කඳුලින් බරවුණු අලුත් අවුරුද්ද

1887

බක් මාසය භාග්‍යවත් මාසය ලෙස සැලකේ. බක් මාසයේදී අවට පරිසරය සුන්දරය. ඵලවලින් තුරුලිය පිරී තිබේ. අවුරුදු පැමිණ ඇති බව හඟවන කොවුලාගේ නාදයද ගෙනදෙනුයේ මිහිරකි. මෙම කාලයේ අටුකොටු පිරී තිබේ. කුඹුරු යළි අස්වද්දා නැවත සශ්‍රී‍ක කාලයකට මග විවර කරගෙන තිබේ. ගොවියාට මෙන්ම රටේ ජනතාවට එළඹෙනුයේ විවේකී කාලයකි. එනිසාම බක් මාසය සැණකෙළි සිරියෙන් රටම ඇලළෙනු දැකිය හැකිය. මෙවන් සුන්දර අතීතයක් අපේ වැඩිහිටියන් අත්විඳ තිබේ. එහෙත් අද අවාසනාවකට භාග්‍යවත් මාසය අපට අභාග්‍ය ලෙස ගත කිරීමට අපට සිදුව ඇත.

අද සෑම තැනකම දැකිය හැක්කේ පෝලිම්ය. ගෑස්, ඉන්ධන, කිරිපිටි ඇතුළු පෝලිම්වලින් නම් මේ දිනවල අඩු නැත. අනෙක් අතින් අහස උසට බඩු මිල ඉහළ ගොස් ඇත. දුප්පත් ජනතාවට තම දරුවන්ට රිසිසේ අවුරුද්ද සැමරීමට අවස්ථාවක් ලැබී නොමැත. මේ වන විට වෙළෙඳපොළේ රෙදි මිල ද අධිකය. එනිසාම යමක්කමක් නැති දෙමාපියන්ට ඔවුන්ගේ සිත් සතුටු කරන්නට අවස්ථාවක් නොමැතිව ළතැවීමට සිදුව ඇත. මෙවර අවුරුද්ද බොහෝදෙනාට කඳුළ වේදනාව පමණක් ඉතිරි කරදී ඇත.

කොරෝනා වසංගතය නිසා අප රටේ ආර්ථීකයට මරු පහරක් එල්ල වූ බව සත්‍යයකි. එහෙත් කොරෝනා වසංගතයට ගොදුරු වූ බොහෝ රටවල් සිය ආර්ථීක ස්ථාවරය ගොඩනගා ගෙන තිබේ. කොරෝනාවත් සමග රටට හාන්සි වීමට සිදුවූයේ අප කාලයක් තිස්සේ අනුගමනය කළ වැරදි ආර්ථීක ප්‍රතිපත්ති නිසාවෙනි. එනිසාම බක් මාසය පමණක් නොව ඉදිරි කාලය ද අප රටට අභියෝගාත්මක කාලයක් වන බවට සැකයක් නැත.

මේ වන විට රජයට එරෙහිව උද්ඝෝෂණ කරන පිරිස ගාලුමුවදොර රැඳී සිටිති. ඔවුන්ගේ සටන් පාඨය Gotabaya Go Home ය. ඒ අතරේ තවත් පිරිසක් ‘ගෝඨාභය ඕනෑ’ යැයි පවසමින් මහපාරට පිවිස තිබේ. මේ දෙපිරිස අතර ඇති වූ අරගල නිසා හලාවත, අනුරාධපුර මෙන්ම මාතර ද උණුසුම්කාරී තත්ත්වයන් ඇතිවිය. කෙසේ වෙතත් පොලිසිය මැදිහත් වී එම ගැටුම් සමතයකට පත් කර තිබිණි. පසුගිය කාලයට වඩා මහා හික්මීමකින් පොලිසියේ පිරිස් හැසිරෙන අයුරු ද අපට පසුගිය දිනවල නිරීක‍ෂණය කිරීමට හැකි විය. ඕනෑම පිරිසකට තමන්ගේ මතවාදය ඉදිරිපත් කිරීමට ඇති අයිතියට කවුරුත් ගරු කළ යුතුය. එසේ නොවුණහොත් එතැන සිදුවනුයේ ගැටුමකි. එහෙත් රත්වුණු තැටියකට අතදා බලෙන් අත පුච්චා ගැනීමට කවුරුන් හෝ ක්‍රියාකරයි නම් අපි එය දකිනුයේ අනුවනකමක් ලෙසිනි. මේ මොහොතේ රටේ ඇති වී තිඛෙන ජනමතය පුංචි පුංචි ක්‍රි‍යාකාරකම්වලින් යටපත් කළ හැකි යැයි සිතිය නොහැක. වඩා සුදුසු වන්නේ ජනමතය නිසි ලෙස වටහාගෙන ඊට සුදුසු අයුරින් සමාජ ආර්ථීක වටපිටාව සකසා ගැනීමය.

බක් මාසයේ අකුණක් සේ පුපුරා යමින් තිඛෙන මෙම අරගලය නිසි ලෙස අධ්‍යයනය කිරීමකින් තොරව සාර්ථක විසඳුම් සොයාගත නොහැකිය. මෙම අරගලයට පාර කැපෙන්නේ ගොවි උද්ඝෝෂණ ඇතිවීමත් සමගය. රජය කාබනික පොහොර ප්‍රතිපත්තිය යහපත් ආකල්පයෙන් ගෙනාවද එය ප්‍රායෝගිකව කි්‍රයාත්මක කිරීමේදී අතිශය අසාර්ථක විය. කල්යල් බලා පියවර කීපයක් යටතේ කළ යුතුව තිබූ මෙම කෘෂි විප්ලවය එකවර කි්‍රයාත්මක කිරීමට යෑමේදී අත්වන ඉරණම ගැන අදාළ බලධාරීන්ට අවබෝධයක් නොතිබිම කනගාටුවට කරුණකි. අනෙකුත් කරුණු ද එසේමය. රට සතුව තිබූ ඩොලර් සංචිත දිනෙන් දින අඩුවෙද්දී ඊට විසඳුම් සොයනවා වෙනුවට රජයේ සමහර මැති ඇමැතිවරු ටිකිරි කතා කියන්නට වූහ. එහි අවසන් ප්‍රතිඵලය වූයේ රජයට අර්බුද රැසක් නිර්මාණය වීම පමණි. කිරිපිටි පෝලිම් ඇති වන්නේත්, ගෑස් පෝලිම් ඇති වන්නේත්, ඉන්ධන පෝලිම් ඇති වන්නේත්, පෝලිම්වල මිනිසුන් මැරී වැටෙන යුගයක් නිර්මාණය වූයේත් එහි ප්‍රතිඵලයක් වශයෙනි.

දැන් අප රටේ ඇති ආර්ථීක ප්‍රශ්නය සුළි කුණාටුවක් බවට පත්ව ඇත. මෙම තත්ත්වය විසඳීමට යම් පැහැදිලි විද්‍යාත්මක ආර්ථීක ක්‍රමෝපායන් අනුගමනය කළ යුතුය. ඒ සඳහා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආර්ථීක විශේෂඥයකු වන ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පත් කිරීමට බොහෝ දෙනකුගේ ප්‍රසාදය පළවී ඇත. ඔහු මහ බැංකු අධිපතිවරයා ලෙස වැඩ අරඹමින් ප්‍රකාශ කළේ අපේ රටේ ආර්ථීකය බ්රේක් නැතිව වේගයෙන් පහළට යන වාහනයක් බවට පත්ව ඇති බවයි. එහෙත් දේශපාලන ස්ථාවරභාවය සහ සමාජ ස්ථාවරභාවය ඇතිවේ නම් මෙම ආර්ථීක ප්‍රපාතයෙන් රට ගොඩ ගත හැකි වනු බවට ඔහු විශ්වාසය පළ කර තිබිණි. දේශපාලන ස්ථාවරභාවය සහ සමාජ ස්ථාවරභාවය මහ බැංකු අධිපතිවරයකුට කළ නොහැකි අතර එය කළ හැක්කේ රජයට බවද ඔහු ප්‍රකාශ කළේය. මෙහිදී මහ බැංකු අධිපතිවරයා මතක් කරදුන් තවත් කාරණයන් වූයේ මහ බැංකුවට දේශපාලන ඇඟිලිගැසීම් නොකරන ලෙසය. අද අප රටට අවශ්‍ය වන්නේ මෙවැනි ඍජු තීරණ ගන්නා නිලධාරීන්ය. හොඳ කශේරුකාවක් තියෙන, අදාළ විෂයයන් පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ඇති නිලධාරීන් රජයේ ඉහළ පුටුවලට පත්කර ගත්තා නම් අද අප මුහුණ දෙන ආර්ථීක ව්‍යසනයකට රට යන්නේ නැත. එනිසාම ඉදිරියේදී ආර්ථීකයේ කෙරෙන ප්‍රතිසංස්කරණවලදී අපේ රටේ ආර්ථීක මර්මස්ථානවල ලොකු පුටු සුදුස්සන්ට ලබාදීම අදාළ බලධාරීන්ගේ වගකීම විය යුතුය. රාජ්‍ය ආයතන දේශපාලනීකරණය නොකර ඊට සුදුසු පුද්ගලයන් ඉදිරියේදී හෝ පත් කළහොත් පවතින අර්බුදවල යම් නිමාවක් දැකීම අපේක‍ෂා කළ හැකිය. එවන් තැනකට අප රට ඔසවා තැබීමට අප දේශපාලන අධිකාරියට නැණ නුවණ පහළ වුවහොත් ලබන වසරේදී හෝ අපේ රටේ ජනතාවට සතුටින් කිරිබත් කා අලුත් අවුරුද්ද සැමරීමට හැකිවෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment