඩා උළෙල යන ජාත්‍යන්තර තරගවලට සහභාගි වෙමින්, මේ වන විට ලක් මාතාවට පදක්කම් 76ක් වලල ඒ රත්නායක විද්‍යාලය නියෝජනය කළ ක්‍රීඩික ක්‍රීඩිකාවන් විසින් ලබාදීමට සමත් වී තිබීම ද පැසසුම් සහගතය.

ශ්‍රී ලංකා මාතාවගේ නාමය ලෝකයේ තුළ ක්‍රීඩාවෙන් බබළවන්නට මේ වන විට වලල විදුහල් මාතාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගාවලි නියෝජනයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හැත්තෑ තුන් දෙනකු ඇය විසින් දායාද කොට ඇති අතර මොවුහු ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගවලදී මව්බිම වෙනුවෙන් පදක්කම් හැට හයක් දිනා ගැනීමට සමත් වී ඇති බවද ගෞරවයෙන් සිහිපත් කළ යුතුය‘

ශ්‍රී ලංකාවේ පාසලක් ලෙස මව්බිමට මලල ක්‍රීඩාවෙන් ලබාදිය හැකි උපරිම දායකත්වය ලබා දෙමින් ශ්‍රී ලංකා වාර්තා හතක් බිහිකරමින් වලල මැදි විදුහල් නාමය තව දුරටත් බබළවන්නට අවශ්‍ය යුතුකම මෙම සිසු දරුවන් විසින් මේ වන විටත් ඉටුකර හමාරය.

ඒ රත්නායක මධ්‍ය මහා විදුහලෙන් බිහි වූ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරින් සුවිශේෂයෙන්ම ලියැවෙන නමක් වන්නේ ඩී. ඒ. ඉනෝකා ය. ඇය ඉතිහාස ගත වන්නේ ජාත්‍යන්තර කාන්තා මැරතන් තරගයක දී පදක්කමක් දිනා ගත් පළමු ක්‍රීඩිකාව වශයෙනි. ඒ 1995 වසරේ ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති 7 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මැරතන් තරග ඉසව්ව ඇය පැය 2 යි විනාඩි 56 යි තත්පර 57 කින් නිමා කරමින් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වීමෙනි. 2006 වර්ෂයේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී මීටර් 5000 විනාඩි 16යි තත්පර 34කින් නිමා කරමින් ජාත්‍යන්තර තරගයක දී එම ඉසව්වේ ඉහළම දක්ෂතාව වාර්තා කිරීමටද ඇය සමත් විය.

එමෙන්ම වලල ඒ රත්නායක මධ්‍ය මහා විදුහල බිහි කළ තවත් දක්ෂයෙක් වන්නේ මනෝජ් පුෂ්පකුමාර ය. ඔහු 2002 වසරේ දී තායිලන්තයේ පැවති පළමු වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී මීටර් 400 තත්පර 47යි දශම 56 කින් නිමා කරමින් එම ඉසව්වේ රිදී පදක්කම හිමි කර ගැනීමට සමත් විය. එම තරගාවලියේ ශ්‍රී ලාංකිකයෙක් වාර්තා කළ පළමු පදක්කම ද එය වේ. එමෙන්ම එම තරගාවලියේදීම 2004 වසරේ දී ඔහු එම ඉසව්වෙන් නැවත වරක් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වන්නේ එකී දක්ෂතාවක් දැක්වූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වශයෙනි.

වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයීය නාමය ජාත්‍යන්තරයට ගෙනගිය පදක්කම් දිනූ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රාශියකි. ඒ අතුරින් මනෝජ් පුෂ්පකුමාර මීටර් 400, ජානක වීරසිංහ, ගීතානි රාජසේකර, ඉඳුනිල් දිනේෂ් හේරත් මීටර් 800, රංජිත් සුභසිංහ, ජේ. එම්. එච්. සිෆ්රාත් මීටර් 800, සමන්ත පෙරේරා මීටර් 800, දිල්ෂි කුමාරසිංහ මීටර් 800 සහ මීටර් 400, ඉෂාර සඳරුවන් රිටිපැනීම, අංජන ගුණරත්න මීටර් 400 වැඩිකිරීම 4, ජානක ජයසේන මීටර් 400 වැඩිකිරීම 4, තරුෂි කරුණාරත්න මීටර් 800, 400 වැඩි කිරීම 4, මීටර් 400 වැඩිකිරීම 4, මිශ්‍ර සහය, හර්ෂ කරුණාරත්න මීටර් 800, ෂෙහාන් දිල්රංග මීටර් 800 වැඩි කිරීම 400, හඳුන්වාදිය හැකිය. මේ ඉන් කිහිප දෙනෙකු පමණි.

ශ්‍රී ලංකා නාමය ලෝකය තුළ බබළවමින් මලල ක්‍රීඩාවෙන් ආසියානු ශූරතා වාර්තාවක්, දකුණු ආසියානු වාර්තාවක් හා ශ්‍රී ලංකා වාර්තාවක් තබමින් මීටර් 800 ඉසව්වෙන් හා මීටර් 400 වැඩි කිරීම 4, මිශ්‍ර සහය ඉසව්වෙන් බිහි කරමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පියවරක් තැබීමට පසුගියදා වලල ඒ රත්නායක විදුහලේ දිරිය දියණියක වූ තරුෂි කරුණාරත්න සමත්වීම ද, මලල ක්‍රීඩාවේ අනාගතය පිළිබඳව සුබ පෙරනිමිත්තක් ලෙස පෙන්වා දිය හැකිය. එය අනාගත ශ්‍රී ලංකාව මලල ක්‍රීඩාවෙන් ඔලිම්පික් පදක්කම වෙත කෙමෙන් කෙමෙන් පියවර තබන බවට ඉඟියකි. ශ්‍රී ලංකාවේ අනාගත ඔලිම්පික් බලාපොරොත්තුව මෙම පාසල තුළින්ම ඉටුවනු දැක්ම මේ හැම දෙනාගේම අපේක්ෂාව බවද ඉතා පැහැදිලිය.

මලල ක්‍රීඩාවේ රජුන් රැජිනියන් දැයට දායාද කිරීම සරල පහසු ක්‍රියාදාමයක් නොවේ. මේ සියල්ලේ ගෞරවය ලැබිය යුතු ක්‍රීඩා උපදේශක සුසන්ත ප්‍රනාන්දු මහතා මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඔහු 1990 වසරේ පෙබරවාරි මාසයේ සිට මේ දක්වාම වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩා පුහුණුකරු ලෙස කටයුතු කරයි. පුරා වසර තිස් තුනක් මලල ක්‍රීඩාවේ රජුන් සහ රැජිනියන් රටට දායාද කිරීමේ වගකීම දරමින් මේ ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවා තම වගකීම රට වෙනුවෙන් නිසි ලෙස ඉටු කර ඇති බව රටම දන්නා කරුණකි. ඒ ඔහුට ලැබෙන බොහෝ වරප්‍රසාදයන් ඉවත දමමිනි. දරුවන්ගේ මතු නොව රටේ සමස්ත ක්‍රීඩාවේම හෙට දවස යහපත් කරන්නට වසර ගණනාවක් කැප වී සිටින ඔහුට අද වන විට ලැබී ඇත්තේ ක්‍රීඩා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරක් පමණක් වීම ද පුදුම සහගත ය. තම වගකීම රට ජාතිය හා අනාගත පරපුර වෙනුවෙන් උරුම කර දෙන මේ විශ්වකර්ම පුහුණුකරුවා අදටත් වලල ඒ රත්නායක මැදි විදුහලේ ප්‍රධාන මලල ක්‍රීඩා පුහුණුකරු ලෙස කටයුතු කරයි.

පාසලක් ලෙස රටට වැඩදායි දූ පුතුන් ජනිත කිරීමට, සමාජගත කිරීමට අධ්‍යාපනයේ මෙන්ම ක්‍රීඩාව, විෂය සමගාමී හා බාහිර ක්‍රියාකාරකම් මනාව පාලනයකින් මෙහෙයවමින් මේ වන විට පාසල් නියමුවා ලෙස කටයුතු කරනුයේ විදුහල්පති ධම්මික හේරත් මහතාය.

වලල ඒ රත්නායක විද්‍යාලය යනු හුදෙක් ක්‍රීඩික ක්‍රීඩිකාවන්ම පමණක් බිහි කරනු ලබන ක්‍රීඩා පාසලක් පමණක් නොවන්නේ ය. 1995 ඇරඹෙන ක්‍රීඩා පාසල් සංකල්පයෙන් පසු ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා විෂය සඳහා දිවයිනේ විද්‍යා පීඨවලට ඇතුළත් කෙරුණු වලල ඒ. රත්නායක සිසු පිරිස අති මහත් ය. ඔවුන් විසින් මේ කාලය තුළ දේශීය තරග බිමේ රෝපණය කරන ලද දරු දැරියන් ප්‍රමාණයද අති මහත්ය. හෙට දිනයේ ඔවුන් මේ රට තුළ සේ ම ලෝකය ද ක්‍රීඩාවෙන් ජයගනු නොඅනුමානය.

“ධවල සේල හැඳි නීල ගිරි ශීකර මුණි සිරිපා සිප –
ගලන මහවැලිය වටවුණු දුම්බර නැගුණු නිධානය”

යන පාසල් ගීතයට අනුව ඉගෙනුමෙත් ක්‍රීඩාවේත් කලාවේත් එකසේ දස්කම් පාන වලල ඒ රත්නායක මැදි විදුහල දුම්බරට පමණක් නොව රටටම කීර්තියක් අභිමානයක් නිරන්තරවම ගෙන එන ආදර්ශවත් විදුබිමකි.

ජානක සම්පත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment