“මල්ලිටයි මටයි සමාවෙන්න” කියා සිඟිති පුතු සමග මව බාල්කයේ එල්ලී දිවිනසා ගනී

436

දෙමාපිය ආරවුල මරණ දෙකකින් කෙළවර වෙයි

සීදූව රාජපක්ෂපුරයේ ඥාති නිවසක කුලී පදනමට පදිංචිව සිටි දරුවන් දෙදෙනකුගෙන් සමන්විත පවුලක සැමියා සහ බිරිඳ අතර දුරකථනයකින් ඇති වූ ආරවුලක් හේතුවෙන් බියට පත් බිරිඳ තම සිඟිති පුතාව නිවසේ බාල්කයක කඹයකින් එල්ලා මවද එම බාල්කයේම එල්ලී මියගිය පුවතක් සීදූව පොලිසියෙන් අනාවරණය වේ. සිද්ධිය සිදුවී ඇත්තේ පසුගිය 10 වැනිදා රාත්‍රී කාලයේදීය.

එලෙස මියගොස් ඇත්තේ මල්වඩම්ගෙදර සුරේකා දුෂ්මන්ති නමැති අවුරුදු 38ක් වූ දෙදරු මවක් වන අතර ඇය සමග අවාසනාවන්ත අන්දමට දෙමාපියන්ගේ වරදට දිවියෙන් සමුගැනීමට සිදු වූ වර්ණකුල ආදිත්ත හර්ෂකුලවික්ටර් මෙත්සිදු වයස අවුරුදු එකහමාරක පුතෙකි.

මියගිය කාන්තාවගේ සැමියා ස්ථිර රැකියාවක් නොකරන පුද්ගලයෙකි. ඔහු අධික ලෙස මත්පැන් පානයට අබ්බැහි වූවෙකි. මොවුන් දෙපල අතර නිතර නිතර අඬදබර සිදුව ඇති බවත් පැවසේ. සිද්ධිය සිදුවූ දිනයේ එම පුද්ගලයා මීගමුව ප්‍රදේශයේ නිවාස පින්තාරු වැඩක් කිරීමට පිටත්ව ගොස් තිබී ඇත. ඉන් පසුව සුපුරුදු ලෙස නිවසේ ආරවුල් ගැන නැවත නැවත දුරකථනයෙන්ද ආවර්ජනය කරන්න ගොස් දෙනා දුරකථනය ඔස්සේ ස්පීකර් පෝන් භාවිත කරමින් දැඩිව අඬදබර කරගෙන තිබේ. එම අඬදබරවලට සවන්දුන් වර්ණකුල ආදිත්ත හර්ෂකුලවික්ටර් නෙවිල් මෙත්සලා වයස නමයක් වූ වැඩිමහල් දියණිය තම මවට කථාකර අම්මේ අද හවසට තාත්තා එනවිට ගෙදර නොසිට අපි කොහේ හරි යමු කියා යෝජනා කර ඇත.

එයට මවගේ ප්‍රතිචාරය වී ඇත්තේ අපි සදහටම තාත්තා අත්හැර යමු දුවේ කියාය. එයට බියවී අම්බලම්මුල්ල විදුහලේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන එම දියණිය අම්මේ එතකොට අපි ආයේ එන්නේ නැද්ද කියාද අසා අති බවද පැවසේ. අම්මා තමා අරගත් තීන්දුව එවිට දියණියට පවසා ඇත. අනේ අම්මෙ මම මැරෙන්න බයයි කියා පවසා ඇත. එවිට අම්මාගේ පිළිතුර වී ඇත්තේ එහෙනම් ඔයා අසල්වැසි ඥාති නිවසට යන්න. මල්ලිටයි මටයි සමාවෙන්න කියාය. ඉන් අනතුරුව එම දරුවාව නිවසින් පිටකර අම්මා තම ආදරණිය එකම සිඟිති පුතාව බාල්කයේ ලණුවක් ආධාරයෙන් ගෙලෙන් එල්ලා ඇයද එම බාල්කයේම එලී මියයෑමයි. අවසානයේදී රාත්‍රියේ යම් පදමකට නිවසට පැමිණි මත්වතුරට අබ්බැහිව සිටි ස්වාමිපුරුෂයාට තම දරුවා සහ බිරිඳ දිවියෙන් සමුගැනීම සියැසින් දැක සුසුම් හෙළන්නට පමණක් සිදුවී තිබුණි.

මෙම සිද්ධිය පිළිබදව මීගමුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී. එම්. අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ අධීක්ෂණයෙන් සහකාර පොලිස් අධිකාරී දිස්ත්‍රික් 03 ගාමිණි රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් සීදූව පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ස්ථානාධිපති දනුෂ්ක මද්දුමබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සීදූව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී. එම්. එස්. ජී. කුමාර, පොලිස් කොස්තාපල් 34531 බණ්ඩාර, පොලිස් කොස්තාපල් 79888 තිලකරත්න, පොලිස් කොස්තාපල් 56302 රණසිංහ, පොලිස් කොස්තාපල් 28180 බණ්ඩාර යන අය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ආනන්ද නිශ්ශංක – කටුනායක

advertistmentadvertistment
advertistmentadvertistment