කිසිදු තැනක සිදු නොවිය යුතු කැලණියේ ‘ඛේදවාචකය’

1062

කැලණි සරසවියේ නේවාසිකව සිටි හතර වන වසරේ සිසුවකු වූ නිරෝෂණ ලක්මාල් පසුගිය ඉරිදා මිය ගියේය. කෙනකුගේ මරණය අද ඉතා සාමාන්‍ය දෙයකි. මිනිසුන් පුදුම වන්නේ කෙනකුගේ මරණය නිසා නොව කෙනකු නොමැරෙන එක ගැනය. මේ කාලකන්නි අදහස තිස් අවුරුදු යුද්ධය විසින් අප තුළ පැලපදියම් කරන ලදි. නිරෝෂණ ලක්මාල්ගේ මරණය අකල් මරණයකි. ඔහු තෙල් ඉහිරෙන තරුණ වියේ අඩි දෙකක් පමණ ඉදිරියට ගිය තරුණයෙකි. තව සැතපුම් හාර පන්සීයක් පමණ යෑමට ඔහුට ඉතිරිව තිබිණ. ඔහු ජීවත්ව සිටියේ නම් ඒ සැතපුම් හාර පන්සීය තුළදී විශිෂ්ට මිනිසකු වීමට ඉඩ තිබිණ. එවැනි තරුණයකු මගදී මළ විට එය අකල් මරණයක් ලෙස හඳුන්වනු ලැබේ. නිරෝෂණ ලක්මාල් මිය යන්නේ කැලණි සරසවියේ නේවාසිකාගාරයේ සිටියදී අපස්මාරය උත්සන්න වීමෙනි. ඉකුත් ඉරිදා රාත්‍රී රෝගී වූ ඔහු ක්ලාන්ත වෙයි. තරුණයාගේ රෝග ඉතිහාසය ගැන දන්නා සිසුවෝ නේවාසිකාගාරයේ පරිපාලන නිලධාරියා දුරකථන ඇමතුමකින් දැනුවත් කර වාහනයක් හෝ ගිලන් රථයක් ගෙන්වා ගැනීමට උත්සහ කරයි. එහෙත් පරිපාලන නිලධාරියා දුරකථන ඇමතුමට උත්තර දෙන්නේ නැත. එනම් එක්කෝ ඔහු අටයි පහේ රජයේ සේවකයෙකි. නැතහොත් ඔහු කරටිය කැඩෙන්නට සුදු පාට ඒවා බී ගොරොද්දේ අදිමින් නිදා සිටින්නට ඇත. නොඑසේ නම් දුරකථනය නාද වන හඬ ඔහුට ඇසුණේ නැත. මේ සියල්ල අපගේ උපකල්පනයන් පමණි. පරිපාලන නිලධාරියා දුරකථනයට උත්තර නොදෙන්නට ඇත්තේ මේ කිසිදු හේතුවක් නිසා නොව ඉතා සාධාරණ වෙනත් කරුණක් නිසා විය හැකිය. අප මේ කතුවැකිය ලියන ක්‍රමවේදය නිසා අපට එරෙහිව උසාවි යෑමට කාටවත් බැරි බව කව්රුත් මතක තබාගත යුතුය. අන්තිමේදී පරිපාලන නිලධාරියා පිළිබඳ බලාපොරොත්තු අත්හැරගත් සරසවි සිසුවෝ සිහිසුන්ව සිටින තම මිතුරා ත්‍රීවීලරයක පටවා රෝහලකට පිටත් වූහ. ඉන්පසුව රෝගී තරුණයා වෑන් රථයකට මාරු කරන ලදි. ඒ වෑන් රථයේ තවත් රෝගීන් පිරිසක් වූහ. ඒ තම මිතුරාට සිදු වූ ඇබැද්දිය අසා සිහිසුන් වූ සරසවි සිසු සිසුවියන් පිරිසකි. කෙසේ වුවද අවසන් පියවරේදී අපට වාර්තා කිරීමට සිදුවන්නේ නිරෝෂණ ලක්මාල්ගේ මළගම ය.

විශ්වවිද්‍යාලයක් යනු ළමයින් දහස් ගණනක් සිටින තැනකි. මෙතැනට ගිලන් රථයක් අත්‍යවශ්‍යමය. කැලණි සරසවිය වැනි තැනකට අඩුම වශයෙන් ගිලන් රථ තුනක්වත් අවශ්‍යය. මෙඩිකල් සෙන්ටර් එකක් නොව තනිකර ඉස්පිරිතාලයක්ම එම සරසවියට අවශ්‍යය. ලංකාවේ විශ්වවිද්‍යාලවලින් කීයක ගිලන් රථ තිබේදැයි අපි නොදනිමු. සරසවි ශිෂ්‍යයන් සාමාන්‍යයෙන් සටන් කරන්නේ හිඟන අරමුණු වෙනුවෙනි. ආණ්ඩුවේ ප්‍රතිපත්ති, ඩඩ්ලි සිරිසේන විශ්වවිද්‍යාලයට පැමිණ පවත්වන දේශන යනාදිය නැවැත්වීම සඳහා මේ සිසු කැළ විශාල කාලයක් වැයකර පොලිසියෙනුත් ගුටි කති. මනුෂ්‍යයා මුලින්ම කළ යුත්තේ පණ බේරා ගැනීමය. අප ආහාර ගන්නේත්, බෙහෙත් ගන්නෙත් මූලික වශයෙන් පණ බේරා ගැනීමටය. අප ගහක් යට රාත්‍රිය නොගෙවා ආරක්ෂිතව තැනූ නිවසක් තුළ රැය පහන් කරන්නේ පණ බේරාගනු පිණිසය. ඒ අනුව සරසවි ශිෂ්‍යයන් විසින් මුලින්ම සටන් කළ යුත්තේ විශ්වවිද්‍යාලයට සෞඛ්‍ය පහසුකම්, ගිලන් රථ වැනි දේවල් ලබාගැනීමට ය. එහෙත් ගිලන් රථයක් ඉල්ලා මේ රටේ කිසිදු සරසවි සිසුවකු උද්ඝෝෂණයක් කර නැත. ඕනෑම ආණ්ඩුවක් පොදු සෞඛ්‍ය පහසුකමක් සපයනු ලබන්නේ ඇඟිල්ලෙන් නොව උලකින් ඇන කී පසුය. ඒ නිසා මෙබඳු කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුව දැනුවත් කිරීම ශිෂ්‍ය පරම්පරාවේ වගකීම වෙයි. ආණ්ඩුව ද අධ්‍යාපනය වෙනුවෙන් වැයකරන හැම සත පහක්ම අනාගත ආයෝජනයක් සේ සලකන අතරම ශිෂ්‍යයන්ගේ, සරසවි ශිෂ්‍යයන්ගේ යහසාධනය වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම කළ යුතුය.

නිරෝෂණ ලක්මාල්ගේ මරණය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ පරිපාලනය වගකිව යුතු යැයි කියමින් කැලණි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය 25 දා දහවල් විරෝධතාවක නිරත විය. ශිෂ්‍යයා මියයන්නේ පරිපාලනයේ වරදින් නොව මීමැස්මොර රෝගය නිසාය. හැබැයි තර්කයක් වශයෙන් ගත්කල ශිෂ්‍යයාගේ මරණයට විශ්වවිද්‍යාල පරිපාලනයේ යම් ප්‍රමාණයක වගකීමක් ඇත. ඒ වගකීම විශ්වවිද්‍යාලය සතුව ගිලන් රථයක් නොතිබීම සහ පරිපාලන නිලධාරියා දුරකථනයට පිළිතුරු නොදීම යන කාරණා දෙකට සීමා වේ. දැන් ඉතින් කොපමණ උද්ඝෝෂණ කළත් නිරෝෂණ ලක්මාල් ආපසු එන්නේ නැත. සිදුවී ඇත්තේ ඔහුගේ මරණය අසා සිහිසුන් වූ සිසු සිසුවියන් කිහිපදෙනාට ආපසු සිහිය පැමිණීම පමණි. මේ කතාව මාරම අවුල් කතාවකි. මේ අවුල ලිහෙන පරිදි කටයුතු කිරීම ආණ්ඩුවේ වගකීම වන අතර එතෙක් මේ කාරණය සම්බන්ධයෙන් උම්බෑ නොගා සිටීම සරසවි සිසු සිසුවියන්ගේ වගකීම වන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment