විදෙස් කත හැල්මේ පැදවූ රිය තවත් වාහන හතරක ගැටී තිදෙනෙකුට බරපතළ තුවාල

105

විදේශීය කාන්තාවක් විසින් අධික වේගයෙන් පදවාගෙන පැමිණි කාර් රථයක් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හික්කඩුව නාරිගම ප්‍රදේශයේ දී වාහන හතරක ගැටීමෙන් වූ අනතුරකින් තිදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කොට ඇති බැව් හික්කඩුව පොලිසිය පවසයි.

හැටඅට වියේ පසුවන නෙදර්ලන්ත ජාතික මෙම විදේශීය කාන්තාව තම සේවිකාව සමග කාර් රථය ගාල්ල දෙස සිට කොළඹ දෙසට අධික වේගයෙන් ධාවනය කොට ඇති බව පොලිසිය පවසයි. විදේශීය කාන්තාව විසින් පදවාගෙන පැමිණි මෝටර් රථය හික්කඩුව නාරිගම ප්‍රදේශයේ දී ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබූ කාර් රථ දෙකක, වෑන් රථයක හා ත්‍රිරෝද රථයක ගැටී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මෙම අනතුරෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ ත්‍රි රෝද රථයේ ගමන් කරමින් සිටි පිරිමි අයෙකු හා කාන්තාවන් දෙදෙනෙකි. මින් එක් අයෙකු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට සහ අනික් තුවාලකරුවන් දෙදෙනා බලපිටිය රෝහලට ඇතුළත් කොට ඇති බව පොලිසිය පවසයි.

විදේශීය කාන්තාව දැනට වසර 20ක කාලයක සිට මෙරට පදිංචිව සිටින තැනැත්තියකි. ඇය භාණ්ඩ කිහිපයක් මිලදී

ගැනීම සඳහා ගාලු‍ නගරයට ගොස් ඇත. ඇය නලාගස්දෙණිය ප්‍රදේශයේ පිහිටි සිය නිවස වෙත කාර් රථයෙන් පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි. ත්‍රිරෝද රථයට හා ඇය පදවාගෙන පැමිණි කාර් රථයට දැඩි හානිවී ඇති බව පොලිසිය පවසයි. විදේශීය කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය ඊයේ (31) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. හික්කඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.ඒ.ඩී. ලලිත් සඳරුවන් මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ සිදුකරනු ලැබීය.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment